සිඳුරළ ජයගත් අපේ නාවික සිඳුලියෝ

සතුටු රළ මතින් ඉන්දියාවට යන ශ්‍රී ලංකාවේ පළමු නාවික කාන්තා කණ්ඩායම
ජුනි 19, 2023

කොළ පැහැති ජෙලි තට්ටුවක්වන් නීල හරිත සිඳු දියවර මතින් නැගී සිටින ප්‍රතාපවත් යෝධයෙකි. කරදිය බින්දු සහිත ලවණ මුසු කරිජ්ජ සුළං කෝඩයෙන් එහෙ මෙහේ පැද්දෙන යෝධයා එකවරම එක් තැන සන්සුන් වේ. යෝධයාගේ පිට උඩ නැඟි නිල් පැහැ ඇඳුමෙන් සැරසුණු මිනිසුනට මේ යෝධයාගේ දැඟලිල්ල කිසිදු ගාණක් නැති ගාණය. ඔවුහු මේ යෝධයා මත නැඟී කඩියන් මෙන් කඩිසරව තම රාජකාරියේය.ගලිවර්ගේ කතා පුවත මඳකට සිහි ගැන්වෙන මේ සිදුවීම් දාමය දෙස අප මහා හුඟක් වෙලා බලා සිටින්නේ කොළඹ වරායේ නැව් තටාකාංගණයේ ජැටියේ සිටගෙනය.

මේ යෝධයාට නම් දී ඇත්තේ ගජබාහු ලෙසටය. අප මෙතෙක් වේලා යෝධයකු ලෙස හැඳින්වූයේ නාවික හමුදාවට අයත් වටිනාම සම්පතක් වන ගජබාහු නෞකාවය.

ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු’ ලෙස 2019 ජූනි 06 දින කොළඹ වරායේදී අධිකාරියට පත්කෙරිණු මෙම නෞකාවට මේ  ජුනි මාසය තවත් සුවිශේෂී දිනයකි.

පසුගියදා මෙම නෞකාව ඉන්දියාව බලා පිටව යනු ලැබුවේ ශ්‍රී ලංකාවේ පළමු කාන්තා නාවිකයන් පිරිස සේවයට එක් කරමිනි. මෙම ගමන සමඟ පළමු වරට ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවක් සඳහා කාන්තා නැවියන් අනුයුක්ත කිරීම සිදුවීම සුවිශේෂී සංධිස්ථානයකි.

මෙලෙස ගජබාහු නෞකාව සඳහා අනුයුක්ත කළ කාන්තා නැවියන් පිරිස අට දෙනෙකුගෙන් සමන්විත වේ. ඔවුන් අටදෙනා සඳහා නෞකාව තුළ විශේෂ රාජකාරි පැවරෙයි. මීට පෙර පිරිමි නාවිකයන් විසින් සිදු කරනු ලැබූ මෙම රාජකාරි දැන් සිදුකරනු ලබන්නේ මේ නාවික හමුදාවේ කාන්තා නාවිකයන් විසිනි. ඔවුන් පිරිස රාජකාරි කටයුතු සඳහා යෙදවූ නෞකාව පළමු වරට යාත්‍රා කරනු ලැබුවේ ඉන්දියාව වෙතටය. එම කණ්ඩායම දැන් එම අත්දැකීම් සමඟ දෙවැනි මුහුදු ගමනට සූදානමිනි.

මෙලෙස දෙවැනි මුහුදු ගමනට සූදානම් සිඳුලියන් අප හමුවන්නේ දෙවැනි මුහුදු ගමනට ස්වල්ප වේලාවකට මත්තෙනි.අලුත් අත්දැකීමට සූදානම් ඔවුන් සියල්ලන්ම දැන් තරුණී අප සමඟය.

මෙම කණ්ඩායමෙහි ජ්‍යෙෂ්ඨයා ලුතිනන් කමාන්ඩර් ඒ.කේ .එස් පෙරේරාය. ඇය මෙම නෞකාවෙහි සැපයුම් නිලධාරිනිය ලෙස සේවය කරනු ලබයි. ඇයගේ වගකීම නෞකාවෙහි සිටින සියලුදෙනා  සඳහා අවශ්‍ය ආහාර සහ අනෙකුත් පහසුකම් සැපයීමයි. පළමු මුහුදු ගමනෙහි අත්දැකීම් සමඟ ඇය දෙවැනි ගමන සඳහා සියල්ල සූදානම් කරමින් සිටී.

