සුරකිමු දරුවන් පිළිකා මරුවාගෙන්...

පෙබරවාරි 26, 2024

 

මලකින් සුසිනිඳු මල් පෙත්තක් ගිලිහී යද්දී මල හඬා වැටෙන්නට ඇති. එසේම පවුලේ පුංචි මල් කැකුළක් පිළිකා ‍ෙරා්ගයට ගොදුරු වූයේ නම්....

වසරකට දරුවන් 1000ත් 1200ත් අතර සංඛ්‍යාවක් පිළිකා රෝගී දරුවන් ගොන්නට එකතු වේ. ඒ අතුරින් වසරකට ළමා පිළිකා ‍ෙරා්ගීන් 250 -300 අතර ප්‍රමාණයක් මිය යන බව මහරගම අපේක්ෂා රෝහලේ ළමා පිළිකා ‍ෙරා්ග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවසයි.

පිළිකා රෝග ලක්ෂණ ඇත්නම් එය නිවැරැදිවම තහවුරු කරලීම සඳහා කළ යුතු පරීක්ෂණ කිහිපයක්ම පවතී. මූලිකවම වෛද්‍යවරයා විසින් දරුවා පරීක්ෂා කොට අනතුරුව දරුවාගේ වයස, ‍ෙරා්ග ලක්ෂණ සහ පවතින අනෙකුත් රෝග තත්ත්ව අනුව කළ යුතු පරීක්ෂණ තීරණය කරනු ලැබේ. සිදු කළ යුතු පරීක්ෂණ රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ.

රුධිර පරීක්ෂණ

*දරුවාට කරනු ලබන පරීක්ෂණ අතර රුධිර පරීක්ෂණ මූලික වේ.

*දරුවාගේ රෝගී තත්ත්වය කුමක් දැයි හඳුනා ගැනීමටත් ප්‍රතිකාර අනුව සිරුරේ සිදුවන වෙනස්කම් හඳුනා ගැනීමටත් රුධිරය පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.

*මේ සඳහා රුධිරය ගන්නේ බොහෝවිට දරුවාගේ අතේ හෝ කකුලේ රුධිර වාහිනියකිනි.

 

රුධිර සෛල පරීක්ෂාව

 

*නිරතුරුවම කෙරෙන රුධිර පරීක්ෂණයක් වන මෙමඟින් දරුවාගේ රුධිරයේ රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා ප්‍රමාණය පරීක්ෂා කෙරේ.

*මීට අමතරව රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණයත්, රෝග විනිශ්චයට මෙන්ම ප්‍රතිකාරවලදී ද වැදගත් වන තවත් තොරතුරු රාශියක් මේ ඔස්සේ ලබා ගැනේ.

 

මස්තිෂ්ක තරල පරීක්ෂාව Lumbar Puncture - LP

 

*මෙහිදී සිදුවන්නේ ඔබේ දරුවාගේ කොඳු ඇට පේළිය ආශ්‍රිතව කොන්දේ පහළින්, දරුවා සිහිනැති කිරීමෙන්, අනතුරුව ඉතා සිහින් කටුවකින් විද පරීක්ෂණ සඳහා මස්තිෂ්ක සුෂුම්නා තරලය ලබා ගැනීමයි.

*මේ ඔස්සේ මොළය ආශ්‍රිතව පිළිකා සෛල පැතිරී ඇත්දැයි පරීක්ෂා කිරීම මෙන්ම එය වැළැක්වීමට ප්‍රතිකාර ලබාදීමත් සිදුවේ.

*පරීක්ෂණයට පෙර, දරුවාව පැය කිහිපයක් නිරාහාරව තැබීම අවශ්‍යවන අතර, ඒ කාල සීමාව පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩලය මාපියන් දැනුම්වත් කරයි.

