වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
අයන් එක ඕෆ් කරන්න අමතක වුණොත් මුළු නිවෙසම ගිනි ගන්න පුළුවන්
විදුලිය අපට නැතුවම බැරි බලශක්තියයි. ඉස්සර වගේ නොවෙයි අද විදුලි බලය නැතිව ගියොත් අපට කිසිම වැඩක් කරගන්නට බැහැ. විශේෂයෙන් නිවෙසක නම් පොල් ටික මිරිකාගන්නට බැරි වෙන තරමට විදුලිය අපේ එදිනෙදා ජීවිත වලට සමීපයි.
විදුලිය කොයි තරම් ප්‍රයෝජනවත් වුවත් අපේ අතින් සිදුවන පුංචි අත්වැරැද්දකින් හෝ නොසැලකිලිමත්කමකින් ලොකු අනතුරක් ඇතිවන්න පුළුවන්. පුංචි දරුවන් ඉන්න ගෙදරක නම් මේ තත්ත්වය වඩාත් භායානකය.
වර්තමානයේ බොහෝ විදුලි උපකරණ, විදුලි මෙවලම් ඉතාමත් ආරක්ෂාකාරීව තිබුණත් සිදුවිය හැකි අනතුරු ගැන ගෘහණියක් විදිහට ඔබ දැනුවත්ව සිටිය යුතුමයි.
“මිගාර ඔයා කිව්වා අවදානමක් ගැන කතාවක් තියෙනවා කියලා...“
පූර්ණිමා සිහිපත් කළේ ලොකු කුතුහලයකින්.
“මතකයි, මතකයි... ඔන්න අහගන්නකො එහෙනම්. කෝ... කාශ්‍යපටත් කතා කරන්න. එයත් මේ කතාව අහන්නම ඕනේ.“
ඔන්න එහෙනම්. මේක ඇත්තටම සිද්ධ වුණු දෙයක් වේයන්ගොඩ පැත්තෙ.
දවසක් දා අනුෂ්ක රූපවාහිනිය නරඹමින් හිටියා. ධනුෂි සිටියේ මිදුල අතුගාමින්. හිටිහැටියේම....
“තාත්තී.... තාත්තී මම සිංදුවක් කියන්න යන්නේ. අහන්න එන්නකෝ.“
පුංචි දෝණි, පාරමී කෑ ගැසුවා. අනුෂ්ක නැඟිටලා පැන්ට්‍රිය දිහාවට ගියා. දැකපු දසුනින් ඔහු මොහොතකට ගල් වුණා. දෝණිගෙ අතේ හීටරය. එහි ප්ලාස්ටික් කොටසෙන් අල්ලාගෙන මයික් එකක් වගේ. දඟරය ගිනියම් වෙලා රත් පැහැයෙන් දිලිසෙනවා. නිමේෂයකින් සිහි එලවා ගත් අනුෂ්ක,
“දෝණි චුට්ටක්වත් හෙල්ලෙන්න එපා. ඔහොමම ඉන්න. මම කැමරාව ගේන්නම්.“
අනුෂ්ක දිව ගියේ අසිහියෙන් වගේ. ට්‍රිප් ස්විචය විසන්ධි කළ ඔහු කැමරාව රැගෙන පැන්ට්‍රියට දිව ගියා. දෝණි පිළිමයක් වගේ නොසෙල්වී ඉන්නවා.
“ඉක්මනට තාත්තී... මේකෙ මිට රස්නෙයි.“
“හරි මගෙ දෙයියා, ඔහොමම ඉන්න රත්තරන්.“
එහෙම කියපු අනුෂ්ක දෝණිගේ අතින් අල්ලා ගත්තා. හීටරය ඇයගේ අතින් ගලවා ගෙන ප්ලග් බේස් එකෙනුත් ඉවත් කළා. ඒකත් අරන් මිදුලට ගිය ඔහු ධනුෂිට දොස් පවරා හීටරය පාරෙන් එහා පැත්තට වීසි කළා.
“ආයෙ එහෙම හීටරයක් ගෙනාවොත් බලාගෙනයි.“
ඔහු ධනුෂිට දැඩි තරවටු හඬින් කිව්වා.
“බලපන් මචං තව ටිකෙන් වෙන විනාසෙ.“
පසුකාලෙකදී ඔහු මිගාරට මේ කතාව පවසලා අන්තිමට කිව්වා.
