වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මෛත්‍රී සහගත සිතක් ඇත්නම් නිහතමානී ගුණය ඔබ සතුය
ජනවාරි 9, 2019
ජීවිතය කියන්නේ හරිම සුන්දර එකක්. එය යහපත් කරගැනීම හෝ අයහපත් එකක් බවට පත්වන්නේ අපගේ සිතුම් පැතුම් අනුවයි. එනිසා හැමදාම හිතුවේ එකම විදියකට නම්...... හැමදාම ඉන්නේ එකම විදියට නම් අවුරුදු ලබලා ගෙවිලා කොච්චර ගියත් ඒ ජීවිතවලින් ඵලක් නැහැ. කවුරුන් හෝ එහෙම ඉන්නවා ඔබ දකිනවා නම් ඒ උපන්නාට ජීවත් වෙනවා කියන එකනම් බොරුවක් නොවේ.
වැඩිහිටි, පොඩිහිටි මේ කාටත් වෙනස් විය හැකියි. නමුත් මම මේ ඔබට කියන්නේ ඇඳුම් පැලඳුම්වලින් කරන වෙනස්වීම නම් නොවෙයි.
ඔබේ චින්තනය වෙනස් විය යුතුයි. ආකල්පමය වෙනසක් සුබවාදී ලෙස සිතුවිය යුතුයි. පසුගිය සතියේ මම ආකල්පමය වෙනස පිළිබඳ ඔබට ලීවෙමි.
ආකල්පමය වෙනසක් සිදුවීමට අනෙක් වැදගත්ම සාධකය ‘ආදරය’ යි. ආදරණීය හිතකට බොහෝ පහසුවෙන් වෙනස් විය හැකියි.
කෙතරම් දුක්ඛදෝමනස්සයන් අප හමුවේ පැමිණිය ද ජීවිතය දෙස සුබවාදීව බැලිය හැකිවන්නේ ආදරයෙන් පිරුණු හිතක් ඇත්නම් පමණි. ආදරණීය හිතක් එතරම්ම වැදගත් වන්නේ ඒ නිසයි. ආකල්පමය වෙනසකට ආදරයේ වටිනාකම කෙතරම් බලපෑමක් ඇති කරන්නේ ද යන්න ගැන මා පසුගිය සතියේ සටහන් කළෙමි.
එහි තවත් දිගුවක් ලෙස මට හිතුණා ජීවිතය සුන්දර කරගන්නට........ ජීවිතයට වටිනාකමක් එකතු කරන ‘නිහතමානි’ ගුණයේ වටිනාකම ගැන ඔබ දැනුවත් කරන්නට. මෙය ඔබට සුළුවට දැනෙන කාරණයක් විය හැකියි. එනිසාම මේ ගැන නොසලකා සිටිනවා විය හැකියි.
එහෙත් ජීවිතය එළිය කරන්නට.... ජීවිතයට වටිනාකමක් ගෙන දෙන්නට නිහතමානී වීමේ ගුණය කෙතරම් අපට ඉවහල් වන්නේ ද යන්න සිතන පිරිස මේ සමාජයේ ඉතාම දුර්ලභය.
නිහතමානී බව පිළිබඳ අප සමාජයේ ඇත්තේ බොහෝම වැරැදි මතයකි. සමහරු නිහතමානී ගුණය දකින්නේ නිවට නියාලුකමක් ලෙසිනි.
නැතිනම් මෝඩකමක් විදියට ය. සැබැවින්ම ඔබත් නිහතමානීකම ගැන එසේ සිතුවේ නම් “මෝඩයා” වන්නේ ඔබ මිස නිහතමානී ගති ඇති ඇය/ඔහු නොවේ.
මාන්නයෙන් හිස උදුම්වාගත් ඇත්තෝ එසේ සිතුවත් ජීවිතයට ලස්සන හැඩයක් එකතු කර ගන්නට නම්.. ජීවිතය වර්ණවත් කරගන්නට නම් ඉන් ලැබෙන පිටුවහල මෙතෙකැයි කිව නොහැකිය.
