වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
අනිත් අය ලස්සන කරන කොට අපිත් ලස්සනට ඉන්න ඕනෙ
කේෂලාවණ්‍ය ක්ෂේත්‍රයත් රමණි ප්‍රනාන්දුත් අතර ඇත්තේ ගහට පොත්ත මෙන් සබැඳියාවකි. ඒ තරමටම කේෂලාවණ්‍ය ක්ෂේත්රය පිළිබද ඈ සතු දැනුම් සම්භාරය අතිමහත්ය.
පුරා වසර හතළිහකට අධික කාලයක් ක්ෂේත්රය තුළ රැඳී සිටිමින් දහස් සංඛ්‍යාත පිරිසකට තම සේවාව සපයමින් සිටින ප්‍රවීණ කේෂලාවණ්‍ය හා රූපලාවණ්‍ය ශිල්පිනී රමණි ප්‍රනාන්දු ඈ ආ ගමන් මඟ පිළිබද මතකය අවදිකළ අයුරුයි මේ.
අප ඔබේ කුඩා අවදියේ පටන්ම කතාව ආරම්භ කරමු.
මගේ් ගම කුලියාපිටිය. මට අවුරුදු දහයක් වනතුරු අපි ජීවත්වුණේ එහෙ. මගෙ තාත්තා ලෝයර් කෙනෙක් නිසා තාත්තගෙ මාරුවත් සමඟ අපිට කොළඹට එන්න සිදුවුණා. ඒ වෙනතුරු මම පාසල් ගියේ කුලියාපිටියෙ කොන්වන්ට් එකට. එතකොට මගෙ වයස අවුරුදු නවයයි.
ඉන්පසු ඔබ කොළඹට එනවා.
ඔව්. මට වයස අවුරුදු දහය වෙනකොට අපි කොළඹ. ඊට පස්සෙ මගෙ පාසල වුණ් සෙන්බ්රිජට් එක. ඒක බෝඩිං ස්කූල් එකක්. එහි නතරවෙලා මම අධ්‍යාපන කටයුතුවල නියැළුණා.
රූපලාවණ්‍ය පැත්තට යොමු වුණේ කොහොමද?
මම පුංචිකාලෙ ඉඳලම මේවට හරිම ආසයි. විවිධ ඇඳුම් විලාසිතා අඳින්න මම කැමැතියි. ඉතිං නිතරම අම්මලට කරදර කරනවා අලුත් ඇඳුම් අරන් දෙන්න කියලා. ඒ වගේම මම මගෙ බෝනික්කන්ටත් ලස්සනට ඇඳුම් අන්දවන්න හරිම ආසයි. ඉතිං නිතරම එයාලව ලස්සනට අන්දවනවා. ලස්සනට කොණ්ඩෙ පීරල, සැරසිලි කරනවා. ඒ කාලෙ මගෙ අම්මටත් නිදහසක් නෑ. එයාගෙ කොණ්ඩෙ අරන් සරසන්න මම හරිම කැමතියි. මේ ආසාව මට උපතින්ම ලැබුණු දෙයක් වෙන්න ඇති.
ඔබ කොළඹට පැමිණි පසු ඒ තත්ත්වය වෙනස් වුණා ද?
නැහැ. ඊට පස්සෙ මම කොණ්ඩ සැරසිලිවලට තෝරගත්තෙ මගෙ පාසලේ යෙහෙළියන්. පාසලේ ඉගෙනගන්න වෙලාවෙදි කොණ්ඩ සැරසිලි කරන්න ගිහින් ගුරුවරුන්ගෙන් ගුටිකන්න සිදුවුණු වාර අනන්තයි.
ඔබේ සිහිනය වුණේ රූපලාවණ්‍ය ශිල්පිනියක් වීම ද?
ඔව්. පුංචි කාලෙ ඉඳලම මගෙ කැමැත්ත තිබුණේ මේ අංශයට. ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න කාලයක් සිහින මැව්වා. මගෙ තාත්තා තේරුම් ගත්තා මගෙ ආසාව තියෙන්නෙ මේ පැත්තට කියලා. සාමාන්‍ය පෙළින් පස්සෙ මම ඒ පැත්තට යොමුවුණා. ඒ දවස්වල ඔබ්සවර් පුවත්පතේ පළවුණා ඇඳුම් විලාසිතා කරලා එවන්න කියලා. මම ඒවට යැව්වා. ඒ සඳහා මුදලුත් මට ලැබුණා.
ඔබ ඊළඟට හෙයාර් ඩ්‍රෙසිං (කොණ්ඩ විලාසිතා) පැත්තට යොමුවෙනවා.
ඔව්. සාමාන්‍ය පෙළින් පස්සෙ මම ගියා කොණ්ඩා විලාසිතා පාඨමාලාවකට. ඒ කාලෙ මේ පිළිබද තිබුණු උනන්දුව අඩුයි. මම කැමැති නිසා පාඨමාලාවට යොමුවුණා.
