වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
පෝෂණය සපයනවාට අමතරව....රෝග නිවාරණයටත් කොම්පෝස්ට් හොඳයි
අපගේ පැරැණි ගොවිතැන් තාක්ෂණය මුළුමනින්ම පාහේ සමන්විත වූයේ පරිසර හිතවාදී ක්රියාකාරකම්වලිනි. භූමිය පෙරලා බීජ සිටුවා, නිසි කාලයේදී අස්වැන්න නෙළා ගත්තා මිස පරිසරයේ තිබෙන ජීවී අජීවී කිසිවකට ගොවිතැන හරහා ලොකු බලපෑමක් එල්ලවූයේ නැත.
එහෙත් පරිසරය හා මිතුරු මේ ගොවිතැන් ක්‍රමය දිගටම පවත්වාගෙන යන්නට අප අසමත් වුණෙමු. එක පැත්තකින් වේගයෙන් වැඩිවෙන ජනගහනය හමුවේ ගොඩ නැගෙන අධික ආහාර ඉල්ලුමයි. තවත් පැත්තකින් වැඩිවෙන ජනගහනයට වුවමනා වාසස්ථාන සෑදීමට භූමිය යොදාගැනීම හේතුවෙන් සිදුවෙන වගාබිම්වල සංකෝචනයයි. ඒ නිසා මිනිසාට සිදුවූයේ අඩු ඉඩක වවා, වැඩි අස්වැන්නක් නෙළාගත හැකි භෝග ප්‍රභේද නිපදවන්නටය. අස්වැන්න දුන්නාට පරිසරයට ඔරොත්තු දීම අතින් ඒවා බෙහෙවින් දුර්වලය. ඇහැට කනට පෙනෙන ලෙස මාංසල බවින් වැඩි ගහකොළ නිසා පහසුවෙන් පළිබෝධකයින්ටත් ඒවා ගොදුරුවේ. රෝග වුවත් පහසුවෙන් වැළඳේ.
දිගු කාලයක් තිස්සේ ගොවීන් අතර අතිනත ගිය දේශීය ප්රභේදයන්ගේ බීජ, ගෙවතු වගාවකට හෝ භාවිත කරන්නට තිබුණා නම් මේ තත්ත්වය යටතේ ගොවියා ලබනු ඇත්තේ මහත් සැනසිල්ලකි. මන්දයත් වෙනත් බාහිර සාත්තුවක් නොලබා පරිසරය ජයගන්නට සාම්ප්‍රදායික ප්රභේදයන් සතු මනා ප්රතිරෝධීතාවයක් තිබුණු නිසාය. එහෙත් අද දවසේ බොහෝ ගෙවතුවලට ගමන යන්නට සිදුව ඇත්තේ වැඩිදියුණු කළ ප්‍රභේද සමඟයි. රසායනික පොහොරත්, කෘත්‍රිම පළිබෝධ නාශකත් හවුල් කරගන්නේ නැතිව තිබෙන කුමන හෝ භෝග ප්‍රභේදයක් සමඟ ගමන යන්නට දරන උත්සාහයට ලබාදෙන උපකාරකයකි මේ සටහන......
කොම්පෝස්ට් යනු ගෙවත්තේ තිබෙන වගාවේ පෝෂණ අවශ්‍යතාව සලසා ගතහැකි කදිම ද්‍රව්‍යයකි. මේ වනවිට ඇති උද්යෝගය නිසා කොම්පෝස්ට් පොහොර පිළිබඳව නොයෙකුත් විස්තර ඔබ දැන හඳුනාගෙන තිබෙන්නට පුළුවන. ඒ බොහොමයක් තොරතුරු වලින් කරනු ලබන්නේ කාබනික පොහොරක් ලෙස මෙය වර්ණනා කිරීමයි. එහෙත් අපගේ මෙම උත්සාහය කොම්පෝස්ට් ඇසුරෙන් කළහැකි රෝගපාලනය පිළිබඳව දැන්වීමයි.
මේ සම්බන්ධයෙන් දේශීය කෘෂි විද්‍යාඥයන් විසින් දැනට දශක දෙකකට පමණ ඉහතදී පවා පර්යේෂණ කර අදාළ තොරතුරු ලේඛනගත කර තිබේ.
කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලියේදී එහි පෝෂණ ගුණය වැඩිකිරීම සඳහා සත්ව පොහොර යම් ප්‍රමාණයක් ද එකතුකරනු ලැබේ. මේ සඳහා බහුලව යොදා ගන්නේ ගොම හා කුකුළු පොහොර ය. මේ අතරින් ගොම යොදා සෑදූ කොම්පෝස්ට් වලින් පැළෑටිවලට සෑදෙන දිලීර රෝග මර්දනයට වැඩි පිටිවහලක් ලැබෙන බවට පර්යේෂණාත්මක සාක්ෂි සහිතය. පැළෑටිය රෝගකාරකයන්ට දක්වන ප්‍රතිරෝධීතාවය ඔසවා තැබීමෙන් නොහොත් ප්‍රේරණය කිරීමෙන් මෙහිදී රෝග මර්දනය සිදුකරනු ලබයි. මේ සඳහා කොම්පෝස්ට් දියරය වගාවේ පත්‍ර තෙමෙන සේ ඉසිය යුතුය. සරල දියර ඉසිනයක් මගින් ඔබට මෙය සිදුකරගත හැකිවේවි. දියරය සෑදීම සඳහා කොම්පෝස්ට් හා ජලය 1:1 වශයෙන් භාජනයක් තුළ මිශ්‍රකර හොඳින් කලතා පොලිතීන් වැනි ආවරණයකින් වසා සතියක් පමණ තැබිය යුතුවේ. අනතුරුව කළ යුත්තේ එය රෙදි කඩකින් පෙරා කොම්පෝස්ට් දියරය වෙන්කර ගැනීමයි.
මෙය පෝෂක ද්‍රාවනයකි. එසේම පළිබෝධ නාශකයකි. ශාකය තෙමෙන සේ ඉසින්නට පෙර දියරය 1:1 ප්‍රමාණයට ජලය යොදා නැවතත් තනුක කරගත හැකිය. ළපටි තක්කාලි වගාවට වැළඳෙන පූර්ව අංගමාරය නමැති, පත්‍ර වල ලප හටගන්නා දිලීර රෝගයේ පාලනය උදෙසා සාර්ථකව මේ දියරය භාවිත කළහැකි බවට පරීක්ෂණාත්මක සාක්ෂි තිබේ. එම පර්යේෂණය සඳහා කුකුළු පොහොර භාවිතයෙන් නිපදවූ කොම්පෝස්ට් මෙන්ම ගොම එකතුකර සෑදූ කොම්පෝස්ට් ද යොදාගෙන ඇති අතර හොඳ රෝග පාලනයක් දැක ඇත්තේ ගොම සහිත කොම්පෝස්ට් දියරය වෙතින්ය. සතියකට පමණ වරක් දියර පොහොරක් හා ශාකයේ ප්‍රතිශක්ති ප්‍රේරකයක් වශයෙන් මෙය භාවිතා කිරීමෙන් ගෙවත්තේ එළවළු වවන ඔබට ද හොඳ ප්‍රතිපල ලබාගත හැකිවනු ඇත.
ශාක පෝෂණය පිණිස යොදවනු ලබන්නේ කොම්පෝස්ට්හි තිබෙන අජීවී පෝෂ්‍ය පදාර්ථයන් වුවත් රෝග පාලනය උදෙසා ඉදිරියට එන්නේ කොම්පෝස්ට් සමඟ සිටින අති මහත් ක්ෂුද්රජීවී ගහනයයි. ඔවුන්ගේ රෝග පාලනය ආකාර කීපයකට සිදුවිය හැකිය. ඇතැම්විට ඔවුන් පසේ වෙසෙනා රෝගකාරක ජීවීන් සමඟ ආහාරය සඳහා තරගකර ඔවුන්ව පරාජය කරනු ලබයි. තවත් පිරිසක් මේ හානිකර ජීවීන් මත පරපෝෂිත වෙමින් ඔවුන්ව විනාශකර දමති. මේ සඳහා ප්‍රතිජීවක වැනි ද්‍රව්‍ය නිපදවා පිටතට ශ්‍රාවය කරන්නවුන්ද සිටිය හැකිය. මීටත් අමතරව ඇතැමෙක් ශාකයේ රෝග ප්‍රතිරෝධී ජාන සක්‍රිය කරමින් ශාකයේ ප්‍රතිශක්තිය ඉහළ නංවති.
මේ නිසා කොම්පෝස්ට් යනු සරලව පොහොරක් පමණක් යයි සිතිය යුතු නැත. එය පෝෂණ සම්පාදකයෙක් වෙනවාට අමතරව ඔබගේ ගෙවත්තේ ශාක ආරක්ෂණ මෙහෙවරද බාරගනීමට සුදානම්ය. ඒ නිසා නිෙවස අවටින්ම එකතුවෙන ද්‍රව්‍ය භාවිතයෙන් නිවැරැදි ක්‍රමයට කොම්පෝස්ට් සාදාගන්නේ නම්, ගෙවත්ත වවන්නට පොහොර කළමනා ආදිය පිටින් ගෙනෙන්නට අවශ්‍ය නොවනවා පමණක් නොව වගාවේ ලෙඩට බෙහෙත් සොයන්නට ද කරදර වියයුතු වන්නේ නැත.
උපදෙස්
සනත්එම්. බණ්ඩාර
සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ,
ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය,
ගන්නොරුව, පේරාදෙණිය