ඔබ මෙවැනි පුද්ගලයන් කාර්යාලයේ දී නැතිනම් මහමඟදී නැතහොත් නිවෙසේදී දැක තිබේද? රාජකාරි අවශ්‍යතාවයකට කාර්යාලයට පැමිණ ඔබ හමුවන විටදී තමන්ගේ ආසනයෙන් මොහොතකට නැඟිට අමුත්තන් පිළිගන්නා මහත්ම මහත්මීන්. එවගේම බස් රථයකදී, දුම්රියේ දී වැඩිහිටි අයකුට තම ආසනය කැමැත්තෙන් පිරිනමන ඇත්තන්.... ළඟට පැමිණියත් නොදැක්කා සේ සිටිනා තවත් පිරිසක් ඔබ දැක තිබේද? “මම නම් කියන්න තියෙන දේ මූණටම කියනවා” මෙහෙම කියන අයත් ඔබ අතර නැතිවෙන්නට බැහැ.
කාර්යාලයේ එකටම වැඩ කරන නමුත් සමහර ජේ්‍යෂ්ඨ නිලධාරීන් කණිෂ්ඨ සේවකයන් නොසලකා සිටීම. මේ ඔබ මා සමාජයේ දකින සුලබ සිදුවීම් නොවේද? ඔබත් මෙසේ
හැසිරෙන කෙනකු නම් නිහතමානී ගුණය නම් වූ උතුම් මානවීය ගුණයෙන් ඔබ දුරස් වූ මාන්නයෙන් පිරුණු අයෙක් බව නොකියාම බැරිය. “මම උගතා”, “මම ලොක්කා” යැයි සිතා පිම්බෙන මෙවැන්නෝ සමාජයේ උදහසට ලක්වන්නේ නිතැතිනි.
“නිහතමානී’ ගුණය ඇත්නම් එය කෙනකුට ආභරණයකි. ආශීර්වාද, ප්‍රශංසා, සුභාෂිංශණ නිතැතින්ම ගලා ඒම වළක්වන්නට බැරිය.
උගත්කම ලබන්නට... ලස්සන වන්නට මුදල් වියදම් කළ යුතුය. එහෙත් නිහතමානී වන්නට කෙනකුට මුදල් වියදම් වන්නේ නැත.
එසේ කිසිදා වියදමකින් තොරව අපට ඇති කරගත හැකි නිහතමානීකම නිසා අපගේ ජීවිතවලට ලැබෙන ආකර්ෂණය... පිළිගැනීම.. වටිනාකම... ආශීර්වාදය කෙතරම් ද? මෛත්‍රී සහගත සිතක් ඇත්නම් නිහතමානී ගුණය ඔබ සතුයි.
වැඩිහිටියකු ළාබාල අයකු සමීපයට ගොස් කතා කරන විට ආසනයෙන් නැඟිට කතා කරන්නට තරම් හෝ ආසනයක් පිළිගන්වන්නට තරම් කවරකු හෝ ආචාරශීලී නොවීම සැබෑවටම ලැජ්ජාවට කාරණයකි. මෙයින් පෙනෙන්නේ කවර ගුණයක් ද? වැඩිහිටියකුගේ උතුම් නිහතමානී ගුණයත් අනෙකාගේ මුග්ධ බවත් නොවේ ද?
සමහරු හිතන්නේ තමන් ළඟට පැමිණෙන්නේ තමන් “පොරක්” නිසා බවයි. මෙය වැරැදි ආකල්පයකි. අප පොරක් වන්නේ ඇඟපතින්, තනතුරින්, වත්පොහොසත්කම්වලින්, උගත්කමින් පමණක්ම නොවේ. මේ කිසිවක් ඇතත් උතුම් මනුෂ්‍ය ගුණාංග නැතිනම් ඔහු/ඇය සමාජය පොරක් ලෙස පිළිගන්නේ නැත.
