වර්ෂ 2025 ක්වූ May 26 වැනිදා Monday
Hair Dresser වරලස හැඩ ගන්වන්නට පෙර

වරලස විවිධ විලාසිතාවන්ට අනුව හැඩගස්වන්නට යුවතියන් කොහොමත් කැමතියි. ඔවුන් ඒ සඳහා කේශලාවණ්‍ය ශිල්පියකුගේ සහාය පැතුවොත් ඔබ පිහිට වෙන්නේ කොහොමද? හිසකෙස් විලාසිතා කිරීමට පෙර කේශලාවණ්‍ය ශිල්පියකු ලෙස ඔබ සැලකිල්ලට ගත යුතු කරුණු පිළිබඳ දැනුම්වත්ද?
ඔබගේ සේවාව තුළ නිවැරැදිව සාධාරණව ආරක්ෂිතව සේවාදායකයා බලාපොරොත්තුවන ඔවුන්ට ගැළපෙන හිස කෙස් විලාසිතාවක් ඉටුකර දීමට ඔබ සමත් වන්නේ නම් එමඟින් සේවාදායකයා තෘප්තිමත් වන අතර ඔබගේ වෘත්තීමය ප්‍රතිරූපයට එය මහත් ආභරණයක් වෙයි.
සේවාදායකයාගේ සහ ඔබගේ ආරක්‍ෂාව
සිදු කරන සේවාව අනුව ඔබ සහ සේවාදායකයා ආරක්ෂිත ඇඳුම්වලින් සූදානම් වීම සහ සූදානම් කිරීම අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතු කරුණකි. එසේම සියලුම භාණ්ඩ සහ උපකරණ ජීවාඅනුහරණය කර විෂබීජවලින් තොරව පිරිසුදු කර සූදානම් කරගෙන තිබීම වැදගත් වේ. නැතිනම් ඔබ සහ සේවාදායකයා ලෙඩරෝගවලට ලක්විය හැකියි. එසේම සේවාදායකයාගේ හිසකෙස් විලාසිතාවට භාවිත කිරීමට බලාපොරොත්තු වන නිෂ්පාදන ප්‍රමාණවත් පරිදි තිබීම, නිසි ප්‍රමිතියකින් යුක්ත නිෂ්පාදන වීම, කල් ඉකුත් වීම පිළිබඳ සැලකිලිමත් වීම, සේවා දායකයාගේ කොණ්ඩයේ ස්වභාවය ඉල්ලන විලාසිතාව අනුව නිෂ්පාදන සහ උපකරණ භාවිතය, විදුලිය භාවිත කරමින් සිදු කරන හිසකෙස් විලාසිතා නම් විදුලි පද්ධතීන්ගේ සහ භාවිත කරන උපකරණවල ආරක්ෂිත බව පිළිබඳ ඔබ අවධානය යොමු කළ යුතුවේ.
ප්‍රමාණවත් ඉඩකඩක් සහ පැහැදිලි ආලෝක තත්ත්වයක්
හිසකෙස් විලාසිතාකරණයේදී ඔබ අවධානය යොමු කළ යුතු අනෙක් වැදගත්ම කාරණය වන්නේ ප්‍රමාණවත් පරිදි ඉඩකඩ තිබීම සහ පැහැදිලි ආලෝක තත්ත්වයක් තිබීමයි. ප්‍රමාණවත් ඉඩකඩක් ඔබගේ සේවා ස්ථානයේ සකස් කරගෙන නොමැති නම් එම කාර්යය සඳහා හැකියාව ඇති අයකු වුවත් ඔබට සේවාදායකයා වෙනුවෙන් පහසුවෙන් සහ හොඳ කාල කළමනාකරණයකින් අදාළ කර්තව්‍යය ඉටු කිරීම පහසු වන්නේ නැත. එසේම පැහැදිලි ආලෝක තත්ත්වය විලාසිතාවේ සමබරතාව සේවාදායකයාගේ මුහුණට සහ සිරුරට ගැළපෙන විලාසිතා කිරීමට ඉඩකඩ සපයයි.