ඒ අතරතුර සැමියා ඔබට මුණ ගැහෙනවා.
මේ පාඨමාලාවට යන කාලෙදි තමයි එයාව මට හම්බවෙන්නෙ. ඔහු රංජිත් ප්‍රනාන්දු. ඒ කාලෙ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මට අවුරුදු දහනවය වනවිට අපි විවාහ වෙනවා. එයාගෙ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් අපිට එංගලන්තයට යන්න සිදුවෙන්නෙ ඔය කාලෙදි.
ඉන්පස්සෙ ඔබ මොකද කරන්නෙ.
අපි එංගලන්තයට ගියාට පස්සෙ මට හිතුණා මම පාඨමාලාවකුත් කරලා තියන නිසා සැලෝන් එකක වැඩ කරන්න යන්න ඕනෙ wකියලා. මට හොඳට හෙයාස්ටයිල් කරන්න පුළුවන් කියලා මට හිතුණා. මම එහෙ වීදියක ඇවිදන් යනවිට දැක්කා හෙයාර් ඩ්රෙසස්ලා ඉල්ලලා වේකන්සියක් තියෙනවා. ඉතිං මම ඒකට ගියා.
එතැනදි මට කිව්වා මම දන්න ඒවා පෙන්වන්න කියලා. මම කතුරු අරන් කොණ්ඩ කපන කොට එයාලා කිව්වා ඔයාට තව ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. ඉගෙනගෙන එන්න කියලා. එතැනින් රැකියාව ඉවරයි. නමුත් මම ආශාව අත්හැරියෙ නැහැ.
තවත් දවසක වෙනත් වීදියක මම ගමන් කරන විට දැක්කා පුහුණුවන කොණ්ඩ විලාසිතා ශිල්පීන් අවශ්‍යයි කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. පස්සෙ මම ඒකට ගියා.
ඔබට එතන රැකියාව ලැබෙනවා.
මම එතැනදී කොණ්ඩ විලාසිතා පිළිබද හොඳ පුහුණුවක් ලැබුණා. මට මේ පිළිබද මොනවත් දන්නෙ නැහැ කියලා තේරුණේ එතැනදි. එහිදී අපව පුහුණු කරලා කොණ්ඩා විලාසිතා කරන්නත් යොමුකරනවා. මම එතැන අවුරුද්දක් ඉගෙනගත්තා.
ඊට පස්සෙ ඔබට ලංකාවට එන්න සිදුවෙනවා.
ඔව්. රංජිත්ගෙ වැඩකටයුතු ඉවර වුණාට පස්සෙ අපි ලංකාවට ආවා. ඔය කාලෙදි තමයි මගෙ පළමු දරුවා ලැබුණෙත්. මෙහෙ ආවට පස්සෙ මුලින්ම මම මගෙ යාළුවන්ගෙ කොණ්ඩ විලාසිතා කරන්න පටන් ගත්තා. එයාලා එයාලගෙ තවත් යාළුවන්ට මේ ගැන කියලා එයාලත් මා ළගට ආවා. මේ විදිහට මගේ හැකියාව කටින් කට ගියා. මම රට ගිහින් ඉගෙනගෙන ඇවිත් තියෙන එකත් එයාලට ලොකු දෙයක් වුණා. මම එයාලගෙ කොණ්ඩ ස්ටයිල් කරලා කලර් කරලා ලස්සනට හැදුවා.
මම තමයි blow drayer එක ලංකාවට ගෙනාවෙ. ඊට පස්සෙ මම ගෙදර පුංචි කාමරයක් අරගෙන සින්ක් එකක්, සැලෝන් පුටුවක් අරගෙන සැලෝන් එක කරගෙන ගියා.
ඔය කාලෙ ඔබේ සැලෝන් එක පිළිබඳ බොහෝ දෙනෙක් කතාවෙනවා.
මගෙ යහළුවන්ගෙන් ටික ටික මේ පිළිබඳ ව්‍යාප්ත වුණා. ඒ වෙනකොටත් ලංකාවේ මේ පිළිබද බොහෝ දෙනෙක් දැනගෙන හිටියෙ නැහැ. ඉතිං මම ගැන එයාලා කතාවුණා.
එන්න එන්න සැලෝන් එකට එන පිරිස වැඩිවුණා. පත්තරවලිනුත් මම ගැන කතා කරන්න පටන් ගත්තා. ඊට පස්සෙ මට සහායිකාවක් ගන්න සිදුවුණා. ටික දවසක් යනකොට සහායිකාවො ගොඩක් ගන්න වුණා. දැන් මගෙ කාමරයත් ඉඩ මදි. පස්සෙ මගෙ ගැරේජ් එක සැලෝන් එක විදිහට හැදුවා.