 

බයෝප්සි (Biopsy -පටක පරීක්ෂාව)

 

*පටක පරීක්ෂාවක් කරන ක්‍රමවේද කිහිපයක් තිබේ. අදාළ ස්ථානයෙන් කුඩා පටක සාම්පලයක් ලබාගැනීම (Incisional Biopsy) ඉන් එකකි. උදා - ගැටිත්තක්

*මේ ආකාරයට පටක සාම්පලයක් ලබා ගැනීම ස්කෑන් පරීක්ෂාවක් ආධාර කරගනිමින් ද (Ultra Sound fuided biopsy) සිදු කරනු ලැබේ.

*අනෙක් ක්‍රමය වන්නේ සැක සහිත කොටස / ගැටිත්ත සම්පූර්ණයෙන්ම ඉවත් කර පරීක්ෂණ සඳහා යොමු කිරීමයි. (Excisional Biopsy)

*එසේම අදාළ ස්ථානය හිරි වැටීමකට ලක්කර කටුවකින් විද පටක / තරල සාම්පලයක් ලබා ගැනීමත් සිදු කෙරේ.

මේ ලබාගන්නා පටක සාම්පල රසායනාගාර පරීක්ෂාවට ලක් කිරීම මඟින් රෝගීන් හඳුනා ගැනීම රෝගයේ වර්ධනය හෝ සුව වීම නිරීක්ෂණය කිරීම සිදුකරනු ලැබේ.

 

ඇටමිදුලු පරීක්ෂාව (Bione Marrow A spiration)

 

ඇටමිදුලු ලෙස අප හඳුන්වන්නේ බොහෝ අස්ථිවල මධ්‍යයේ පිහිටන රුධිර සෛල සහ පට්ටිකා නිපදවන මෘදු ස්පොන්ජ් වැනි පටකයි.

*ඇටමිදුලු පරීක්ෂණයේදී, මේ පටකයෙන් ඉතා කුඩා සාම්පලයක් ලබාගෙන රසායනාගාරය තුළ දී අන්වීක්ෂයකින් පරීක්ෂාකර බැලීම සිදුකෙරේ.

*මෙමඟින් සමහර පිළිකා වර්ග මෙන්ම ආසාදන හා රුධිරයේ විෂමතා හඳුනා ගැනීම ද පහසුකරන අතර, මෙය රෝග විනිශ්චයට අත්‍යවශ්‍ය පරීක්ෂණයකි.

*බොහෝවිට ශල්‍යාගාරයක් තුළ දී දරුවාව සිහි නැති කිරීමෙන් අනතුරුව මෙම පරීක්ෂණය සිදු කෙ‍රේ.

*එම නිසා පරීක්ෂණයට පෙර, දරුවාව පැය කිහිපයක් නිරාහාරව තැබීම අවශ්‍යවන අතර, පෙර සූදානම පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩලය ඔබව දැනුවත් කරයි.

*සිහි නැති කිරිමෙන් පසු සිදුකරන බැවින් මෙම පරීක්ෂණය දරුවාට වේදනාවක් ඇති නොකරයි.

 

එක්ස් කිරණ - (X -Ray) පරීක්ෂණ

මෙහිදී විකිරණ භාවිතයෙන් ඔබේ දරුවාගේ රෝගය ඇතැයි සැක කරන දේහ කොටසේ එක්ස් කිරණ පටලයක් (X -Ray) ලබාගැනීම සිදුවේ. බොහෝවිට රෝගය හඳුනා ගැනීමේදී සහ ප්‍රතිකාර අතරතුර දරුවාට සිදුකරන මූලික පරීක්ෂණයකි. මෙය සිරුරේ අස්ථි සහ අනෙකුත් අවයවල පින්තූරයක් ලබා ගැනීම හා සමාන වේ.

ස්කෑන් පරීක්ෂාව (Ultara Sound Scan)

මෙහිදී අතිධ්වනි තරංග භාවිතයෙන් සිරුර අභ්‍යන්තරයෙහි ඇති අවයව පිළිබඳ ප්‍රතිරූපයක් පරිගණක තිරයක් ආධාරයෙන් පරීක්ෂා කිරීම සිදුවේ.

