සිරුර නිරෝගි කරන අලුත්ම යෝග ක්‍රම

ජනවාරි 8, 2024

 

ජීවිතයම සතුටින් ඉන්න...

දවසට පැය දෙකක් වෙන්කර ගන්න

හිතට කිසිම සැහැල්ලුවක් නැද්ද? ආතතිය වැඩි වෙලාද? මනස නොසන්සුන්ද? ජීවත් වුණා ඇති කියලා හිතෙනවාද? මේ ගැටලු අඩු වැඩි වශයෙන් ඔබ තුළ තිබෙන්නට පුළුවන්. අද නිර්මාණය වෙලා තියෙන සමාජය අතිශය තරගකාරී සමාජයක්.

ඔබට ජීවත් වෙන්න සිදුවෙලා තියෙන්නේ එකෙකු අභිබවා තවත් කෙනෙක් නැඟිටින්නට වෙර දරන සමාජ වටපිටාවක. එවැනි පසුබිමක් තුළ ඉහත සඳහන් කළ ගැටලුකාරී තත්ත්වයන් කායික, මානසික හා සමාජීය පැවත්මට සෘජුව හා වක්‍රාකාරව බලපෑ හැකියි. දවසේ පැය විසිහතර පුරාවට අපි කරන්නේ ජීවත්වෙන්න ජීවිතය එක්ක ඔට්ටු අල්ලන එක. එවැනි වටපිටාවක ඔබ නිරන්තරයෙන් විඩාවට හා ආතතියට පත් වෙන්න පුළුවන්. ජීවිතය පස්සේ දුවලා හති වැටිලා ඇති වුණාම බොහෝ දෙනෙක් මානසික සුවය ලබා ගන්න හැකි විවිධ ක්‍රමවලට යොමු වෙනවා. යෝගා අභ්‍යාස කියන්නේ සිතේ ඇතිවන විඩාව මහන්සිය විතරක් නෙවෙයි සිරුරත් නිරෝගි කරවන ඖෂධයක් කිව්වොත් හරියටම හරි.

යෝගා අභ්‍යාසයකින් ඔබට නැතිවු මානසික සුවය ලබා ගන්නත්, ආතතිය අවමකර ගනිමින් නිරවුල් මනසකින් යුතුව කටයුතු කිරීමටත් හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබ යෝග අභ්‍යාසයන්හි නිරත වීම තුළින් ඔබේ ජීවිතයට සුව සහනය ළඟාකර ගත හැකියි. යෝගා කිව්ව සැණින් එසැණින් අපේ මනසට නැගෙන්නේ යෝගා ආසන. යෝගා ආසන යෝග අභ්‍යාසවල එක් අවධියක් පමණයි. ඔබ දැන සිටියාද? යෝගා අභ්‍යාසවලින් මානසික හා ශාරීරික දියුණුව ඔබට ලබාගත හැකි බව.

අධි වේගයෙන් වෙනස්වන ලොවක ජීවත්වන අපට නිරෝගි දිවියක් ගත කිරීම සිහිනයක්ව ඇත. ඒ නිසා ඔබට අවශ්‍ය නිරෝගි ජීවතය ලබා ගන්නට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා ඔබට සහාය වන්නට කායික මානසික සුවතා ක්‍රමයක් වන යෝගාවලට හැකියාව තිබේ.

අතීතයේදී වසර පන්දහසක් පමණ පැරණි ඉන්දියාවට ආවේණික වූ යෝගා අද වනවිට ලෝක ව්‍යාප්ත සංසිද්ධියක් බවට පත්ව ඇත. “යෝගා” ආසන යනු හුදෙක් ව්‍යායායාම් ක්‍රමයක් පමණක්ම නොව එය විවිධ හුස්ම ගැනීමේ රටාවන් ප්‍රගුණ කරන භාවනාවන් ආදියෙන් සමන්විත කය, මනස අනුකුල කරවන අතර එය ආධ්‍යාත්මික දියුණුවේ මාවතකි. ජිම් එකක ශක්තිමත් වීමේ පුහුණු වීම්වල යෙදෙනවාට වඩා යෝගා අභ්‍යාසයන්හි යෙදීම වෙනස් වනුයේ එහෙයිනි.

බොහොමයක් යෝගා ව්‍යායාම සඳහා විශේෂ ගුරු උපදෙස් අවශ්‍ය හෙයින් යෝගා පුරුදු පුහුණු කිරීමේදී, ඒ වෙනුවෙන් දක්ෂ ගුරුවරයකු සමීපයේ පුරුදු පුහුණු වීම ඉතා යෝග්‍ය වේ.   යෝගා ආසන ව්‍යායාම ඔබ නිරෝගි කරන අතර කායික මානසික ලෙඩ රෝග, දුර්වලතා සහ වේදනාවන් සමනය කරයි. හෘදය වස්තුව, පෙනහළු, මොළය සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට නව ජීවයක් ලබාදෙන අතර රූමත් බව වැඩි දියුණු වේ.