එවැන්නෝ නිතැතින්ම සමාජයෙන් ප්‍රතික්ෂේප වෙති. කෙනකු ළඟට ගොස් කතා කිරීම පවා සමහරු හිතන්නේ මදිකමක් හැටියටය. එය කිසිවිටෙකත් ලැජ්ජාවට කාරණයක් යැයි නොසිතන්න.
තමා සමීපයට ආගන්තුකයකු පැමිණි විට හුනස්නෙන් නැඟිට ආසනයක් පිරිනමන්නට තරම් ඔබ කාරුණික වන්න. එවිට ආගන්තුකයාගේ හිතේ ද ඔබ පිළිබඳ ප්‍රසන්න හැඟීමක් ඉපදෙනු ඇත.
එසේ නොවුණු කළ ඔබ හදාවඩාගත් මවුපියන්ට ද දොස් අහන්නට සිදුවනු ඇත. “නිහතමානී වීම” ලැජ්ජාවට කාරණයක් යැයි සිතෙන්නේ නොපැසුණු, උගත්කමක් නොමැති, උද්දච්ච මාන්නක්කාරය සහිත ඔළුවලට පමණයි. අප කතාවට කියන ‘ඇඳගෙන’ සිටින්නට පමණයි.
තමන් තුළ නිහතමානී ගුණය උපදවා ගැනීම තුළින් තමන්ට ලැබෙන වාසි අපමණය. නිහතමානී වීමත් සමඟ උසස් විනයක් ඇතිවෙයි.
ජීවිතය ගැන සරලව හිතන්නට පුරුදු වෙයි. ලැබෙන දෙයින් සතුටට පත්වෙන්නත් සියල්ල සම සිතින් දරා ගැනීමටත්
පුරුදු වෙයි. වෛරය, ක්‍රෝධය, දුෂ්ටකම්, අමනාපය, ව්‍යාජ බව ආදී දුර්ගුණ සිතින් පලායයි. මෛත්‍රිය, කරුණාව, දයාව නිරායාසයෙන් සැමට පැතිරෙයි.
නිරහංකාර වීම ඔබ, ඔබට කරගන්නා වූ සෞඛ්‍යය ප්රතිලාභයකි. නීරෝගි වීමට ඖෂධ පමණක් ප්‍රමාණවත් නොවේ. සිතුම් පැතුම් කිළිටි නම්... සිත කුහක නම් සිරුර රෝගී වීම කෙසේ නම් වැළකේ ද?
නිහතමානී ගුණය සාර්ථක ජීවිතයක සැබෑම කැඩපතයි. ජීවිතය දිනන්නට සිතන කාටත් ස්ටීව් ජොබ්ස්, අබ්දුල් කලාම් වැනි චරිත සැබෑම ආශීර්වාදයන් ය. නිහතමානී ගුණය ඇති තැන ජීවිතය සරලය.
ඔබ නිහතමානී නොවන විට අනවශ්‍ය ලෙස ඉක්මන් වීම නිතර සිදුවෙයි.
ජීවිතයේ වැදගත් තීන්දු තීරණ ලබාගැනීමේ දී ආවේගශීලී වීම ඔබේ අසාර්ථකත්වයට හේතුවක් විය හැකියි.
නිහතමානී බව පරාජයක්, මෝඩකමක්, නිවට බවක් ලෙස දකින්නේ නූගතුන්ය.
මේ ලැබුවා වූ 2019 වසර වෙන කවරදාටත් වඩා ඔබ නිහතමානී ගුණයෙන් අනූන... උසස් පුද්ගලයකු වනු දැකීම අපගේ හෘදයාංගම ප්‍රාර්ථනයයි.
වචනයට පමණක් නොව ක්‍රියාවෙන්ම එම ගුණාංගය වගා කරගන්නට ඔබ සමත් වුවහොත් ජීවිතය මොනතරම් නම් සැහැල්ලුද යන්න ඔබටම විඳගන්නට ලැබේවි.
෴ Related Articles ෴
ගැහැනිය යනු මේ මිහිමත නිම වුණු අපූර්වතම නිමැවුමක්...