වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ආදරයේ පාඩම කියාදෙන සොඳුරු ගහකොළ
මේ ගීතය සමඟ මාගේ මතකය දශක දෙක තුනකට ආපස්සට ගමන් කරයි. අප පුංචි සන්ධියේ මේ ගීතය නිරන්තරයෙන් ගුවන්විදුලියෙන්, රූපවාහිනියෙන් අසන්නට ලැබුණු බව ඔබටත් මතක ඇති.
ගහ වැලෙහි උතුම්බවේ, වටිනාකමේ මුල්ම පාඩම ලොකු පොඩි කාහටත් හදවතට දැනෙන ලෙස ඉදිරිපත් කළ අපූරු පද සංකල්පනාවකි, මේ.
මේ පදවැල් ලියූ ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ හැම විටම රට, ජාතිය, ආගම නඟා සිටුවීම උදෙසා උදාර හැඟීම් අප සිත් තුළ ජනිත කරන්නට දිවි හිමියෙන් කැප වූයේ යම් සේද එලෙසම පරිසරයට ආදරය කරන්නට ද පරිසරයට ආදරය කිරීමේ අපූරු පාඩම ඒ අයුරින්ම අපට කියාදෙන්නට වුයේ රටත් ජාතියත් රැකෙන්නට නම් පරිසරය සුරැකිව තිබීම අත්‍යවශ්‍ය කාරණයක් බව සක්සුදක් සේ දැන සිටි බැවිනි.
මෙම සත්‍යයට පිටුපා ක්‍රියාකිරීමේ අනිටු විපාක අද අපි හොඳහැටි විඳින්නෙමු. මවුපියන්ට, වැඩිහිටියන්ට ආදරය... සැලකුම් කළ යුත්තේ යම් සේද එලෙසින්ම පරිසරයටත් ආදරය කිරීමේ පාඩම කියානොදුන් වරදට අප සියල්ලෝම අද වන්දි ගෙවති.
ගෝලීය උෂ්ණත්වය වෙන කවරදාටත් වඩා ඉහළ යමින් අපට ඉන්නට, හිටින්නට බැරි තරමට අපගේ ශරීරයට වද දෙමින් අද අප ගෙවන මේ පීඩාකාරී ජීවිතයට කිසිවකුට ඇඟිලි දික්කිරීමෙන්, වරද පැටවීමෙන් අපට මින් නිදහස් විය හැකිද? ඔබ මොහොතකට හෝ කල්පනා කළා ද? දරාගත නොහැකි ගී‍්‍රස්මය ඇති වුණේ අපේම වරදින් බව.
ඉවක් බවක් නොමැතිව අක්කර දහස් ගණනින් ගස් කපා ගෙන යාමේ අතළොස්සක් දෙනාගේ වරදින් අද මුළු රටකටම දුක් විඳීමට සිදුවී ඇත.
අද අපට කොතැනකවත් අඩුම තරමින් විදුලි පංකාවක් නොමැතිව මොහොතක් සිටිය හැකිද? ගහකොළ අප සමඟ උරණ වන තරමටම අපි පරිසරයට කළ කෲර වදහිංසාවේ බරපතළකම එයින් මනාව පැහැදිලි වේ.
කලට වේලාවට වැසි හොඳින් තිබූ අප රට අද වැස්ස වලාහක දෙවිඳුන් වඩින තුරු ආකාසය දෙස බලමින් කන්නලව් කරන තැනට පත්වී ඇත. බොන්නට දිය පොදක් නොමැතිව දුක් විඳින ලෝවාසීන් මේ මිහිමත කොපමණ සිටීද ? මීට වගකිව යුත්තේ කවුරුන්ද ? සොබා දහම් දියණියට හානි කළ මානව සංහතියම නොවේද? අප මේ මෑතක් වනතුරුම යල මහ කන්න දෙක යහමින් අස්වැද්දූ ජාතියකි. ගංගා ඇළ දොළ වේළී තිබෙනු මීට දශක දෙක තුනකට පෙර අපට දක්නට නොතිබුණි. එවකට සොබාදහම් දිනිතිය අප සමඟ යස අපූරුවට මිත්‍රව සිටියාය.
ඇඟෑළුම් පෑවාය. කලට වැසි වස්සමින් වගාවන් සුපෝෂණය කළා පමණක් නොව අප හැම ගත සිත නිරන්තරයෙන් සුවපත් කළේය. එහෙත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ව ඇත. අද ඇය අප සමඟ අමනාප වී ඇත.
ඇය අපට දඬුවම් කරන තැනටම අමනාපය දුරදිග ගොස් ඇත.
ඉවක් බවක් නොමැතිව අතළොස්සක් දෙනාගේ සුඛවිහරණය,....... බලලෝභය නිසාවෙන් ගහකොළ විනාශ කරවීමේ වරදට සමස්ත මානවයාම ජාති ආගම් භේදයකින් තොරව පීඩා විඳින්නෙමු.
නිවෙසක, කාර්යාලයක අත්‍යවශ්‍ය අංගයක් තරමට අද වායුසමන යන්ත්‍රය පත්ව ඇත. සිසිල් සුළං පොදක පහසට අද අප මෙතරම් ඇලුම් කරන්නේ මේ මහා වන විනාශයේ බරපතළකම ගැන එදා නොසිතූ නිසා නොවේද?
දූපත් මානසිකත්වයෙන් පෙළෙන අප වැනි රටක බහුතරයක් සිතන්නේ බල්ලො මරා හෝ සල්ලි හම්බකරන්නටය. සංස්කෘතික වටිනාකම්, අගනාකම්, යහගුණ මේ සියල්ල මුදල ඉදිරියේ යටපත් වී ඇත. එවැනි සමාජයක මිනිසුන් පරිසරයට ආදරය කරාවිද ? එක විසල් මහා රුකකින් ජීවිත අටක් රැක දෙන බව දන්නේ කීයෙන් කී දෙනා ද? අපට අහිතකර කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් ලබාදෙමින් අප ජීවත්කරවන්නට ගහකොළවලින් කෙරෙන කාර්යය සුළුපටු නොවන බව අප හොඳාකාරවම දනී.
මේ විසල් ගස් කපා කොටා මරා දමන්නෝ, මේ ගසක් පෝෂණය වන්නට වසර සිය ගණනක් පමණ ගතවන බව දන්නේ නම් කිසිදා එසේ නොකරනු ඇත. තවදුරටත් අත්තනෝමතික ලෙස කූඨ වෙළෙඳුන්ට මුදල් උපයන්නට ගස් කපන්නට ඉඩදී නිසොල්මනේ බලා සිටිනවාද යන්න අප සැවොම සිතිය යුතු කාලය දැන් එළඹ ඇත.
පසුගිය අමිහිරි අතීතය අමතක කරමින් දැන් දැන් පරිසරය සුරැකීමට ජනතාවගේ යම් ප්රබෝධයක් ඉස්මතු වී තිබීම සතුටුදායක තත්ත්වයකි. අහිමි කළ වේගය තරමටම නැවත ඇතිවීමක් නොවන නමුත් අපට වන ගහනයෙන් පිරි සුන්දර වටපිටාවකට නැවත උරුමකම් කියන්නට නුදුරේදීම හැකිවේවායි අපේ පැතුමයි.