යෝගා පුහුණුවීම් අරඹන ඔබට, පළමුව සමහර ව්‍යායාම පුරුදුවීම අමාරු විය හැකිය. නමුත් ඒවා ඔබට හැකි ප්‍රමාණයෙන් කරන්නට පටන් ගන්න. දිනපතා ප්‍රගුණ කිරීමෙන් එම අපහසු යැයි හැඟුණ යෝග අභ්‍යාස පහසුවෙන්ම කළ හැකි වේ. පසුගිය සතියේ තරුණී කලාපයෙන් යෝගා ගැන කෙටි හැඳින්වීමක් කළා ඔබට මතක ඇති. අද අප කතා බහ කරන්නේ යෝගාවලින් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ ගැනයි.

වයස් භේදයක් නැතිව බාල තරුණ මහලු ඕනෑම අයෙකුට යෝගා ව්‍යායාමවල යෙදිය හැකියි. තනිවම වුණත් යෝගා පුහුණුව ලැබිය හැකි වුවත්, අවම වශයෙන් ආරම්භක කාලයේවත් පුහුණු ගුරුවරයකු යටතේ පුහුණුව ලැබිය හැකි නම් තමයි වඩාත් හොඳ.

ඔබේ සිරුරේ ස්වභාවය මොන වගේ වුණත් එය ඔබේ යෝගා පුහුණුවට බාධාවක් වෙන්නෙ නෑ.

 

සිරුර නිරෝගි කරයි.

 

යෝගා ආසන ව්‍යායාම් ඔබ නිරෝගි කරයි. ඔබේ කායික මානසික ලෙඩ රෝග, දුර්වලතා සහ වේදනා පලවා හරියි. හෘදය වස්තුව, පෙණහලු, මොළය සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට නව ජීවයක් ලැබ දෙයි.

ඔබේ ශරීරයේ අනවශ්‍ය මහත්වීම් පාලනය කරයි. දුර්වලතා පළවා හැර, ලිංගික ක්‍රියාකාරීත්වය අති සාර්ථකත්වයට පත්කර සැපවත් විවාහ ජීවිතයකට මඟ පාදා දෙයි.

 

තරුණබව රැක දෙයි

 

යෝගා ආසන පුහුණුව මඟින් ඔබේ වයසට යාම පමාකොට තරුණකමත්, තරුණ ක්‍රියාකාරීත්වයත් රැකදෙයි. රූප ශෝභාව වඩවයි. කායික ශක්තිය, මානසික ශක්තිය, ආධ්‍යාත්මික ශක්තිය, ධාරණ ශක්තිය, ස්මරණ ශක්තිය සහ ලිංගික ශක්තිය ඉහළම තලයට වඩවන යෝගා පුහුණුව මඟින්, ඔබට නිරෝගි ප්‍රතාපවත් මනුෂ්‍යයකු විය හැකි ය.

අධිෂ්ඨානය, දැඩි උත්සාහය සහ කැපවීම මඟින් ඔබට ඔබේ අරමුණ ජයගෙන, ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත්විය හැකි ය.

 

හිමිදිරි පාන්දර තමයි හොඳම වෙලාව

 

යෝගා පුහුණුවීම් අරඹන ඔබ, අලුයම අවදි වන්න. ස්වභාව ධර්මයේ ඇමතීම්වලට අවනත වෙමින්, මළමුත්‍රා පිට කරන්න. ඔබ අවදි වූ විටම වැසිකිළි නොයන්නේ නම් පුහුණුවීම් අවසානයේ යන්න.

මුහුණ කට දොවා ගන්න. හැකිනම් ජල ස්නානය කරන්න. දිය නෑමෙන් මිනිස් ජීවිතයට ලැබෙන අසීමිත සුවයත්, බලයත් ලැබීමට නම් හිරු පායා ඒමට ප්‍රථම ඔබ ජල ස්නානය කළ යුතු ය. කායික මානසික නිරෝගිකමත්, සෞඛ්‍යයත් රැක දීමට ස්වභාවික සිසිල් ජලයේ ඇති ප්‍රකෘති බල‍වේගය සෘජුවම ඔබට පිහිටවෙන්නේ මේ මොහොතේ දිය නෑමෙනි.

ඇතැම් ගංගා, ඇළ දොළවල බැස දිය නෑමෙන් බොහෝ රෝග සුව වේ. යෝගා පුහුණුවට පෙර අලුයම දිය නෑමට අපහසුනම්, මුහුණකට සෝදා ගැනීම වූව ද ප්‍රමාණවත් ය.

දැන් සැහැල්ලු ඇඳුමකින් සැරසෙන්න. කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් පමණක් වූව ද ප්‍රමාණවත් ය. ඔබේම තැනක පුහුණු වන්නේ නම්, යට ඇඳුම පමණක් හැඳ යෝග අභ්‍යාසවල යෙදීම වඩාත් පහසු ය.

පිරිසුදු ඇල් වතුර වීදුරුවක් හෝ කිරි වීදුරුවක් හෝ පානය කරන්න. ගත සිත පිරිසුදුව, සැහැල්ලුවෙන් පුහුණුවීම් අරඹන්න.

 

උපදෙස් -

ආචාර්ය චාමින් වර්ණකුල

සෙත්සඳ යෝග නිකේතනය