යුද භූමියේම සාමයේ කඳවුර බඳින්න

මැයි 22, 2019

මිනිසුන් අතරේ වගේම සතුන් අතරේත් යුද්ධ ඇතිවෙනවා. ඒත් මිනිසුන්ගේ යුද්ධ තරම් සතුන්ගේ යුද්ධ බලවත් නෑ. තමාගේ ආලවන්තියගේ සිත දිනාගන්න.

සීමාව රැකගන්නට වගේ පුංචි පුංචි හේතු තමයි සතුන්ට තිබෙන්නේ.

හැබැයි මිනිසුන්ගේ යුද්ධ එහෙම නෙමේ, ඔවුන්ගේ හීන ලොකුයි. ඒ නිසාම කරන යුද්ධත් බොහෝ රුදුරුයි. සමහරවිට පරම්පරා ගණනාවක් ගියත් රිදවන්නට පුළුවන් නපුරු නටබුන් මිනිසුන්ගේ යුද්ධවලින් නිර්මාණය වෙනවා. නිදසුනක් විදියට ලෝක යුද්ධ සමයේ ජපානයේ හිරෝෂිමා, නාගසාකි නගරවලට එල්ල වූ ප්‍රහාරවලට දැන් දශක ගණනාවක් වනවා. එහෙත් අදටත් ඒ රටවල උපදින්නේ අංගවිකල දරුවන්. ඉතින් ඒ දරුණු යුද්ධයේ බලපෑම් තවත් පරම්පරා ගණනාවක්ම ඉදිරියට ගමන් කරාවි. යුද්ධයකින් පසුව සිත, ගත සුවපත් වූ කිසිවෙක් මෙලොව නෑ. යුද්ධය එතරම්ම වේදනාකාරීයි. යුද්ධ සිතුවිල්ල පවා බෙහෙවින් වේදනාකාරීයි. යුද්ධයට පිළියම් යොදන්නට නම් සාමයේ කඳවුර බැඳිය යුත්තේ ද යුද්ධ භූමියේමයි. යුද්ධයක් භෞතිකව පෙනුණද යුද සිතුවිල්ල පළමුව ඇතිවන්නේ මිනිස් සිතේ. එහි ඇතිවන්නේ මෛත්‍රී සිතුවිලි නොවේ. වෛරයේ සිතුවිලි පමණයි. එම නිසා සාමයේ කඳවුර බැඳිය යුත්තේ ද මිනිස් සිතේයි. ආදරයෙන්, සෙනෙහසින් සාමයේ කඳවුර තැනිය හැකියි. යුද සිතුවිලි එකවරම යම් සිතක ඇතිවෙන්නේ නෑ. ඒ නිසා මුලින්ම වෛර සිතුවිලි හඳුනාගතහොත් ලොකු ව්‍යසනවලින් මිදෙන්නට පුළුවන්. පසුගිය දිනක සිදුවුණේ ද එවැනිම දෙයක්. ඒ නිසා වෛරය සිත් තුළ ඇතිවෙන්නට දෙන්නට එපා. අපට හැකි ලෙස අන් අයට ආදරය, ගෞරවය ලබාදෙමු.

 

2019/05/22 තරුණි බලන්න