වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කොමලී නොසිතන විදිහට හිට් වුණා..
කොමලී ඔබ හින්දම
ඔය රුව හින්දම
සිත කුල්මත් වෙලා..
සොකරි වගේමයි යන්නෙම
ඉඟ ගස්සන්නෙම ඔමරි පපා...
මේ දිනවල කවුරුත් මුමුණන මේ සින්දුවට ටික් ටොක් වීඩියෝ එකක් නොකරපු තරුණියක් නම් නැතුව ඇති. එතරම් හද බැඳගත් මේ ගීතය සමාජ මාධ්‍ය ජාලාවල නිතර දකින්න පුළුවන්. කවුද මේ කොමලී ගීතයේ හිමිකරු. ඔහු ජගත් රස්නායක. මේ කතාබහ ඔහු ඔහුම ලියා ඔහුම අධ්‍යක්ෂණය කළ ඔහුම ගායනා කළ කොමලී ගැනයි.
කොමලී කාගෙත් ප්‍රියතම සින්දුව වෙලා.. මොකද හිතෙන්නේ..
හිතපුවත් නැති විදිහට කොමලී හිට් වුණා. හැම තැනින්ම අහන්න ලැබෙන්නේ කොමලී. සමාජ මාධ්‍යවල නිතරම සැරිසරන ගීතයක් වෙලා. ටික් ටොක් වීඩියෝස් විශාල ප්‍රමාණයක් කොමලීට නිර්මාණය වෙලා තියෙනවා. කොමලී නිසා මට ප්‍රසංගවල කොමලී සින්දුව කියන්නත් ආරාධනා ලැබෙනවා.
කොමලී ජානූ ටෙලියේ තේමා ගීතය වුණේ කොහොම ද?
කොමලී කියන්නේ ජානු ටෙලි නාට්‍යයේ තේමා ගීතය. තේමා ගීතයට දාන්න හිටියේ මේ ගීතය නෙවෙයි.'ඔබ මට නොකියනා' කියලා ජානු නාට්‍යට හදලා තිබුණ වෙන ගීතයක් තමයි දාන්න හිතන් හිටියේ. නමුත් අපි හිතුවා අද කාලේ ට්‍රෙන්ඩ් එකට ගැළපෙන සින්දුවක් දැම්මොත් හොඳයි කියලා. එහෙම හිතලා කොමලී කියලා අලුතෙන් සින්දුවක් කළා. ජානු ටෙලියේ සංගීත අධ්‍යක්ෂණය කළේ මම. එහි සියලුම ගීතවල සංගීත අධ්‍යක්ෂණය සහ ගායනය මගේ.
කොමලී හැදුනේ කොහොම ද?
මට සින්දුව ලියන්න පැයක්වත් ගියේ නැහැ. සින්දුව ලිව්වේ මම. සංගීතය කළෙත් මම. ගායනා කරන්නෙත් මම. හසුන් සමීර තමයි ජානු ටෙලියේ අධ්‍යක්ෂකවරයා. එයා මට කිව්වේ අද කාලේ ට්‍රෙන්ඩ් එකට ගැළපෙන, අහපු ගමන් අවධානය ගන්න පුළුවන් වෙන. ඩාන්ස් කරන්නත් පුළුවන් වෙන විදිහේ වගේ ගීතයක් කරන්න ඕනේ කියලා. මේ ටෙලියේ ප්‍රධාන චරිතය කවිහාරි. එයා යෞවනියක්. ටික් ටොක් එහෙම කරන කෙනෙක්. එයාගේ විදිහත් එක්ක බලලා තමයි මේක ලිව්වේ. අනික ගෑනු ළමයි හරි ආසයි ටික් ටොක් කරන්න. සුන්දරත්වය, ලාලිත්‍ය වගේ තරුණියන් ගැන කියැවෙන සින්දුවලට ටික් ටොක් කරන්නත් කට්ටිය හරි ආසයිනේ.. ඒ පැති ඔක්කොම හිතලා තමයි මම මේක ලිව්වේ.
දැන් ගීත කීයක් වගේ කරලා තියෙනව ද?