පිළිකාව හඳුනා ගැනීමට මෙන්ම පටක සාම්පල ලබාගැනීමේදී මඟ පෙන්වන්නකු වශයෙන් ද ස්කෑන් පරීක්ෂාව වැදගත් වේ. මෙම පරීක්ෂණයේදී දරුවාට කිසිම වේදනාවක් / අපහසුතාවක් නොදැනේ.

 

අස්ථිවල ස්කෑන් පරීක්ෂාව (Bone Scan)

අස්ථිවල ඇති අසාමාන්‍යතාවන් හඳුනා ගැනීමට මෙම පරීක්ෂාව යොදා ගැනේ. විශේෂයෙන්ම අස්ථිවල ඇතිවන පිළිකා හඳුනා ගැනීමටත් අස්ථිවල පැතිරුණු පිළිකා හඳුනා ගැනීමටත් මෙම පරීක්ෂාව උපයෝගී වේ.

*පරීක්ෂණයට පෙර ඉතා කුඩා ප්‍රමාණයකින් විකිරණශීලි මූලද්‍රව්‍යයක් දරුවාට එන්නත් කිරීමත් පසුව ස්කෑන් යන්ත්‍රය මත දරුවා හාන්සි කර සිරුරේ සේයා රූ ලබා ගැනීමත් සිදුවේ.

*මෙම පරීක්ෂණයෙන් පසු විකිරණශීලි මූලද්‍රව්‍ය සිරුරෙන් පිටවිය හැකි නිසා පැය 24ක් යනතුරු, දරුවා සෙනඟ ගැවසෙන ස්ථානවලට ගෙන යෑමෙන් වැළකිය යුතුයි.

 

සී.ටී. ස්කෑන් පරීක්ෂාව (Computer fo Mography - CT

එක්ස් කිරණ භාවිතයෙන් දරුවාගේ සිරුර අභ්‍යන්තරයේ ඇති අසාමාන්‍යතා හඳුනා ගැනීම සඳහා විස්තරාත්මක රූප සටහන් ලබා ගැනීම මෙහිදී සිදුවේ. මේ පරීක්ෂණය සඳහා ගතවන්නේ විනාඩි 10 - 15ක් වැනි සුළු කාලයකි. පිළිකාව හඳුනා ගැනීම මෙන්ම පිළිකාවේ පැතිරීම තීරණය කිරීමට ද මෙහි ප්‍රතිඵල ප්‍රයෝජනවත් වේ.

 

MRI පරීක්ෂණය (Magnetic Resonane Imaging)

 

මෙම පරීක්ෂණය මඟින් පිළිකා ගැටිති සහ වෙනත් පටක වෙනස්වීම් පැහැදිලිව දැකගත හැකියි. මෙයද වේදනාවකින් තොර පරීක්ෂණයක් වන අතර, විනාඩි 20 - 60 අතර කාලයක් මේ සඳහා ගතවනු ඇත.

 

පෙට් ස්කෑන් (Pet Scan - Positron 'Emission Tomography)

 

පිළිකා සෛල මඟින් ශරීරයේ අනෙකුත් සාමාන්‍ය සෛලවල වඩා වැඩිපුර ග්ලුකෝස් ප්‍රමාණයක් රුධිරයෙන් සෛලවලට උරාගැනේ. මෙම දැනුම උපයෝගි කරගෙන ශරීරයේ ඇති පිළිකා සෛල හඳුනා ගැනීමට කෙරෙන ස්කෑන් පරීක්ෂණයකි. පරීක්ෂණයට පෙර විකිරණශීලී ග්ලුකෝස් සුළු ප්‍රමාණයක් ශරීරයට එන්නත් කරනු ලැබේ. මෙය පිළිකාවේ පැතිරීම හඳුනා ගන්න සුදුසුම පරීක්ෂණයකි.

 

විශේෂ ස්තූතිය -

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ

ප්‍රජා වෛද්‍ය සචින්තා දිල්හානිට