අත් දෙකෙන් පන්දුවෙන් වැඩදාන පුංචි දියණි

රත්ගම-ශෂිනි
අප්‍රේල් 29, 2024

ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ අපේ ක්‍රීඩිකාවන් දස්කම් දක්වන විට ක්‍රීඩාවට ඇති උනන්දුව දවසින් දවස ඉහළ යයි. මේ නිසාම ලංකාව පුරාම විසිරී පැතිරී සිටින සැඟවී සිටින ක්‍රීඩිකාවන්ගේ උපන් හපන්කම් හැකියාවන් ගැන අසන්නට ලැබෙයි. අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන අනාගතයේදී සුබවාදී සලකුණු සටහන් කරන මේ හැකියාවන් ජාත්‍යන්තර තලය දක්වා ඔසවා තබන්නට විශාල කැපකිරීමක් හා මඟපෙන්වීමක් අවැසි වෙයි.

මෙලෙසින් අපූර්වතම දස්කම් දක්වන දියණියක් ගැන අපට අසන්නට ලැබුණේ රත්ගම දේවපතිරාජපුර විද්‍යාලයෙනි. එම විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශෂිනි ගිම්හානි විශේෂ දක්ෂතාවක් ඇති ක්‍රීඩිකාවකි. වමතින් සහ දකුණතින් පන්දු යැවීමට දක්ෂ වූ ශෂිනි මේ වන විට 19න් පහළ ජාතික කණ්ඩායම ක්‍රීඩා කරයි. අප සමඟ කතාබහට එක්වීමෙන් පසුදින ඇය ඩුබායිහි පැවැත්වෙන තරගාවලියකට පිටත්ව ගිය අතර මේ වනවිටත් ඇය ඉතා හොඳින් ක්‍රීඩා කරන බවද අපට දැනගන්නට හැකිවිය.

ශෂිනි දේවපතිරාජපුර විද්‍යාලයට ඇතුළත් වන්නේ 6වැනි ශ්‍රේණියටය. ඒ ඇතුළත් වූ දිනයේදී අැය තුළ විශේෂ හැකියාව හඳුනා ගැනීමට හැකි වූයේ එම විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා පුහුණු උපදේශක මහේෂ් සඳරුවන් මහතාටය. ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කළ මේ දරුවාගේ හැකියාව හඳුනාගත් මහේෂ් සඳරුවන් මහතා ඔහුගේ සොයාගැනීම ගැන සඳහන් කළේ මෙලෙසිනි.

‘ශෂිනි දුව අපේ විද්‍යාලයට ආවේ 6 ශ්‍රේණියට. ඇවිත් ක්‍රීඩා කරන විලාසය දිහා මම හොඳට අධීක්ෂණය කළා. මේ දරුවා පන්දුව විසි කරන්නේ දකුණතින්. වමතින් තමයි පන්දු යවන්නේ. මම මේ දරුවාගේ දැක්ක හොඳම දක්ෂතාව තමයි අත් දෙකෙන්ම ක්‍රීඩා කිරීමට හැකි වීම. ඒ වගේම මේ දුව අනෙක් දරුවන්ට වඩා ඉතා හොඳින් ක්‍රීඩා කළා. හරිම ක්‍රියාශීලීයි.

ඊළඟ ඉලක්කය වුණේ දරුවාට තිබෙන මේ අත් දෙකෙන් ක්‍රීඩා කිරිමේ කුසලතාවයෙන් ප්‍රයෝජනයක් ගැනීම. ‘මම කිව්වා පුතේ ඔයාට අත් දෙකෙන්ම බෝල් කරන්න පුළුවන්. ඒක කොහොම හරි හුරු වෙන්න කියලා. දරුවා හරිම ඉක්මනින් මම කියපු දේ ග්‍රහණය කර ගත්තා. අත් දෙකෙන්ම පන්දු යැවීම ඉතාම සාර්ථක ලෙස කළා. මේ වගේම දක්ෂ දරුවෝ 5ක් අපේ පාසලේ ඉන්නවා. මේ දරුවෝ පස්දෙනාම 19න් පහළ ජාතික සංචිතයට ක්‍රීඩා කරනවා. ශෂිනි දුව අනාගතයේදී අනිවාර්යයෙන්ම ජාතික කණ්ඩායම දක්වා යන්න හැකියාව තියෙන දරු‍ෙවක්. ඒක සැකයක් නැහැ. දැනටමත් එයා පුහුණු තරගවලදී හොඳ හැකියාවක් පෙන්නලා තියෙනවා.‘

ශෂිනි දියණිය ඩුබායි සංචාරයට යන්නට පෙර ‘තරුණී‘ සමඟින් කතාබහට එක්වෙමින් කියා සිටියේ ඇය ඉතා හොඳින් ක්‍රීඩා කරන්නට සූදානමින් සිටින බවයි. ‘මම මේ වනවිට 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා තරග 4කට වඩා සහභාගි වෙලා තිබෙනවා. බංගලාදේශය, ඕිස්ට්‍රේලියාව, එංගලන්තය සමඟ ක්‍රීඩා කරලා මගේ හැකියාව පෙන්නුවා. ඇත්තටම මට අත් දෙකෙන්ම පන්දු යැවීම තමයි තියෙන ලොකුම වාසිය. එයින් උපරීම ප්‍රයෝජන අරගෙන පන්දු යවනවා. මම ඇත්තටම ක්‍රීඩා ක‍ෙළ් සැහැල්ලු පන්දු. මගේ අයියත් දක්ෂ රගර් ක්‍රීඩකයෙක්. ඔහු ඩී.එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. ඇත්තටම අපේ පවුලම ක්‍රීඩාවට දක්ෂයි. අපේ තාත්තා නදීප් නිශාන්ත. තාත්තා ක්‍රීඩා කරන කාලයේ තමයි ලසිත් මාලිංග පාසල් ක්‍රීඩා කරලා තියෙන්නේ. තාත්තා දැන් ධීවර රැකියාව කරනවා. අම්මා තුෂාරි ලක්ෂිතා. අම්මත් පාසල් කාලයේ දක්ෂ ක්‍රීඩිකාවක්. ඒ අාභාසය තමයි කුඩා කාලයේ පටන්ම මම ක්‍රීඩා කරන්න යොමු වුණේ. මගේ ලොකුම සිහිනය ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරලා දක්ෂතම පන්දු යවන ක්‍රීඩිකාව වීම තමයි.