ඔබ මෙවැනි ඉලක්කයකට එනවා කියන එක පුංචි කාලෙ ඉඳලා හිතපු දෙයක් ද?
මගෙ ආසාව තිබුණට මේක බිස්නස් එකක් විදිහට කරන අදහසක් කවදාවත් තිබුණෙ නැහැ. මම හිතුවෙ දරුවොත් හදාගෙන හොඳ ගෘහණියක් විදිහට කාලය ගත කරයි කියලා. කොහොම වුණත් නොසිතූ විදිහට මගෙ ගමන වෙනස් වුණා. පස්සෙ මම ගොඩක් කාර්යබහුල චරිතයක් වුණා.
ඒ කාලෙදි පවුලෙ අයගෙන් සහයෝගය ලැබුණද?
එයාලගෙ සහයෝගය නොලැබුණා නම් මට අද මෙතරම් දුරක් එන්න බැහැ. මම මේ රැකියාව ආරම්භ කරපු දවසෙ ඉඳලා සැමියාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මගෙ අම්මා, මහත්තයාගෙ අම්මා, තාත්තා, මගෙ ලොකු අක්කා ඒ හැමෝම මගෙ දරුවො බලාගත්තා. මම මගෙ කාර්යය කරගෙන යන්න ඒ හැමෝගෙන්ම ලැබුණෙ ලොකු සහයෝගයක්.
කාර්යබහුල ජීවිතයත් සමඟ ඔබ ශරීර සුවතාවය මානසික සුවතාවය පවත්වාගන්න කටයුතු කරනවා. ඒ සඳහා කාලය ලබාගත්තෙ කොහොමද?
අනිත් අය ලස්සන කරන කොට අපිත් ලස්සනට ඉන්න ඕනෙ. ඒ වගේම ඕනෑම කෙනකුගෙ ජීවිතයට විනයක් තියෙන්න ඕනෙ. එතකොට කාලය කළමනාකරණය කරගෙන ව්‍යායාම් කටයුතුවලත් නිරත වෙන්න පුළුවන්.
ඊට පස්සෙ ඔබට රටේ ප්‍රසිද්ධ හෝටල්වලින් ආරාධනා ලැබෙනවා.
මම ඒ කාලෙ ගොඩක් ප්‍රසිද්ධයි. මුලින්ම ටාජ් එකෙන් මට ආරාධනා කළා. සැලෝන් එකක් අරින්න කියලා. ඊට පස්සෙ හිල්ටන් එකෙන් සැලෝන් එකක් අරින්න කිව්වා. ඔය කාලෙදි රටේ දේශපාලන කලබල හරියට තිබුණා. ඒ කාලෙ ලංකාවට නරක කාලයක් උදාවෙලා තිබුණේ. නමුත් මම සැලෝන් එක කරගෙන ගියා. ඒකට කාගෙන්වත් බලපෑමක් තිබුණේ නැහැ
ඒ නිසා මම හෝටල් ගණනාවක සැලෝන් ඇරියා. ඔය කාලෙදි ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පීන් වන කීර්ති ශ්‍රී කරුණාරත්න, හැරිස් විජේසිංහ වගේ දැවැන්ත චරිත එයාල ළඟට එන මනමාලියන්ට කොණ්ඩා මෝස්තර දාන්න මට බාරදුන්නා. ඒ වගේ දේවල්වලින් මම නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගැනීමට හැකියාව ලැබුණා. ඊට පස්සෙ බ්‍රයිඩ්ල් ඩ්රෙසිංවලට මාව තෝරගන්න බොහෝ දෙනෙක් කැමැති වුණා. එදා ඉඳලා තවත් කාර්යබහුල වුණා. නමුත් මම ඒ කිසි දෙයක් ගැටලුවක් කරගත්තෙ නැහැ. මට හොඳ සහයක පිරිසක් සිටිය නිසා එයාලත් එක්ක දිගටම වැඩකටයුතු කරගෙන ගියා.
අද ඔබ කරන කාර්යය පිළිබඳ තෘප්තිමත්ද?
ඇත්තෙන්ම ඔව්. මම කවදාවත් ණයට මුදල් ගත්තෙ නෑ. උපයන මුදලින් හැමදෙයක්ම කරගත්තා. ඒ විදිහට කොළඹ ස්ථාන ගණනාවකම රූපලාවණ්‍යාගාර අරඹන්න හැකියාව ලැබුණා. මම නොහිතපු විදිහට දියුණු වුණා. අද මට හරි සතුටුයි. මම මේ හැමදෙයක්ම කරන්නෙ හරිම ආසාවෙන්.
මේ කාර්යයෙහි නිරත වන විට ඔබට අභියෝග තිබෙන්න ඇති.
