ආඝාතයේ අගාධයට නොවැටෙන්න

පෙබරවාරි 27, 2019

අපට අප ගැනම දුක සිතෙන අන්ත අසරණ වන අවස්ථා මොන තරම් තිබෙනවාද? හොඳින් පෙනුණු දෑස හතළිස් ඇඳිරියේදී දුබල වී නොපෙනී යාම හද පාරවන කරුණකි. දුව පැන ඇවිද ස්වාධීනව තම දෛනික කටයුතු කරගෙන යන කෙනකුට හිටි හැටියේම අන් අය අතින් තම කටයුතු කරවා ගැනීමට සිදු වුණොත් කණ්ණාඩියකින් පෙනීමේ අඩුව පිරිමසා ගන්නාක් මෙන් ඒ අබල දුබලකම් වසාගත හැකි වේවිද?

ආඝාතය (ස්ට්‍රෝක්) තත්ත්වයට ගොදුරු වීමේදී අතපය බේරී ජීවත්වීමට වගේම ජීවිතයෙන් වන්දි ගෙවීමට ද සිදු විය හැකිය.

ආඝාතය නිසා ලොව මිලියන 1.8 ක ජනකායක් වසරකට මිය යති. තවත් ලක්ෂ 6 ක් ආබාධිත වී (අංශභාගයට ගොදුරු වී) ඉතිරි වෙති.සියයට අසූවක් පමණම පීඩා විඳින්නේ අධික රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව, පිළිකා, ඇදුම, අක්මාවේ මේද වැනි බෝ නොවන රෝගවලිනි. මේවා දම්වැලක පුරුක් මෙන් එකකට එකක් සම්බන්ධය. ආඝාතය එක් පුරුකකි. ආඝාතයට හේතු රාශියකි. මේ අතරින් අපේ ජීවන රටාවේ වැරැදි පෙරමුණ ගනියි.

* තරබාරු බව (උසට වඩා බර වැඩි වීම)

* ව්‍යායාම නොකර අලසව දිවි ගෙවීම

* මත් වතුර, මත් ද්‍රව්‍ය, දුම්වැටි පානය

* අක්‍රීය දුම්පානය (දුම් පානය කරන්නන් අසල සිටීම)

* අධි රුධිර පීඩනය

* අහිතකර කොලෙස්ටරෝල් අධික වීම

* දියවැඩියාව

* හෘද රෝග (හෘද අකර්මණ්‍ය වීම, හෘද ආබාධ, හෘද ආසාදන,

හෘද ස්පන්දනය අක්‍රමවත් වීම වැනි)

* පවුලේ කිසිවකුට හෝ සුළු ආඝාතය, මහා ආඝාතය,

හෘදයාබාධ වැලඳීමේ ඉතිහාසයක් තිබීම

* වයස අවුරුදු 55 ට වැඩි වීම

* හෝර්මෝන වෙනස්වීම් (හෝර්මෝන ප්‍රතිෂ්ඨාපනය වැනි)

මේ අවදානම් සාධක නිසා කෙනකු ආඝාතයට

ගොදුරුවීමේ ඉඩකඩ වැඩි වෙයි.

ඉක්මන් කරන්න. (බී ෆාස්ට්)

මෙතෙක් ආඝාතයේ පෙර ලකුණු ලෙස සඳහන් කළ කරුණුවලට අමතරව දැන් තවත් කරුණු එක් කර තිබේ.

අප හදවත් රෝගයක් වැලඳුණු විට කෙළින්ම මරණය ගැන සිතා බිය වී රෝහල් ගත වුවත් මරණයටත් වඩා භයානක අත්දැකීම් ලබා දෙන ආඝාතයට වහාම ක්‍රියාත්මක වන්නේ නැත.

මෙතෙක් ආඝාත ලකුණු ගැන රෝගීන් දැනුවත් කිරීමේදී වෛද්‍යවරුන් පැවසුවේ

* කට ඇද වෙයි නම්

* අත පණ නැති වෙයි නම්

* වචන පැටලෙයි නම්

ළඟම ඇති රෝහලට වහාම යන ලෙසය. එහෙත් දැන් එයට තවත් කරුණු දෙකක් එක් වී ඇත.

ඒ ඉහත ලකුණු සමඟ සිරුරේ සමබර බව නැති වෙයි නම්, බොඳ වී දෑස් පෙනෙයි නම් වහාම රෝහල් ගත වන ලෙසයි. සමහරුන්ට පෙනෙන්නේ බලන දෙයින් අඩකි.

