එක්තැන් වූ රෝගීන්ට පාදවල රුධිර කැටි ගැසීම් වැඩියි

මැයි 15, 2019

රුධිරය ඕනෑවටත් වඩා ගලා යන ස්වරූපයෙන් පැවතීම හා ඕනෑවටත් වඩා කැටි ගැසුණු ස්වරූපයෙන් පැවතීම සාමාන්‍ය තත්ත්වයක් නොවේ. මේ දෙකම පැවතිය යුත්තේ සමබරවය.

 

උපතින්මත්, පසුකාලීනවත්

මෙසේ වීම උපතින්මත් ඇතැම් විට පසුකාලීනව ඇති වූ රෝගී තත්ත්වයක් නිසාත් සිදුවීමට පුළුවන. රුධිරය කැටි ගැසීමට හා දියකිරීමට බලපාන එන්සයිමයේ දුර්වලතාව කෙනකුට උපතින්මත් ඇතිවීමට පුළුවන. ජාන විකෘතිතාවක් නිසා වන මෙවැනි තත්ත්වවලදී පාදවල රුධිරය කැටිගැසීම තරුණ අවධියේදී ම සිදුවීමට පුළුවන.

 

සාමාන්‍යයෙන් ගර්භණී සමයේ දී පාදවලට වෙනදා තරම් ව්‍යායාම නොලැබෙන නිසාත් රුධිරය කැටි ගැසීම පමණට වඩා වැඩිවේවි. මේ කාලයේ ඔවුනගේ රුධිරය ද උකුය. ඒ හැරුණු විට ආඝාත තත්ත්වයන් නිසා එක්තැන්ව සිටින අයගේත් නිතර නිතර පාදවල රුධිර කැටි ගැසිම් ඇති වේ.

පිළිකා තත්ත්වයන්ගෙන් පෙළෙන්නන්ගේ ද ස්වභාවයෙන්ම නිතර නිතර රුධිර කැටිගැසීම් දක්නට ලැබේ.

 

අස්ථි භග්නයක් නිසා පාදවලට ප්ලාස්ටර් දමා සිටින අයට ද පාද සෙලවීමකින් තොරව එකම ඉරියවුවකින් සිටීමට වන නිසා මාංසපේශී ක්‍රියාකාරි වන්නේ නැත. ඔවුනගේ ද රුධිරය ඉහළට ගලායෑමක් සිදු නොවන නිසා පාදවලට රුධිරය කැටි ගැසීමට පුළුවන. දින තුනකට වඩා එකම ඉරියවුවෙන් සිටීමෙන් මෙසේ විය හැකියි.

 

ධමනිගත රුධිරය සහ ශිරාගත රුධිරය යනුවෙන් වර්ග දෙකකි. පාදවල රුධිරය කැටි ගැසීම් ඇතිවනුයේ ශිරා ආශ්‍රිතවයි. ධමනිගත රුධිරය කැටි ගැසීමට හා පුපුරායෑමට ලක්විය හැකි වුවද ශිරා ගත රුධිරය ගලායෑම සෙමින් සෙමින් සිදුවී කැටි ගැසිය හැකිවනු විනා පුපුරා යන්නේ නැත. එහෙත් මෙම රුධිර කැටි පෙනහැල්ල දක්වා යෑම සංකූලතා රැසකට මඟ පාදයි.

 

උපදෙස්

කොළඹ ජාතික රෝහලේ රුධිරවාහිනි සම්බන්ධ

විශේෂඥ ශල්‍ය වෛද්‍ය

රිස්වි කසීම් ගෙනි

 

විශේෂ ස්තූතිය

හදිසි ප්‍රතිකාර පිළිබඳ වැඩබලන විශේෂඥ වෛද්‍ය

මධුරංගි ආරියසිංහ