“අම්මෝ.... අපේ ගෙදර නම් හීටරයක් නැහැ හොඳ වෙලාවට.“
පූර්ණිමා කිව්වා.
“ප්‍රශ්නෙ තියෙන්නෙ හීටරේ නෙමෙයි පූර්ණි නොසැලකිල්ල. හොඳට මතක තියාගන්න ඕනෙ කාරණාවක් තියෙනවා... වතුර ඉතිරුවාම ප්ලග් ස්විච් එක ඕෆ් කරලා, ගලවලා අයින් කරලම තමයි වතුර ප්‍රයෝජනයට ගන්න ඕනෙ.
දැන් ඉස්ත්රික්කෙටත් ඔය වගේම කතාවත් තියෙනවා. ඒ කාලෙ මම වැඩ කළ ආයතනයේ ටිකක් දුර පළාතක ගෑනු ළමයෙක් වැඩකළා. මෙයා බෝඩ් වෙලා හිටියෙ කොල්ලුපිටියෙ පැත්තෙ. දවසක් මෙයාට කෝල් එකක් ආවා. මුළු කාලය පුරාම කිව්වෙ ‘සොරි ආන්ටි... සොරි ආන්ටි..‘ කියල විතරයි. මොකද දන්නවද වෙලා තියෙන්නෙ?
මෙයා වැඩට ඇවිත් ටික වෙලාවකින් බෝඩිමේ ඇන්ටිට රෙදි පිච්චෙන ගඳක් ඇවිත්. එයා ගාව තිබුණ ඩුප්ලිකේට් යතුරෙන් දොර ඇරල බලද්දි, අයන් එක ඕෆ් කරල නැතිව මැදපු රෙදි ගිනි අරන්. මේස ලෑල්ලටත් ගිනි රස්නය අල්ලලා තිබිලා. තව ටිකෙන් ගේ ගිනි ගන්නවා. අන්න ඒ නිසායි මම කිව්වෙ හීටරය, අයන් එක අනතුරුදායක උපකරණ දෙකක් කියලා.
පාවිච්චි කරන වෙලාවටත් අයන් එකේ ප්ලේට් එක හමට වදින අවස්ථා බොහොමයි. ඔය දෙකම ඕෆ් කරපුවාමත් පිලිස්සීමේ අවදානම තියෙනවා.“
“ඕෆ් කරල තියෙද්දි හානියක් වෙන්නෙ කොහොමද මිගාර?“
“පාවිච්චි කරලා ටික වෙලාවක් යනතුරු රස්නය තදටම තියෙනවා. පොඩි දරුවන්ට ඉතාම හානිකරයි සියුමැලි හම නිසා. වැඩුණු අයට වුණත් ගෑවුණොත් සෑහෙන්න අමාරුවක් ඇති කරන්න පුළුවන්. හැම ගෙදරකම ප්‍රථමාධාර කට්ටලයක් තිබීමත් ගොඩක් වැදගත් කාරණාවක්. තුවාල බෙහෙත්, සර්ජිකල් ස්පිරිට්, සේලයින්, පැරසිටමෝල්, පුළුන්, ගෝස් වගේම පිලිස්සුම් තෙල් වගේ දේවල් ඒකෙ තිබිය යුතුමයි. ඒ වගේම ඖෂධවල කල් ඉකුත්වීමේ කාලය ගැනත් අවදානයෙන් සිටීම වැදගත්.“
“හවුස් වයරින් කිරීමට ඉලෙක්ට්‍රිසිටි බෝර්ඩ් එකේ නියාමනයක් නැද්ද මිගාර?“
කාශ්‍යප අතුරු ප්‍රශ්නයක් ඇහැව්වා.
“වැදගත් ම ප්‍රශ්නයක් කාශ්‍යප... අනිවාර්යයෙන්ම තියෙනවා. අන්තර්ජාතික විදුලි ඉංජිනේරු නීති මාලාව වගේම, තහනම් කරලා තියෙන විදුලි උපාංග ගැන ලබන සතියේ දී කතා කරමු.“
“මට නම් හිතාගන්න බැහැ මිගාර... මේ තරම් කරුණු ගොඩක්? ලයිට් තිබිලත් අපි ඉඳල තියෙන්නෙ අඳුරෙ අතපත ගානවා වගේනේ.
පූර්ණිමා කීවා ය.