විස්මිත ගුණ ඇති එඬරු තෙල්

දෙසැම්බර් 19, 2018

අකලට හිස කේ ගැලවී යාම වර්තමාන සමාජයේ බොහෝ තරුණ තරුණියන් අතර දක්නට ලැබෙන සුලබ ප්‍රශ්නයක්. මෙම තත්ත්වය නිසා බොහෝ පුද්ගලයන් මානසිකව ද කඩා වැටෙන අවස්ථා එමටයි.

අවසානයේ සිදු වන්නේ හිස කේ ගැලවී යාම වළක්වා ගැනීම සඳහා ඕනෑම දෙයක් සිදු කිරීමට ඔවුන් පෙලඹීමයි. මේ නිසා මිල අධික කෘත්‍රිම වෙළෙඳ නිෂ්පාදන භාවිතකර තත්ත්වය තවත් උග්‍ර වීම සිදු වෙනවා. හිස කේ ගැලවී යාම වළක්වා ගැනීම සඳහා ස්වභාවික බෙහෙත් වර්ග තරම් ප්‍රතිඵලදායක වන තවත් දෙයක් මේ ලොව නැතිතරම්.

රූපලාවණ්‍ය ගැන කතා කරන විට කෙස් කලඹ පිළිබඳ ගැටලුවලට අමතරව සමෙහි පවතින වියළිබව, කුරුලෑ ලප කැළැල් ප්‍රධානයි. මෙම ගැටලුවලින් රුව අවලස්සන කරන අතරම මනසට ද ගෙන දෙන්නේ පීඩාවකි. අද අප කියන්න යන්නේ මේ සියලු ගැටලුවලට විසදුමක් ලබාදිය හැකි ස්වාභාවික බෙහෙතක් ගැනයි.

ඔබ එඬරු තෙල් ගැන අසා තිබෙනවා ද? ඉංග්‍රීසි භාෂාවෙන් මෙම බලගතු තෙල් වර්ගය හඳුන්වන්නේ ඛ්චඵබධප ර්‍ණඪත යන නමින්. මෙහි ආයුර්වේදීය ගුණය ගැන සියවස් ගණනාවක් දුරට පැතිරි යනවා. මේ තෙල් වර්ගය ටිකක් අප්‍රසන්න ගතියකින් යුතු නිසා බොහෝ දෙනා මෙය භාවිතයෙන් ඉවත්කර තිබුණත් මෙමගින් හිස කෙස් පෝෂණයට සහ වර්ධනයට මෙන්ම සමෙහි පැහැපත් බවට ලබා දෙන උත්තේජනය වෙනත්

 

කිසිදු දෙයකින් ලබා ගැනීමට කිසිවකුට හැකිවන්නේ නැහැ.

දැන් ඔබට පුදුමත් ඇති කොහොමද මේ එඬරු තෙල්වලින් පමණක් මෙතරම් පෝෂණයක් ලැබෙන්නේ කියලා. එඬරු තෙල්වල අඩංගු වෙනවා රයිසොනොලික් අම්ලය නම් පෝෂණීය සංඝටකයක්. මෙම රයිසිනොලික් අම්ලය ප්‍රබල ප්‍රතිබැක්ටීරියාකාරක ගුණයකින් හා ප්‍රතිදිලීරමයකාරක ගුණයකින් යුක්තයි. ඒ වගේම එඬරු තෙල්වල ඔමේගා 9 මේද අම්ල ද යහමින් අඩංගු වෙනවා. ඔමේගා 9 මේද අම්ලය කියන්නේ හිස් කබලේ පෝෂණයට සහ සමට අත්‍යවශ්‍ය දෙයක්. මේ සියල්ල එක් වූ කල එඬරු තෙල් අකලට හිස කේ ගැලවීයාමට වගේම සමෙහි ගැටලුකාරි තත්ත්වයන්ට භාවිත කළ හැකි බලගතුම ප්‍රතිකාරයක් බවට පත්වෙනවා.

හිසකෙස් වර්ධනයට

එඬරු තෙල්වල අඩංගු රයිසිනොලික් අම්ලය නිසා හිසමතුපිට ආම්ලිකතාවය පාලනය කර හිසකෙස් ඇතුළතින්ම පෝෂණය කරයි. එමඟින් හිසකෙස් ගැලවී යාම, කැඩීයාම, කෙස් අග පැළීම වැනි රෝගී ත්ත්වයන් මඟහරවා ඔබට නිරෝගී දිදුලන කෙස් කලඹක් ලබා දෙයි. තවද හිස්හොරි, හිස්කබලෙහි වියළි බව පාලනය කිරීමටත් මෙය කදිම ඖෂධයකි.

තත්ත්වයෙන් උසස් පිරිසුදු එඬරු තෙල් සපයාගෙන, දිනපතා නින්දට යාමට පෙර එඬරු තෙල් බින්දු 2 ක් පමණ අත්ලට ගෙන හිසකේවල ගල්වා හිස් කබලට හොඳින් වදින සේ සම්බාහනය කරන්න. මෙම සත්කාරය නොනවත්වා මාස 3 ක් පමණ සිදු කිරීම වඩා ප්‍රතිඵලදායක වේ.

