හෙනා ගෙනා දීප්තිය

මැයි 12, 2025

හෙනා සත්කාරය පිළිබඳ ඔබ හොඳින්ම අසා ඇති. ඒත් ඒ පිළිබඳව ඔබ දැනුම්වත්ද? මෙය ජනප්‍රිය වන්නේ වර්ණ ගැන්වීමේ ක්‍රමයක් ලෙස වුවත් හෙනාවලින් ලැබෙන්නේ කෙස්වලට වර්ණයක් විතරක්ම නොවේ.

 ඇත්තෙන්ම හෙනා කෙස්වලට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හැඳින්වුවහොත් එහි වරදක් නොමැත.

කෙස්වල පෝෂණයට, අධික ලෙස හිසකෙස් හැලීම වැළැක්වීමට, කෙස් දුර්වර්ණ වීම වළක්වා ගැනීමට, හිසකෙස් හොඳින් වර්ධනය කර ගැනීමට, හිස්කබලේ සහ කෙස්වල රෝගාබාධවලින් මිදීමට හෙනා සත්කාර උපකාරී වේ.

හෙනා ප්‍රතිකාරයකින් හිසකෙස්වල වර්ණය වෙනස් වීමට ඒ සඳහා ගනු ලබන අනෙකුත් ස්වාභාවික අමුද්‍රව්‍යවල ස්වභාවය සහ ස්වාභාවික අමුද්‍රව්‍ය ප්‍රමාණයද බලපානු ලබයි.

හෙනා ප්‍රතිකාරයක් සඳහා මූලිකවම භාවිත කරන අමුද්‍රව්‍ය වන්නේ මරතෝන්ඩි කොළයි. අප වෙළෙඳපොළෙන් මිලදී ගන්නා ස්වාභාවික හෙනා පවුඩර්වල මූලික අමුද්‍රව්‍ය ලෙස මරතෝන්ඩි කොළ අඩංගු වුවද එයට තවත් පෝෂණය ගෙන දෙන ස්වාභාවික ශාක ද්‍රව්‍ය බොහොමයක්ද එක්කර තිබේ.

රසායනික ද්‍රව්‍ය ආසාත්මික අයටත්, රසායනික ද්‍රව්‍ය භාවිතයට කැමැත්තක් නොදක්වන අයටත් තමාගේ හිසකෙස්වල ස්වාභාවික පෙනුම රැකගනිමින් කොණ්ඩය හොඳ තත්ත්වයෙන් පවත්වා ගැනීමට මෙම ප්‍රතිකාර ක්‍රමය උදව් වේ.

 

හෙනාවලින් හිසකෙස්වලට විවිධ වර්ණ ගත හැකිද?

බොහෝදෙනා සිතන්නේ හෙනාවලින් ගත හැකි වන්නේ කෙස්වලට කළු පැහැය පමණක් බවයි. එහෙත් එය වැරදි මතයකි. අප හෙනා සමඟ ස්වාභාවික ද්‍රව්‍ය භාවිත කර කළු වර්ණයට අමතරව වෙනත් වර්ණද හිසකෙස්වලට ලබාගත හැකි වේ.

කළු වර්ණය ලබා ගැනීමට

හෙනා පවුඩර් ග්‍රෑම්100 කට කෝපි කුඩු මේස හැඳි එකක්, දෙහි බෑයක යුෂ සහ නටන වතුර දමා ගොරෝසුවට පැක් එකක් සාදා ගන්න.

දුඹුරු වර්ණය ලබා ගැනීමට

ස්වාභාවික දුඹුරු පැහැය සඳහා හෙනා පවුඩර් ග්‍රෑම් 100කට තේ කොළ මේස හැඳි එකක් දෙහි බෑයක යුෂ සමඟ නටන උණු වතුරට දමා ගොරෝසුවට පැක් එකක් සාදා ගන්න.

රන් පැහැයට හුරු තැඹිලි පැහැය ලබා ගැනීමට

හෙනා පවුඩර් ග්‍රෑම් 100 කට තළා ගත් කැරට් ග්‍රෑම් 50ක යුෂ, දෙහි බෑයක යුෂ සමඟ නටන උණු වතුර දමා ගොරෝසුවට පැක් එකක් ආකාරයට සාදා ගන්න.

රතු පැහැයට හුරු දුඹුරු පැහැය ලබා ගැනීමට

හෙනා පවුඩර් ග්‍රෑම් 100කට තළා ගත් බීට්රූට් ග්‍රෑම් 50ක යුෂ, දෙහි බෑයක ඉස්ම නටන උණුවතුරට දමා ගොරෝසුවට තලපයක් මෙන් සාදා ගන්න.

හෙනා පෝෂණීය සත්කාරයක් ලෙස

භාවිත කරන විට හෙනා පවුඩර් ග්‍රෑම් 100කට, බිත්තරයක්, නටන උණු වතුර එක් කරමින් ගොරෝසුවට තලපයක් මෙන් සාදා ගන්න.

හෙනා ප්‍රතිකාරය කන්ඩිෂනර් සත්කාරයක් ලෙස

භාවිත කරන විට

හෙනා පවුඩර් ග්‍රෑම් 100කට දෙහි බෑයක යුෂ, යෝගට් හෝ මී කිරි මේස හැඳි දෙකක් හා නටන උණුවතුරද එක් කරමින් ගොරෝසුවට තලපයක් මෙන් සාදා ගන්න.

සේවාදායකයාගේ අවශ්‍යතාව අනුව සාදාගත් පැක් එක, හිස් මුදුනින් පටන්ගෙන හිස්කබලේ සහ කෙස්වල රවුම් ආකාරයට රඳවමින් ආලේප කරන්න.

 

මෙම පැක් එක සාදා ගැනීමේදී පමණට වඩා දියාරු ගතියට සාදා ගැනීම සුදුසු නොවේ. පමණට වඩා දියාරු ස්වභාවයක් එකතු වුවහොත් කෙස් ඉහළට ඇලෙන ආකාරයට රඳවා ගැනීම අපහසු විය හැකියි. මේ ආකාරයට මුළු හිස්කබලේම සහ කෙස්වල ආලේප කර පැයක් පමණ තබන්න. මෙසේ තැබීමේ දී ෂවර් කැප් එකකින් ආවරණය කර තැබීම වඩාත් සුදුසුයි. මින් බලාපොරොත්තු වන්නේ අප භාවිත කරන පැක් එක හිස්කබලට සහ කෙස්වලට හොඳින් උරා ගැනීමයි.

මෙමඟින් කෙස් ගසේ ඇතුළත ව්‍යුහයට වෙනසක් සිදු වන්නේ නැත. එනම් රසායනික ක්‍රියාවලියක් සිදුවන්නේ නැත. කෙස්වලට කිසිදු අහිතකර ප්‍රතිඵලයක් සිදු නොවේ. පැහැය වෙනස් වන්නේ ද බාහිර ව්‍යුහයෙන් පමණි. මේ ආකාරයට පැක් එක පැයක් පමණ තබා සෝදා හරින්න.

මෙම ප්‍රතිකාරය සත්කාරයක් ලෙස සිදු කරන්නේ නම් මාසයකට වතාවක්වත් සිදු කිරීම වඩාත් සුදුසුයි.

උපදෙස් :
ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය උපදේශිකා
නදීකා පෙරේරා