සාර්ථකත්වය ලබා ගත් මිනිසුන් ඒ වෙනුවෙන් උපකාරී කර ගත් පුරුදු හා කරුණු දහය

අගෝස්තු 4, 2021

 

*සාර්ථකත්වය යනු පුරුදුවල ප්‍රතිඵලයකි

*අපට ප්‍රතිඵල ලැබෙන්නේ අපේ ක්‍රියාවන් අනුවයි

දියුණුව සොයා යාම එතරම් අපහසු කාර්යයක් නොවේ. එහෙත් ඒ සඳහා නිවැරැදි මාර්ගයේ අප ගමන් කළ යුතුය. බොහෝ දෙනා නිවැරැදි මාර්ගය නොදැන වෙනත් මාර්ගවල ගමන් කිරීම නිසා දියුණුව නැතිනම් සාර්ථකත්වය ළඟාකර ගැනීමට නොහැකිව සිටිති. අප මේ ලිපි මාලාවෙන් බලාපොරොත්තු වන්නේ ජීවිතයේ කුමන හෝ ඉලක්කයක් හඹා යන ඔබට ඒ සඳහා යා යුතු නිවැරැදි මාර්ගයට අයත් මං සලකුණු ලබා දීමයි.

අප නිතර ඔබට පවසන දෙයක් වන්නේ සාර්ථකත්වය ලබා ගත හැකි වන්නේ වාසනාව හෝ දෛවය එසේත් නැතිනම් තමාගෙන් බැහැරව ඇති වෙනත් දෙයක් නිසා නොවන බවයි.

සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වන්නේ අප සිතන හා ක්‍රියා කරන ආකාරය අනුවයි.

සතුටින් සිටීම යනු පුරුද්දකි. එමෙන්ම සාර්ථකත්වය යනු පුරුදුවල ප්‍රතිඵලයකි. ලෝකයේ සාර්ථක වූ මිනිසුන්ගේ ජීවිත දෙස බැලීමේ දී පෙනී යන පොදු කාරණාවක් වන්නේ ඔවුන් සාර්ථකත්වය ළඟාකරගෙන ඇත්තේ ඔවුනගේ ජීවිතවල තිබූ පුරුදුවල ප්‍රතිඵලයක් වශයෙන් බවයි.

එමෙන්ම අසාර්ථක පුද්ගලයන්ගේ ජීවිත දෙස බැලීමේ දී ඔවුන් අසාර්ථක වී ඇත්තේ ඇයිදැයි සොයා බැලීමේ දී පෙනී යන කාරණාවක් වන්නේ ඔවුන්ගේ ජීවිතවල තිබූ නරක පුරුදුවල ප්‍රතිඵලයක් නිසා බවයි.

ඔබ සාර්ථක පුද්ගලයකු නොවේ නම්, එසේත් නැතිනම් ඔබ අපේක්ෂා කළ සාර්ථකත්වය තවමත් ළඟාකර ගත නොහැකි වූවා නම්, ඒ ඇතැම් විට කුඩා හේතුවක් නිසා විය හැකියි.

ඔබ අසාර්ථකත්වයට පත් වූ එම කුඩා හේතුව වන්නේ ඔබ ළඟ ඇති නරක පුරුදු හඳුනාගෙන ඒවා ඉවත් කිරීම නැතිනම් ඒවායෙන් මිදීම එක් පියවරක් වන අතර අනෙක් පියවර වන්නේ සාර්ථකත්වය ළඟාකර ගත් පුද්ගලයන් තුළ තිබූ සාර්ථකත්වයට ඉවහල් වූ හොඳ පුරුදු මොනවාදැයි දැනගෙන ඒවා තමාගේ ජීවිතයට ද අදාළ කරගැනීමයි.

ඉන් ඉදිරියට එම හොඳ පුරුදු ක්‍රියාත්මක කිරීමේ විනය ඔබට හදා ගත හැකි නම් ඒ තුළින් ඔබට සාර්ථකත්වය අනිවාර්යයෙන් ළඟාකර ගත හැකි වනු ඇති.

ගාර්බේජ් ඉන් ගාබේජ් අවුට් ලෙසින් සුප්‍රසිද්ධ ඉංග්‍රීසි කියමනක් ඇත. ඉන් පැවසෙන්නේ කුණු ඇතුළු කළ විට ප්‍රතිඵලය ලෙස ද ලැබෙන්නේ කුණු බවයි. මෙවැනි වූ අදහසක් මෙයටත් වඩා අර්ථවත් ලෙසින් බුදු රජාණන් වහන්සේ ද දේශනාකර ඇත. එනම්, මුං වැපුරූ විට මුං ද තල වැපිරූ විට තල ද ලැබෙන බවයි. ඉන් අදහස් වන්නේ අපට ප්‍රතිඵල ලැබෙන්නේ අපගේ ක්‍රියාවන් අනුව බවයි.

