මොකක්ද මේ සරම්ප බිය ?

වැඩිම අවදානම කුඩා දරුවන්ට
ජනවාරි 15, 2024

 

සරම්ප රෝගය වයිරසයක් මඟින් වැලඳෙන මිනිසුන් අතර පමණක් පවතින රෝගයකි. ලෝකයේ අවුරුදු පතා මිලියන 20කට අධික පිරිසක් සරම්ප රෝගයට ගොදුරුවන බව වාර්තා වේ. සරම්ප එන්නත භාවිතයට පෙර ප්‍රජාවෙන් සියයට දහයකට වඩා වැඩි දෙනකුට වයස අවුරුදු 10 වනවිට සරම්ප රෝගය වැලඳුණි.

 

සරම්ප රෝගය සෑදෙන්නේ Paramyxoviridae පවුලට අයත් වයිරසයකිනි. මෙම වයිරසය උගුරේ පිටුපස හා පෙණහලු ආස්තරණය කරන සෛල තුළ සාමාන්‍යයෙන් වර්ධනය වේ. ඉතා ඉක්මනින් පැතිර යාමේ හැකියාව ඇති සරම්ප වයිරසය බිඳිති ආසාදනය මඟින් හා රෝගියකු සමඟ සමීප ඇසුරකින් නිරෝගී අයට ආසාදනය වේ. මෙහිදී කැස්ස, කිවිසීම හෝ රෝගියකුගේ නාසයේ, උගුරේ හෝ ඇති ආසාදිත සොටු දියර මඟින් සරම්ප වයිරසය නිරෝගි පුද්ගලයකු තුළට ඇතුළු වේ.

බීජෞෂණ සමය

සරම්ප රෝගයට නිරාවරණය වීමේ සිට කුෂ්ට/ පලු ඇතිවීම දක්වා කාලය බීජෞෂණ සමයයි. සාමාන්‍යයෙන් දින 10 - 14 දක්වා වේ. කුෂ්ට/ පලු ඇතිවීමට දින හතරකට පෙර සිට කුෂ්ට/ පලු ඇතිවීමෙන් දින හතරක කාලය දක්වා රෝගීයකුගෙන් නිරෝගී පුද්ගලයකුට සරම්ප රෝගය වැලඳිය හැකියි.

 

රෝග ලක්ෂණ

සරම්ප රෝගයට ඉතා ඉක්මනින් පැතිර යාමේ හැකියාවක් ඇති අතර රෝගය වැලඳුණු විට ඉතා ඉක්මනින් රෝග ලක්ෂණ ද ඇතිවේ.

බීජෞෂණ සමය අවසාන වීමට ආසන්නයේ ආසාදිත පුද්ගලයා තුළ තද උණ, කැස්ස, සොටු දියර ගැලීම සහ ඇස් රතු වීම ඇති වේ. ඊට දින තුන හතරකට පසු විශේෂිත වූ කුෂ්ටය/ දදය ඇති වේ. මෙහිදී රෝගියාගේ මුහුණෙහි හා බෙල්ලෙහි මුලින්ම කුෂ්ටය/දදය ඇතිවන අතර ඉන්පසු මෙම කුෂ්ටය/දදය බඩ පෙදෙස අත් හා කකුල් දක්වා විහිදේ. මෙම කුෂ්ටය/ දදය සාමාන්‍යයෙන් දින තුනකට පසු නොපෙනී යයි. මීට සමගාමීව බොහෝවිට රෝගියාගේ ශරීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 සිට 40 දක්වා ඉහළ නැඟිය හැකියි. කුෂ්ඨය/ දදය ඇති වී දින තුනකට පසු රෝගය සුව වීමට පටන් ගනී.

සරම්ප රෝගය වැලඳුණු විට දීර්ඝකාලීනව ඇතිවන ප්‍රතිශක්තියක් එම පුද්ගලයා තුළ ඇතිවේ.

 

සරම්ප රෝගය නිසා සංකූලතා හෝ මරණය ඇති වීමේ වැඩි අවධානමක් පවතින කාණ්ඩ

 

* අවුරුදු 5ට අඩු දරුවන්

* විශාල සමූහයක් සමඟ ජීවත්වන්නවුන්

* මන්දපෝෂණයෙන් පෙළෙන්නන්

* විටමින් ඌනතා ඇති අය

* ප්‍රතිශක්තිකරණ ඌනතා රෝගවලින්

පෙළෙන්නන්

රෝගය උත්සන්න වූ තත්ත්වයක ඇති විට එච්. අයි. වී. රෝගීන්ට සරම්ප රෝගය නිසා සාමාන්‍යයෙන් ඇතිවන සංකූලතා වන්නේ කනෙහි ආසාදන, ශ්වසන මාර්ගයේ ආසාදන හා නියුමෝනියාවයි.

රෝගය වැලඳෙන ළමයින්ගෙන් සියයට 5 - 15කට පමණ කනෙහි ආසාදන ඇතිවන අතර සියයට 5 - 10කට පමණ නියුමෝනියාව ඇති වේ. දියුණුවන රටවල ජීවත්වන දරුවන්ට විශේෂයෙන් දැකිය හැකි සංකූලතාවක් වන්නේ දීර්ඝ කාලීනව පැවතිය හැකි පාචනයයි. එසේම රෝගීන් 1000ක ගෙන් එක අයකුට මොළයේ උණ සෑදිය හැකියි. සෑම රෝගීන් 10000 - 100000 අයකුට මධ්‍ය ස්නායු පද්ධතියේ සෙමින් වැඩිවන ආසාදන තත්ත්ව ඇතිවේ.

විශේෂ ස්තූතිය -

වසංගත රෝග විද්‍යා අංශයට