හිසකෙස් විලාසිතාව දැමීමට පෙර සේවාලාභියා සමඟ අදහස් හුවමාරුව
ක්ෂේත්‍රය තුළ පරිණතවීමේදී බොහෝ කේශලාවණ්‍ය ශිල්පීන් අතින් සිදුවන විශාල වරදක් වන්නේ සේවාදායකයාගේ අදහස් විමසන්නේ නැතිව තම මතයට පමණක් විලාසිතාව යොදා ගැනීමයි. එය කිසිසේත්ම නොකළ යුතුයි. නිවැරැදි සේවා සැපයීමක් යනු ගැළපෙන එහෙත් සේවාදායකයාගේ කැමැත්ත අනුව සේවය සැපයීමයි. නොගැළපෙන විලාසිතාවක් සේවාදායකයා ඉල්ලන්නේ නම් එය සුහදව සේවාදායකයාට පැහැදිලි කර දී ගැළපෙන විලාසිතාව යෝජනා කර ඒ පිළිබඳව දැනුම්වත් කර පොදු එකඟතාවකට පැමිණ විලාසිතාව සිදු කිරීම සාධාරණ වේ.
සේවාදායකයාගේ මත විමසීමේදී සහභාගී වීමට බලාපොරොත්තු වන උත්සව අවස්ථාව, සේවාදායකයා අඳින ඇඳුම් විලාසිතාව, ආභරණ ආදී හෝ මල් හිසට පැලඳීමට බලාපොරොත්තු වන්නේද යන්න, විලාසිතා සඳහා භාවිත කරනු ලබන නිෂ්පාදනවලට කිසියම් අසාත්මිකතා ඇත්ද නැද්ද යන්න පිළිබඳව ඔබේ අවධානය යොමු කළ යුතුවේ.
ඔබගේ සේවාව අවසන් කර දිය යුතු වෙලාවද විමසීම ඉතාම වැදගත් කරුණකි. ඔබ ඔබගේ කාර්යය කොතරම් දක්ෂ අන්දමින් ඉටු කළත් එය නියමිත වේලාවට ඉටුකර දීමට අපොහොසත් වුවහොත් එම සේවාවේ සාර්ථක භවෙහි අඩුවක් තිබේවි.
අයකරනු ලබන මුදල පිළිබඳ පැහැදිලි එකඟතාවක්
හිසකෙස් විලාසිතාව සඳහා අය කරනු ලබන මුදල පිළිබඳ පැහැදිලි එකඟතාවකට නොපැමිණීම කේශලාවණ්‍ය ශිල්පීන් අතින් සිදුවන විශාල වැරැද්දකි. විශේෂයෙන් ඔබ දන්නා හඳුනන කෙනෙක් ඔබගේ සේවාව ලබා ගැනීම සඳහා පැමිණියහොත් මිල පිළිබඳ විමසීමේදී බොහෝවිට ඔබගේ පිළිතුර වන්නේ "කැමති ගානක් දෙන්න" යනුවෙනි. එයින් සේවාදායකයාට අනුමානයක්වත් ගැනීමට දැනුම්වත්කමක් නොමැති නම් සේවාදායකයා දැඩි අපහසුතාවකට පත්වෙයි. ඔබගේ ප්‍රකාශය මත සේවාදායකයා ඔබගේ සේවාව වෙනුවෙන් අනුමාන කර දෙනු ලබන මුදල ප්‍රමාණවත් නොවේ නම් භාවිත කළ නිෂ්පාදන සහ ඔබගේ ශ්‍රමය පිළිබඳ මහත් කලකිරීමකට පත් වන්නට සිදු වේවි. මුහුණේ හැඩතල, හිසේ හැඩතල, ඇඳුම් විලාසිතා, සිරුරේ ස්වභාවය, හිසකෙස්වල ස්වභාවය අනුව, වයස අනුව, ගැළපෙන ද්‍රව්‍ය සහ උපකරණ භාවිත කරමින් විවිධ අවස්ථාවලට ගැළපෙන සාම්ප්‍රදායික සහ නවීන විලාසිතා අනුව හිසකෙස් විලාසිතා සිදු කරන අන්දම පිළිබඳ ඉදිරියේදී දැනුම්වත් වෙමු.
උපදෙස් :
ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය උපදේශිකා
නදීකා පෙරේරා