වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
අප්පච්චි මුහුද වගේ ගැඹුරුයි - නිහඬයි
කලාකරුවෙක් ජීවිතයට එක්වරක් හිමිවන සම්මානයකින් පිදුම් ලබන්නේ බොහෝ කලාතුරකිනි. එවැනි වාසනා මහිමයක් හිමිවන්නේ ද බොහෝ අඩුවෙනි. මෙලෙසින් නැවත ජීවිතය ලබමින් ජීවිතාවර්ජනයේ යෙදෙමින් ජීවිතයේ එකම එක් වරක් හිමිවන සම්මානයකට හිමිකම් කීමට වරම් ලැබීම සැබෑම භාග්‍යයකි. මෙවන් වූ භාග්‍යයක් උදා කරගත් අවස්ථාවක් ගැන සමාජ මාධ්‍ය කැලඹීමක් ඇති කළේ ප්‍රවීණ ගායක ප්රිියා සූරියසේන නම් ජ්‍යෙෂ්ඨ ගායකයාට හිමි වූ සුමති සම්මානයයි.
මෙවර සම්මාන උළෙලේදී හිමි වූ සියලුම සම්මානයන්ට වඩා සුවිශේෂී වූ යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලද ප්‍රියා සූරියසේන නම් අසහාය කලාකරුවාගේ දෙනෙත් කඳුළින් තෙත් කළ ඒ ආනන්දනීය රාත්‍රිය බොහෝ හැඟුම්බර එකක් විය. එලෙසින් එම සම්මාන රාත්‍රිය සියලු දෙනාගේ නෙත් කඳුළක ගිල්ලූවේ ඔහුට හිමි ගෞරවයට එහා ගිය බැඳීමක් හෝ ළෙන්ගතුකමක් ප්‍රියා සූරියසේන නම් ගායකයාගේ හදවත තුළ සැඟවී තිබූ නිසාමය.
මෙවන් වූ හැඟීම්බර අවස්ථාවක ඔහුගේ නෙතින් ගලා ආ කඳුළුවල උණුසුම තදින්ම දැනුණු තැනැත්තිය වූයේ ඔහුගේ ආදරණී බිරිය තමරා සූරියසේනයි. ඔහුගේ දෙනෙතින් හැලෙන කඳුළු දෙස හැඟීම්බරව බලා සිටි තමරාගේ දෙෙනත ද කඳුළින් පිරී ගියේ මුළු ප්‍රේක්ෂකාගාරයට සතුටු කඳුළක ගිල්වමිනි.
මේ සතුටු කඳුළින් පිරීගිය ප්රේෂකාගාරයේ තමරාගේ කඳුළට නොදෙවෙනි වූ කඳුළු පිරි දෙෙනතක් අප දුටුවේ ප්‍රියා සූරියසේන කලාකරුවාගේ ලෙයින් උපන් ආදරණීය දියණියගෙනි. තම පියා සහ මව දෙදෙනාම ඉතා හැඟීම්බර වූ ඒ අවස්ථාව ගැන ප්‍රියාගේ ආදරණීය දෙටු දියණිය ඉරෝෂි සූරියසේන සිහිපත් කරන්නේ සිහිනයක් දකින සුරංගනාවියක් විලසිනි.
“අපේ අප්පච්චි මහා සාගරයක් වගේ චරිතයක්. හරිම ගැඹුරුයි. ඒ වගේම සමහරක් වෙලාවට නිහඬයි. සමහරක් වෙලාවට අප්පච්චි අපට තිබුණු ආදරය කොයිතරම් ගැඹුරු ද කියල හිතාගන්නත් බැහැ. සුමති සම්මාන රාත්රියේදී අප්පච්චි ඒ තරම් සංවේදී වුණේ කොහොමද කියලා මට හිතාගන්නත් බැහැ. මුළු ප්‍රේක්ෂකාගාරයම අප්පච්චිගේ ගීතය කියනකොට ඒ සතුට අපට දරාගන්න බැරි වුණා. එය සම්මාන උළෙලේ සුවිශේෂී සිද්ධියක් වුණා.