මිනිසුන් තමා පුරුදු වූ දේ සිදු කරමින් සාර්ථකත්වය ලැබෙන තෙක් බලා සිටියා යැයි සාර්ථකත්වය ලැබෙන්නේ නැත. සාර්ථකත්වය ලබා ගැනීමට නම් අපගේ චරිතයේ ඇති දුර්වල, අයහපත් දේ ඉවත දමා සාර්ථකත්වය ලැබූ මිනිසුන් තුළ ඒ සඳහා දායක වූ පුරුදු අපගේ චරිතයට ආදේශ කරගත යුතුය.

ජීවිතය ජයගැනීම උදෙසා ඉලක්ක හඹා යන ඔබට සාර්ථකත්වය ලබා ගත් මිනිසුන් ඒ වෙනුවෙන් උපකාරී කරගත් පුරුදු හා කරුණු දහයක් පිළිබඳ අද සිට අපි ඉදිරිපත් කරන්නෙමු. මේ පුරුදු නැතිනම් කරුණු ඔබේ ජීවිතය තුළ තිබේදැයි බලා එම පුරුදු ඔබ තුළ මේ වන විටත් නැතිනම් ඒවා ඇතිකර ගැනීමට උනන්දු වන්න.

නමුත් මතක තබා ගත යුතු වන්නේ මේ පුරුදු ඇතිකර ගැනීමෙන් පමණක් නොව, ඒවා ආත්මීය ලෙස ඔබේ ජීවිතයට බද්ධ කොටගෙන දියුණුව උදෙසා යොදවා ගත යුතුය. එසේ නැතිව නිකන්ම ඒවා ක්‍රියාත්මක කිරීම පමණක් ම දියුණුව උදෙසා ප්‍රමාණවත් නොවේ.

 

1. අලුයමින් අවදි වන්න.

අලුයමින් අවදි වූ විට වැඩ කිරීමට දවස ඉතිරි වේ. එමෙන්ම අළුයම ඇති පරිසර තත්ත්වය නිසා ඔබේ ගතට සිතට ප්‍රබෝධවත් බවක් ලැබේ. ජීවිතය සාර්ථක කරගත් බොහෝ පුද්ගලයන්ගේ ජීවිත දෙස බැලීමේ දී පෙනී යන්නේ ඔවුන් අලුයමින් අවදිව තම කටයුතු සිදු කිරීමට පුරුදු පුහුණු වූවන් බවයි. බුදුරජාණන් වහන්සේ පවා අළුයම අවදිව තමාගේ පිහිට අවැසි වූවන් ගැන සොයා බලා ඇත. අළුයම 4.45 සිට 5.45 අතර කාලය බ්‍රහ්ම මුහුර්තය ලෙසින් ද හඳුන්වයි. මේ කාලයේ අවදි වූ විට සිරුරට දැනෙන නැවුම් හැඟීම ඔබේ කාර්යයන් නිරවුල්ව හා ජවයෙන් යුතුව සිදු කිරීමට දවස පුරාම අවශ්‍ය ශක්තිය සපයයි.

කලින් අවදි වීමට නම් අප කලින් නින්දට යා යුතුය. මන්ද සිරුරේ ක්‍රියාකාරීත්වයන් උදෙසා නින්ද අවශ්‍ය වන බැවිනි. එම නිසා උදෙන් අවදි වීමට නම් මධ්‍යම රාත්‍රිය වනතෙක් නොසිට කලින් නින්දට යා යුතුය. අද අපේ රටේ බොහෝ දෙනා පුරුදුව සිටින්නේ රාත්‍රී කාලයේ මැදියම ඉක්මවන තෙක් අවදිව සිට උදෑසන 7,8 පමණ තෙක් නිදා ගැනීමටයි. නමුත් මෙය සාර්ථකත්වය බලාපොරොත්තු වන අයෙක් නොකළ යුතු දෙයකි. බුදු රජාණන් වහන්සේ ද පවසා ඇත්තේ සුවසේ නින්දට ගොස් සුවසේ අවදිවිය යුතු බවයි.

එසේ නම් සාර්ථකත්වය බලාපොරොත්තු වන ඔබ අළුයමින් අවදි වී සුන්දර හිමිදිරියේ සුවය විඳ තමාගේ නැවුම් අදහස් ක්‍රියාත්මක කරන්න. සාර්ථකත්වයට යන මඟෙහි පළමු පියවර මේ ඔස්සේ ඔබ තැබුවා යැයි සතුටු වන්න.

 

 

උපදෙස්

ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු