සුදු රටක නායකත්වය අභියෝගයක් බව ලොවට කී මග්දලේනා ඇන්ඩර්සන්

ජනවාරි 17, 2022

 

කමලා හැරිස් මිනිත්තු 85 ක කාලයකට පමණක් අමෙරිකානු ජනපතිනිය වූවාය. ඒ යුරෝපීය රාජ්‍යයක කාන්තාවකට බලය යනු සැබෑකර ගැනීමට අසීරු සිහිනයක් බවට එක් උදාහරණයකි. එහෙත් ආසියාවේ නම් මුල් පුටුවට ගිය කාන්තාවන් ඕනෑ තරම්ය.

සම තැනට වඩා නිසි තැන අපේ රටවල හිමිව තිබීම ඊට හේතුවය. කමලාගෙන් පසුව සුදු රටක තවත් කාන්තාවක් අගමැති පුටුවේ පැය හතකට වාඩි වූවාය. ඇය ස්වීඩනයේ මග්දලේනා ඇන්ඩර්සන්ය. නොවැම්බර් 24 වැනි දින ඇය මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ පෑවත් ඇය ගේ සුදුසුකමට හිමිතැන යළි ලැබිණි. නොවැම්බර් 30 වැනි දින වැඩි ඡන්ද දෙකකින් ඇය යළි අගමැති ධූරයට පත්වූවාය. ඒ ස්වීඩනයේ පළමු අගමැතිනිය ලෙසින් ඉතිහාසගත වෙමිනි. එරට සතියකදී දෙවරක් ම අගමැති ධූරයට පත් ප්‍රථම පුද්ගලයා ද ඇයම වන්නීය. එවැනි වාර්තාවකට හිමිකම් කියන නායකයන් ලොවේ ද විරලය. ස්වීඩන් රාජ්‍ය ඉතිහාසයේ පිටු පෙරළා බැලූ විට ඇන්ඩර්සන් එරට නායකත්වයට පත් දෙවැනි කාන්තාවය. දහ අට වැනි සියවසේ උල්රිකා එලිනෝරා රැජන දෙවසරක් රට පාලනය කළාය. යළිත් කාන්තාවකට මුල් පුටුව හිමි වීමට සියවස් දෙකකට අධික කාලයක් ගත විණි.

මග්දලේනා ඇන්ඩර්සන් පවුලේ එක ම දරුවාය. ඇගේ පියා දත්ත පිළිබඳ කථිකාචාර්යවරයෙකි. මව ද ගුරුවරියකි. එනිසාම මග්දලේනා කුඩා වියේ සිට ම ඉගෙනුමට නැඹුරුවූවාය. එහෙත් ඇය පාසලේ වඩාත් ප්‍රසිද්ධව සිටියේ පිහනුම් ශූරියක ලෙසිනි. ඉගෙනුමින් උසස් දස්කම් දැක්වූ ඇය ආර්ථික විද්‍යා උපාධිය හාවර්ඩ් සරසවියෙන් සම්පූර්ණ කළ පසු අගමැති කාර්යාලයේ සේවය ට බැඳුණාය. ඒ සමඟම ඇය ද නොදැනුවත්ව දේශපාලන පිටියට පා තැබිණි. ටික කලකින් මුදල් ඇමැති ගේ ලේකම්වරිය වූ මග්දලේනා 2014 මහා මැතිවරණයට ඉදිරිපත් වූවාය. පළමු පියවරෙන් ම සාර්ථක ප්‍රතිඵල ලැබුවාය. අගමැති ස්ටෙෆන් ලොෆ්වන් ගේ කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍යධූරයට ඇයව පත් කෙරිණි. ඇය ගේ මූල්‍ය පරිපාලන හැකියාව කාගේත් විමතියට ලක්විය. අන්තර්ජාතික මූල්‍ය ආයතනයේ සභාපතිනිය ලෙස පත් වීම ඇය ගේ දේශපාලන ගමනේ සන්ධිස්ථානයක් විය. ඒ ධූරයට පත් වූ පළමු යුරෝපීයයා මෙන්ම පළමු කාන්තාව මග්දලේනා ඇන්ඩර්සන් ය.

2021 වසරේදී අගමැති ස්ටෙෆන් ලොෆ්වන් ධූරයෙන් ඉල්ලා අස්විය. අගමැති ධූරයට යෝජනා කෙරුණේ මග්දලේනා ඇන්ඩර්සන් ගේ නාමය ය.

ඒ සමඟම ඇයට ස්වීඩන් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්වය ද හිමි විය. ඇය එරට පක්ෂ නායකත්වයට පත් දෙවැනි කාන්තාවයි. ස්වීඩන් දේශපාලනයේ නො මැකෙන නමක් තබා ඇති පනස් පස් හැවිරිදි මග්දලේනා දෙදරු මවකි. ඇය ගේ අත ගෙන සිටින්නේ ද ආර්ථික විශේෂඥයකි. ඔහු රිචඩ් ෆ්‍රයිබර්ග් ය.

අන්තර්ජාලයෙනි