මම සැලෝන් එකට අමතරව ඇකඩමිත් පවත්වනවා. එතැනදි ගොඩක් ශිෂ්‍යයො මගෙන් ඉගෙන ගන්නවා. එයාලා මේ පිළිබඳ හොඳින් අධ්‍යයනය කරලා අවසානයේදී එයාලගෙම කියලා සැලෝන් ආරම්භ කරනවා. එතැනදි මට අභියෝගයකුත් වුණා.
නමුත් එයාලා දකින විට මගෙ හිතට හරිම සතුටුයි. අවුරුදු ගණනාවක් මාත් එක්ක ඉඳලා එයාලගෙම කියලා රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන විට මට නිහතමානී සතුටක් තිබෙනවා.
ඔබේ පවුලෙ විසතර දැනගන්නත් බොහෝ දෙනෙක් කැමැති ඇති.
මගේ සැමියා රංජිත්. අපිට දුෙවක් සහ පුතුන් තිදෙනෙක් ඉන්නවා. ලොකු දුව රෂිකා. රිෂේන්, රෙහාන් සහ රකිල් පුතාලා තුන්දෙනා. මට මුනුපුරු මිනිපිරියො පස් දෙනෙක් ඉන්නවා.
කිසිවෙක් නොසිතපු ලෙස පැමිණි කෝවිඩ් 19 තත්ත්වය නිසා ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වුණා. ඔබ එයට මුහුණ දුන්නෙ කොහොමද?
ඇත්තෙන්ම ඒක හරිම වෙනසක් වුණා. මම ඒ කාලෙ විනෝදෙන් හිටියා. මහත්තයත් එක්ක ගෙදර හැමෝම එක්ක නිදහසේ ඉන්න කාලයක් ලැබුණා. මම උයන්න ඉගෙන ගත්තා. හැමදාම කාර්යබහුල වෙලා හිටපු නිසා උයන පිහින කටයුතු සිදුවුණේ අනිත් අයගෙ අතින්. ඉතිං මේ කාලෙදි මම ඒකත් ඉගෙන ගත්තා. මගේ වත්තෙ වැඩ කටයුතු ටිකක් කළා. ඒ විදිහට මගෙ කාලෙ ගතවුණා. නමුත් දැන් නැවතත් සාමාන්‍ය විදිහට කටයුතු කරගෙන යනවා.
ඔබ පිළිකා රෝගීන් වෙනුවෙන් පවත්වාගෙන ගිය පිළිකා සරණ භාරය අදටත් ක්‍රියාත්මකද?
මේ කටයුත්ත සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මිය. ඒ අනුව අපි දිගු කෙස් කලඹක් හිමි කාන්තාවන්ට ආරාධනාවක් කළා. පිළිකා රෝගීන් සඳහා ඔවුන්ගෙ කෙස් ලබාගෙන විග් නිෂ්පාදනය කරන්න. ඇත්තටම කියන්න සතුටුයි අපිට හිතාගන්නවත් නොහැකි තරමට මිනිස්සු මේ සඳහා දායක වුණා. අවුරුදු හතරක් අපි මේ කටයුත්ත කරගෙන ගියා. නමුත් දැනට මෙය නතර කොට තිබෙනවා. එයට හේතුව තවමත් හිසකෙස් විශාල ප්‍රමාණයක් අප සතුව තිබෙන නිසා සහ කෝවිඩ් රෝගය පැමිණි නිසයි.එම හිසකෙස් අවසන් වූ විට නැවතත් මේ කටයුත්ත සිදුකරනවා. ඈත පළාත්වලින් අදටත් අපිට කෝල් එනවා. ඔවුන්ගෙ හිසකෙස් ලබාදෙන්න කැමැතියි කියලා. ඇතැම් අය අපිට බණිනවා. මම ඔවුන්ට කියන්න කැමැතියි මෙම වැඩසටහන අපි දිගටම පවත්වාගෙන යන බව. ඔවුන්ට ඉදිරියේදී මේ සඳහා සම්බන්ධවීමේ අවස්ථාව තියෙනවා.
අවසාන වශයෙන් මේ ක්ෂේත්රයට පැමිණෙන නවක ශිල්පීන්ට ලබාදෙන අවවාදය කුමක්ද?
මම තවමත් ඉගෙනීම් කටයුතුවල නිරත වෙනවා. අපි නිතරම අලුත් විය යුතුයි. අපෙන් සේවාව ලබාගන්න එන පිරිසට උපරිමයෙන් සේවාව සැපයිය යුතුයි. අපි රැකියාව වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරනවා නම් අපිට හොද පිළිගැනීමක් තියෙනවා. හැමෝම අගය කරනවා. කාන්තාවක් විදිහට අපි හැමෝටම පවුල් ජීවිතය වගේම තමන්ගේම අරමුණක් සහ සිහිනයක් තිබීම වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් ඇපකැපවී වැඩ කළ යුතුයි.