“මටත් හිතාගන්න බැරි වුණා මගේ අප්පච්චිට මේ තරම් පිළිගැනීමක් තියෙනවා කියලා. ඇත්තටම මේ වගේ සම්මානයක්, පිළිගැනීමක් කලාකරුවකුට ජීවතුන් අතර සිටිනවිට ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ වාසනාව අපේ අප්පච්චිට ලබාදීමට කටයුතු කළ තිලංග සුමතිපාල මහතා ඇතුළු සම්මාන උළෙල සංවිධානය කළ හැම දෙනාටම ස්තුති කරන්න මම මේ අවස්ථාව කරගන්නවා. මේ වගේ දෙයක් ඉතාම ලස්සනට සංවිධානය කිරීම හරිම වටිනවා.
මේ සම්මානය පිරිනැමීමේදී පසුවදන සැපයීමට පෙර ඒ වේදිකාවේ තවත් අපූරු සිද්ධියක් දැක්කා. ඒ වේදිකාවේ නව පරපුරේ ගායක ගායිකාවන් හා ප්‍රවීණ ගායක යුවළක් අප්පච්චිගේ ගීත ගායනා ඉදිරිපත් කළා. ඔවුන් ගායනා කළ ගීත හා පසුබිම් ගායනය හරිම ලස්සනයි. ඒ ගීත හැම එකක්ම අප්පච්චිගේ ජනප්‍රිය ගීත. රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ, ඈත රන් විමන්, ආදරණීය නේරංජනා, සඳ තාරකා තුන්යමේ, මල්සර හිනාව, කියන ගීත ගයද්දී තමයි අපේ අප්පච්චි හුඟක්ම සංවේදී වුණේ.
ප්‍රියා සූරියසේන නම් එම කෘතහස්ත ගායකයාට ඇත්තේ ඔහුටම අනන්‍ය වූ ගී හඬකි. ඒ නිසාම ඔහුට මෙරට ගායන ක්ෂේත්රයේ අඩසිය වසකටත් වඩා වැඩි කාලයක් ජනප්‍රියත්වය එක ලෙස රඳවා ගැනීමට හැකියාව ලැබී ඇත. ඔහුගේ ගීත එදා මෙන්ම අදත් එක ලෙසින් වේදිකාවේ රැව් පිළිරැව් දෙයි.
අපේ අප්පච්චිගෙයි මිල්ටන් අන්කල්ගෙයි ජෝතිපාල අන්කල්ගෙයි ගීතවලට තිබුණු ජනප්‍රියත්ව කවදාවත් එක වගේ. ඒකට එක් හේතුවක් තමයි අපේ අප්පච්චියි අම්මයි දෙන්නම සංගීත ගුරුවරු. ඒ දෙන්න අපට පුදුම ආදරයක් තියෙනවා. අදටත් ඒ ආදරේ කිසිම අඩුවක් නෑ. අපේ පවුලේ එකම පිරිමි දරුවා මල්ලි. එයා ලක්ෂිත. එයා දැන් අෙමරිකාවේ නැනෝ තාක්ෂණ ඉංජිනේරුවෙක්. මල්ලි තව ටික කාලෙකින් තාත්තාව බලාගන්න ලංකාවට එනවා. එයාටත් තාත්තා වගේම ගීත ගායනා කරන්න පුළුවන්. අක්කා මිනෝලි, එයා වෛද්‍යවරියක්. නංගි ගයේෂා එයා තවම අධ්‍යාපන කටයුතු කරනවා. මම පෞද්ගලික බැංකුවක කළමනාකාරිනියක්. අපේ අම්මයි අප්පච්චියි අපට උගන්වන්න සෑහෙන්න කැපවීමක් කළා. මට මතකයි ඉස්සර සින්දුවලට නොටේෂන් දාන්නත් අප්පච්චිමයි. සමහර දවස්වලට එයා සර්පිනාවත් තියාගෙන නොටේෂන් දාන වෙලාවට අපි පාඩම් කරනවා දැක්කොත් එයා ඒක නවත්තනවා. ඒ තරමටම අපේ අධ්‍යාපනයට තැන දුන්නා. සංගීත ගුරුවරියක්ව සිටි අම්මා රස්සාවෙන් ඉවත් වුණේ අපට උගන්වන්න. අප්පච්චි කොයිතරම් රෑට නිදි මැරුවත් පහුවදා පන්තියකට යන්න තියෙනවා නම් එයා අපව එක්කගෙන යනවා. ඒ වගේ ආදරයක් තිබුණා තරම් නිසා අපට හොඳට ඉගෙන ගන්නත් අවස්ථාව ලැබුණේ. හැබැයි සමහර වෙලාවට අප්පච්චි විදේශ සංචාරවලට ගිය අවස්ථාවලදී නම් අපේ වැඩ තනියම කරගන්න වෙනවා."
