කතුවැකිය

වඩාත් යහපත් හෙට දවසක් වෙනුවෙන්...

මැයි 16, 2022

 

වෙසක් සඳ බැස ගොස් හිරු පායා අලුත් දවසක් උදාවී තිබේ. ගෙවී ගිය කාලයේ සිදුවුණු සියල්ල අතීතයට එක්වී හමාරය. අද දවසේත් යහපත්, අයහපත්, කැමැති, අකැමැති, හොඳ නරක, අපට අවශ්‍ය, අනවශ්‍ය බොහෝ දේ අලුතින් සිදුවනු ඇත. මෙයින් සිදු නොවිය යුතු දේ පාලනය කරන්නට අප කොතෙක් උත්සාහ කළද ඒවා සිදුවන බව සහතිකය. එයින් වටහා ගත යුත්තේ සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැත යන්නයි. එසේ නම් අප කළ යුත්තේ ඒ ධර්මතාවට ඉඩදී ජීවත් වීමයි.

 

සොබා දහමට ගරු කරමින්, සොබා දහමට ආදරය කරමින් කෙනකුට සැනසිල්ලේ ජීවත් විය හැකිය.

බුදු හිමියෝ පවා සොබා දහමට කෘත ගුණ දැක්වීම සඳහා තමන්ට බුදුවීමට සෙවණ දුන් බෝධියට අනිමිස ලෝචන පූජාවෙන් ගෞරව කළහ.

හෙට යළිත් සුපුරුදු ලෙස ඉර පායා එනු ඇත. ඒ දවසට සතුටින් මුහුණ දීමට අප අද දවසේ සූදානම් විය යුතුය. එසේම හෙට දවසේත් තවත් බොහෝ දේ සිදුවනු ඇත. ඒ අතර අපට අවශ්‍ය දේ මෙන්ම අනවශ්‍ය දේ ද සිදුවිය හැකිය. අප අපේක්ෂා කරන දේ මෙන්ම අනපේක්ෂිත දේ ද සිදුවනු ඇත. ඒ නිසාම අපට සිතාගත නොහැකි ප්‍රශ්න, ගැටලු වලට මුහුණ දීමට සිදුවුව හොත් ඒවාට මුහුණ දීමට තරම් අප ශක්තිමත් විය යුතුය.

ජීවත් වීම යනු මෙසේ එළඹෙන ප්‍රශ්න, ගැටලු වලට සාර්ථකව මුහුණ දී ඒවා විසඳාගෙන ඉදිරියට යාමයි.

එක් ප්‍රශ්නයකට විසඳුම් සොයා සිතට අස්වැසිල්ලක් ගනිද්දී තවත් අලුත් ප්‍රශ්නයක් පැන නගිනු ඇත. ඇතැම්විට ඒවා අප විසින් නිර්මාණය කරගත් ඒවා නොවිය හැකිය. පවුලේ වෙනත් කෙනකු විසින්, අසල්වැසියකු විසින්, සමාජය විසින් හෝ පාලකයන් විසින් නිර්මාණය කළ ඒවා විය හැකිය. ඒ ප්‍රශ්න කෙසේ නිර්මාණය වූවද අපට පිළිතුරු සෙවීමට සිදුවීම කටුක සත්‍යයයි.

‘‘ ඕන දෙයක් වුණාවේ. අපි අපේ පාඩුවේ ඉඳිමු‘‘ යන සංකල්පයෙන් සිටිය හොත් ඇතැම්විට එය මහා ඛේදවාචකයක් වී අපත් එහි ගොදුරක් බවට පත්වීම වැළැක්විය නොහැකිය.

අප වෙන් වෙන් වශයෙන් මේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට උත්සාහ ගන්නා අතර සාමූහිකව විසඳුම් අවශ්‍ය තැන්වලදී එම තීරණ ගත යුතුය.

අද අප හමුවේ පැන නැගී ඇති ප්‍රශ්න රාශියකි. එදිනෙදා යමක් උපයාගෙන සැනසිල්ලේ ජීවිතයක් ගත කිරීමට සිතා සිටි අපගේ ජීවිත වලට විසඳාගත නොහැකි ප්‍රශ්න රාශියක් උද්ගතවී ඇත. දැන් අප කළ යුත්තේ ඒවා ඇති කළේ කවුරුද යන්න සොයා බලමින්, ඔවුනට සාප කරමින් සිටිනවාට වඩා ඒවා විසඳාගැනීමට අපට කළ හැකි දේ කිරීමට උත්සාහ කිරීමයි.

පසුගියදා සිදුවුණු ඛේදවාචකය හමුවේ අපේ සමස්ථ ජන ජීවිතයම අඩපණ වී ඇතුවා සේය. ආහාර, ගෑස්, ඉන්ධන යන ජීවත් වීමට අත්‍යාවශ්‍ය දේ පමණක් නොව දරුවන්ගේ අධ්‍යාපනය, රැකියාව, කර්මාන්ත, ගොවිතැන වැනි බොහෝ දේඅපට අහිමි වී තිබිය හැකිය. මේ නිසා අප හෙට දිනයේ වඩාත් සුබදායී ජීවිතයක් ගොඩ නඟා ගැනීමට මේ අපහසුතාවන්ගෙන් මිදෙන්නට උත්සාහ ගනිමු. ඒ සඳහා අපට කළ හැකි පුංචි හෝ යහපත් දෙයක් කරන්නට සිතට ගනිමු.

 

මම

ඔබේ ආදරණීය

ඉඳුනිල් වීරරත්න

තරුණී

ප්‍රධාන කර්තෘ