අපේ මොළය විවිධ කාර්යයන් සඳහා විශේෂණය වී ඇත. ලේ ගමන අවහිර වීමෙන් හානිවන මොළයේ පෙදෙස අනුව ඇතිවන රෝග ලකුණු තීරණය වෙයි. කෙනකුගේ මොළයේ ලේ ගමන කාරණා දෙකකින් ප්‍රධාන වශයෙන් අවහිර විය හැකියි. මුලිකවම එනම් සියයට අසූවක් පමණම නහර අවහිර වන්නේ රුධිර නාල අවහිරවීම නිසයි. 20% කට ආඝාතය වැලඳෙන්නේ රුධිර නාල පුපුරා රුධිරය ගැලීම නිසයි.

රෝග ලකුණු ඇති වී පැය 3 - 4 1/2 කදී රැගෙන ආ හැකි නම් නහර හිරවීමෙන් ආඝාතය ඇති වූ රෝගියාට ඇති විය හැකි හානිය එන්නතකින් අවම කිරීමට පුළුවන. ඒත් නහර පුපුරා යාමට විසඳුම එය නොවෙයි. රෝගියාට ආඝාතය ඇති වී ඇත්තේ නහර හිරවීමෙන් ද පිපිරීමෙන් ද කියා දැනගත හැක්කේ ස්කෑන් පරීක්ෂණයකිනි. දැන් සෑම මූලික දිස්ත්‍රික් රෝහලකම සී ටී ස්කෑන් යන්ත්‍ර තිබේ. අවශ්‍ය වන්නේ හෘදයාබාධයක ලක්ෂණවලදී මෙන්ම ආඝාත ලකුණුවලදී ද කඩිනමින් ක්‍රියාත්මකවීමයි.

හදිසියේ ඇතිවන තද හිසරදය, ක්ෂණිකවම හට ගන්නා ගිලීමේ

අපහසුතා ද වෙනත් රෝගයක මෙන්ම ආඝාතයේ ද ලකුණු ලෙසින් ඇති විය හැකි බව අප අමතක නොකළ යුතුයි.

සුළු ආඝාතය

සුළු ආඝාතයේදී ඇති වන්නේ ආඝාතයට අදාළ ලකුණු සුළු වේලාවක් (මිනිත්තු හෝ පැය කීපයක්) පැවතීමයි. මේ රෝග ලකුණු පැය 24 ක් ඇතුළත සම්පූර්ණයෙන් සුව වෙයි. දවසක් තුළ සම්පූර්ණයෙන් රෝග ලක්ෂණ අඩු වෙන නිසා වැඩි දෙනෙක් එය ගණන් ගත යුතු රෝගයක ලකුණු නොවන බව සිතයි. එහෙත් සුළු ආඝාතය අනාගතයේ ඇති විය හැකි මහා ආඝාතයේ පෙරනිමිත්තකි.

ආඝාතය කෙනකු නොමරා මරණ රෝගයකි. අංශභාග තත්ත්වයට පත්වීම හෝ මාංසපේශී ක්‍රියාකාරිත්වය නැති වීම, කතා කිරීමට, ගිලීමට අපහසු වීම, සියල්ල අමතක වීම, හිතීමට නොහැකි වීම, හැඟීම් පාලනය කළ නොහැකි වී අධි සංවේදී වී විෂාදයට ගොදුරු වීම, වේදනාව, හිරිවැටීම ජීවිතයේ ඉදිරි කාලය පුරාම විඳින්නට සිදුවීම මරණයෙන් කෙළවර නොවන ආඝාත රෝගියකුගේ ඉරණමේ ලිය වී ඇත. එහෙත් ඉක්මනින් ප්‍රතිකාර ලබා දුන්නොත් ප්‍රතිඵල එතරම් අමිහිරි නොවෙයි.

සමහරුන්ට රෝග ලකුණු හට ගන්නේ නින්දේදීය. එවිට සී ටී ස්කෑන් නොකර පවතින රෝග තත්ත්වය ගැන නිගමනයකට එළඹිමට වෛද්‍යවරයාට නොහැකියි. මෙවැනි රෝගීන්ට කිසිවක් ගිලීමට නොදිය යුතුයි. මොවුනට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ගේ මෙන්ම චිකිත්සකයන්ගේ ද උපකාර ද අවශ්‍යය.

"අඳුරු දිවියට එළිය දහරක්" යනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකා ආඝාත සංගමයේ සභාපති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෙද්‍ය එම්. ටී. එම්. රිෆ්සි, ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ, ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවැත් වූ දේශනා ඇසුරිනි

(තවත් කොටසක් මීළඟට)