සම රැලි වැටීම වැළැක්වීමට

එඬරු තෙල් ස්වල්පයක් ගෙන සම මතුපිට තට්ටුවක් මෙන් ආලේප කරන්න. මෙය සමේ සිදුරු අවහිර නොකරන නිසා එමඟින් අහිතකර බලපෑමක් ඇති නොවේ. සම ගැඹුරටම පෝෂණය ලබා දෙන නිසා ලප කැළැල් ද ඉක්මනින් මකා දමනවා. අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්න නම් මේ සත්කාරය මාස 5 ක් පමණවත් කළයුතුයි.

වියළි සමට

එඬරු තෙල් සමට හොඳින් උරා ගන්නා නිසා සමෙහි වියලි බව දුරු කර සමට මනා තෙතමනයක් ලබා දෙයි. මෙහි අධික අම්ල අඩංගු නිසා සමෙහි වියළිබව වළකා සමට මෘදු බවක් ගෙන දෙයි මෙමඟින් ඉරී තැලී ගිය සමක් වුණත් ඉක්මනින් යථා තත්ත්වයට පත්කරයි. එමෙන්ම සමෙහි ඇදෙනසුලු බව ද වැඩි කරයි.

ස්ටෙ‍්‍රච් මාර්ක් සඳහා

සම ඇදීමෙන් ඇතිවන කැළැල් මෙමගින් මකා දැමිය හැකියි. විශේෂයෙන්ම ගර්භණී සමයෙන් පසුව ඇතිවන ස්ටෙ‍්‍රච් මාර්ක් සිරුරට ගෙන දෙන්නේ අවලස්සනකි. මේ ස්ට්‍රෙච් මාර්ක් මත එඬරු තෙල් ආලේප කිරීමෙන් සම යථා තත්තවයට පත්කර ගත හැකියි.

පිග්මන්ටේෂන් සඳහා

පිග්මන්ටේෂන් යනුවෙන් හඳුන්වන්නේ සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇතිවන ලප කැළැල්ය. විවිධ ආලේපන වර්ග භාවිත කළත් මේ ලප කැළැල් මකා දැමීම තරමක් අපහසුය. නමුත් එඬරු තෙල් භාවිතයෙන් ඒ ගැටලුවත් ඔබට පහසුවෙන් විසඳා ගැනීමට හැකි වේ.

ඇහි බැම සහ ඇස් පිහාටු වර්ධනයට

ඝන ඇහි බැමත්, දිගු ඇස් පිහාටුත් මුහුණට ගෙන දෙන්නේ අමුතුම අලංකාරයකි. ඒ නිසා ඇතැමුන් ඒ සඳහා කෘත්‍රිම ඇසි පිහාටු ද භාවිත කරනවා. නමුත් එඬරු තෙල් භාවිතයෙන් ඔබට ඝන ඇහි බැමක් සහ දිගු ඇස් පිහාටු ලබා ගත හැකියි. මෙහිදි තෙල් ආලේප කරන විට ඇසට නොයන ලෙස ආලේප කිරීමට වගබලා ගන්න.

කැඩී ගිය නිය වර්ධනයට

එඬරු තෙල්වල අඩංගු පෝෂණය නිය කැඩීයාම වළකා නිය ශක්තිමත් කරයි. එමෙන්ම දිදුළන බවක් ද ගෙන දෙයි. ඔබේ නියමත එඬරු තෙල් ආලේප කිරීමෙන් හෝ එඬරු තෙල් සහිත බඳුනකට නිය ඔබා තැබීමෙන් මේ කියන වාසිය ඔබටත් ලබාගන්න පුළුවන්.

යටිපතුල් පැලීමට

බොහෝ කාන්තාවන් යටි පතුල් පැලීම නිසා පීඩා විඳිනවා. එඬරු තෙල්වලින් සමේ තෙතමනය ආරක්ෂා කරන නිසා මෙය පැළුණු යටි පතුල්වලට ඖෂධයක්. එඬරු තෙල්, පොල්තෙල් ස්වල්පයක් සමඟ මිශ්‍ර කර යටි පතුල්වල ආලේප කරන්න. දිනපතා මෙම සත්කාරය කිරීම ප්‍රතිඵලදායක වේ.

වියළි දෙතොලකට

වියළි දෙතොලකින් මුහුණට අවලස්සනක් ගෙන දෙන අතරම දිදුලන දෙතොලකින් ගෙන දෙන්නේ අලංකාරයකි. වියළි තොල් මත එඬරු තෙල් ස්වල්පයක් ආලේප කර සම්බාහනය කරන්න. එයින් පැහැපත් නාදලුවන් දෙතොලක් ඔබටත් හිමිකර ගත හැකියි.මෙතරම් වාසි රැසක් ලබා දෙන එඬරු තෙල්, ඔබ තවමත් භාවිත නොකරන්නේ මන්ද? ඔබත් මේ විස්මිත ගුණ ඇති එඬරු තෙල් භාවිතකර ලස්සන රූ සපුවකට හිමිකම් කියන්න.

උපදෙස්

ඩුබායි, නෙදර්ලන්තය, මාලදිවයින සහ ටෙක්නික් ඉන්ටර්නැෂනල් ආයතනයේ පුහුණුවලත් දළුගම Degreens Salon සහ නුගේගොඩ  Seven Look, හි රූපලාවණ්‍ය ශිල්පිනී

අරෝෂි කෞශල්‍යා