කාලෙකට කලින් අපි කීප දෙනෙක් එකතු වෙලා බෑන්ඩ් එකක් කළා. 'කට්ට කාලා, චොක්ලට් කෑල්ල'. ඒ කාලේ ඒ සින්දු හරි ප්‍රසිද්ධයි. එක එක හේතු නිසා බෑන්ඩ් එකේ කට්ටිය වෙන් වුණා. ඊට සෑහෙන කාලෙකට සංගීත කටයුතු කළේ නැහැ. ඊට පස්සේ 'මලරෝ' කියලා නන්දා මාලනි මහත්මියට ගීතයක් කළා. ඒක ඇත්තටම ගීත ඇල්බමයක්. ඒ ඇල්බමයේම බඹරුන් වඩීවා කියලා හර්ෂණ දිසානායකට ගීතයක් කළා. බිමල් ජයකොඩිට සින්දුවක් කළා තව ළං වෙලා කියලා. කීර්ති පැස්කුවල්ටත් සින්දුවක් කළා. ඒ වගේම 'මතකය මකා' කියලා මම ගායනා කරන සින්දුවකුත් ඒ අතරට දාලා සින්දු පහක ඇල්බමයක් කළා රූප රචනාත් එක්ක. ඔහොම කාලයක් ගිහින් තමයි මේ කොමලී ගීතය කළේ.
තට්ටු දෙකේ ඉස්කෝලේ සිනමා පටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ මම.
මම වෘත්තියෙන් ටීවි කොමර්ෂල්වලට මියුසික් කොම්පෝස් කරන එක.
පද රචනය, අධ්‍යක්ෂණය සහ ගායනය කියන ත්‍රිත්වයම කෙනෙක්ට පිහිටන්නේ කලාතුරකින්... කොහොමද මේ හැකියාව ලැබුණේ.
අපේ අම්මටත් සින්දු ලිවීමේ හැකියාව තියෙනවා. කෙටි කතා ලියනවා. තට්ටු දෙකේ ඉස්කෝලේ ෆිල්ම් එකේ කතාව ලිව්වෙත් අපේ අම්මා තමයි. අම්ම ජයලත් කුමාරිහාමි. අම්මා තරුණී පුවත්පතටත් අවුරුදු ගාණක් ලිව්වා. රජරට සේවයටත් අම්මා ඉස්සර ලිව්වා. කලා භූෂණ නාමයත් අම්මට මෑතකදි ලැබුණා. මං හිතන්නේ අම්මගෙන් තමයි මේ හැකියාව ලැබුණේ. අප්පච්චි කලාවට සම්බන්ධ නැති වුණත් ඒ කටයුතුවලට සහය දුන්නා. මට ඉන්නේ අයියල තුන්දෙනෙක්. ගෙදර තිබුණෙත් සංගීතමය පරිසරයක්. හැම වෙලාවෙම කට්ටියම එක්ක සින්දු කියනවා. ඒවත් හේතුවක් වෙන්න ඇති.
සංගීත අධ්‍යක්ෂණය කියන්නේ වෙනමම පැත්තක්. කොහොම ද ඒ පැත්තට සම්බන්ධ වුණේ..?
පාසල් කාලයේ ඉඳන්ම මගේ ජීවිතය වුණේ සංගීතය. වැඩි හරියක්ම මම හිටියේ සංගීත කාමරයේ. ගායනයට වඩා ඉස්සර ඉඳන්ම මගේ ආසාව තිබ්බේ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙන්න. කොමලී සිංදුවත් මම කියන්න හිතන් හිටියේ නැහැ. මං ජානු අධ්‍යක්ෂකවරයාට කිව්වේ මේ දවස්වල හිට් ආටිස්ට් කෙනෙක්ට කියලා මේක කියවමු කියලා. එයා කිව්වා මං කිව්වොත් ඒක වඩාත් ගැළපෙයි කියලා. ඒ විදිහටයි ඒ සින්දුව කියන්න ගත්තේ.
සංගීත ඉගෙන ගත්තේ ජාතික තරුණ සේවා සභාවෙන්. ඊටපස්සේ විශාරද විභාගය කළා. බටහිර සංගීතයත් ඉගෙන ගත්තා.
පවුල් ජීවිතය ගැනත් කතා කරමු
මම විවාහකයි. බිරිය නිම්මි තරංගා. ඇය කලා ජීවිතය නිදහසේ ගෙනියන්න අවශ්‍ය සහයෝගය මට ලබා දෙනවා. අපිට අවුරුදු හතරක දුවෙක් ඉන්නවා. ඉතින් පවුල් ජීවිතයත් සුන්දරව ගත කරන ගමන් කලා කටයුතුත් කරගෙන යනවා.