මෙලෙසින් ආදරයෙන් පිරි ඉතිරී ගිය ප්‍රියාගේ සෙනෙහසේ කැදැල්ල තවමත් ඉතාම සුන්දරය. 1968 වසරේදී ගායන දිවියට පිවිසෙන ප්‍රියා දැනට ගායනය කර ඇති ගීත සංඛ්‍යාව හත්සියයකට අධිකය. කුලියාපිටිය නාත්තන්ඩිය ගමේ ඉපදී ගායන දිවියට පිවිසෙන ප්‍රියා රටක් ප්‍රිය කරන ගායකයෙක් වන්නේ ගුවන් විදුලියෙනි.
හැත්තෑ අටවන වියේ පසුවන ඔහු හදිසියේ රෝගාතුර වන්නේ පසුගිය කොරෝනා සමයේදීය. හදිසියේම රෝගී තත්ත්වයට පත් ව නැවත ටිකක් කාලෙකට පසු සුවපත් වූයේ ඔහුගේ ආදරණීය බිරිය හා දරුවන්ගේ සත්කාරය නිසාමය. එලෙස හදිසියේ රෝගී තත්ත්වයට පත් වූ ආකාරය ගැනද ඉරෝෂි සඳහන් කළේ මෙලෙසිනි.
“කොරෝනා කාලේ අප්පච්චිට විදපු දෙවෙනි එන්නතෙන් පස්සේ ටිකක් ඇවිදීම අපහසු වුණා. නමුත් එයාට ප්‍රතිකාර කරලා සුව වුණා. සුවපත් වෙලා තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් මට්ටමට පත්වුණා. නමුත් හුඟ දෙනෙක් හිතන්නේ අප්පච්චිට අංශභාග තත්වයක් තියෙනවා කියලා. ඇත්තටම එහෙම දෙයක් නෑ. අප්පච්චිට ටිකක් ඇවිදීම අපහසුයි. ඒ නිසා අපි එදා සම්මාන උලෙළට එන්න පහසු වෙන්න තමයි රෝද පුටුවක එක්කන් ආවේ.“
ප්‍රියා සැබවින්ම වාසනාවන්ත කලාකරුවෙකි. කලා දිවියට වසර පනහකට වැඩි වුණත් එකසේ ආදරේ කරන රසිකයන් පිරිසක් සිටී. ඔහුට ආදරය කරන බිරියක් සහ දරුවන් සිව් දෙනකු සිටී. ඒ සියල්ලන්ටත් වඩා ප්‍රියාගේ ගී තවමත් ඇසේ එසේ වන්නේ බොහෝ කලාතුරකිනි. එදා ලියැවුණු ප්‍රියාගේ ගී පද වැල් අදත් ස්මාර්ට් ජංගම දුරකථනවල, පෙම් හසුන්පත්වල කෙටි පණිවුඩවල සටහන් වී තිබෙන්නේ කාලය විසින් පරිවර්තනය වූ තාක්ෂණය ද සමඟිනි.