අප ඇය සමඟ කතා බහ අරඹන්නේ ඒ රාජකාරි අතරතුරය.

" ඇත්තටම වෙනස්ම අත්දැකීමක් වගේම ලොකු වගකීමක්.සාමාන්‍යයෙන් අපි කඳවුරක සේවය කරනකොට අපට පැවරෙන්නේ එකම වගකීමක්.නමුත් මුහුදු ගමනකදී ඒ ක්‍රමවේදය තරමක් දුරට වෙනස් වෙනවා. අපි මේ පිළිබඳ පුහුණුවේදී බොහෝ දේ ඉගෙනගත්තා. ඒ ඉගෙනුම අනුව රාජකාරිය සිදු කිරීම තමයි මෙහි තිබෙන වැදගත්ම කාරණය.මුහුදු ගමනකදී එම නීතීනට අනුකූලව තමයි අපි රාජකාරිය කළ යුත්තේ.අනෙක අපට විවිධ දෙපාර්තමේන්තු සමඟ සේවය කරන්නට සිදුවෙනවා.එහිදී කාන්තාවන් කියා කිසිම වගකීමක් රාජකාරියක් කිසිම මොහොතක පැහැර හරින්නට අපට බැහැ. ඉතාමත් හොඳ අත්දැකීමක් තමයි අපි පළමු ගමනේදී ලැබුවේ. කාන්තා නාවිකයකු ලෙස මුහුදු ගමන්වලට අනුයුක්ත වීම පිළිබඳ විශාල සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක් ද තිබෙනවා. ඒ වගේම අපට පැවරෙන රාජකාරිය අකුරටම ඉටු කරන්නට අපි කටයුතු කරනවා.

අප ඊළඟට හැරෙන්නේ පළමු මුහුදු ගමනේ ඇයගේ අත්දැකීම් වෙතටය.

ඇත්තටම දවස් කීපයක මුහුදු ගමනක් කියන්නේ අපේ ජීවිතයට අලුත්ම අත්දැකීමක්. මීට පෙර එක දවසක වගේ මුහුදු රාජකාරි කරල තිබ්බට දවස් හත අටක් එක දිගට මුහුදු ගමනක යෙදුණු පළමුවෙනි අවස්ථාව. මුහුද සාමකාමී වෙද්දී ඒ ගමන දැනෙන්නෙ නැති තරම්. නමුත් මුහුදු රළෙහි ස්වභාවය එක්ක ගමනේ අත්දැකීම් වෙනස්. නිතරම කණ්ඩායම් හැඟීමෙන් තමයි මේ ගමනේදී කටයුතු කරන්නේ.

හැමෝටම ඉටු කරන්නට රාජකාරියක් තිබෙනවා. ඈ තරමක් කාර්‍යබහුලය. තව සුළු මොහොතකින් ගජබාහු නෞකාව ඉන්දියාව බලා පිටත්ව යාමට සූදානම්ය.

ඊළඟට අප හමුවන්නේ ලුතිනන් හංසනී එදිරිසිංහය. ඇය මෙම නෞකාවෙහි පුහුණුව ලබා මෙම නෞකාවෙහිම සේවයට අනුයුක්ත වූ අයෙකි.

" මම මුහුදු පුහුණුව ලැබුවෙත් මේ නැවේමයි. ඒ පුහුණුව ලබනකොට කවදාවත් හිතුවෙ නෑ මේ නැවේම මුහුදු ගමනක් යන්න ලැබේවි කියල.මම නාවික හමුදාව සමඟ සම්බන්ධ වෙලා වසර තුනහමාරක් වගේ කාලයක් වෙන්නේ. ඒ කෙටි කාලයේදී මුහුදු සේවයට සම්න්ධවීම ගැන සතුටක් තිබෙන්නේ. මේ ගමන්වලදී අපට නැව පිළිබඳ සියලු දේ ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. නැව කොහොමද යන්නේ,මුහුදු නීතීන් මොනවද? කොහොමද තීන්දු තීරණ ගන්නේ වගේ දේවල් ඒ අතර විශේෂයි.නෞකාවෙහි අණදෙන නිලධාරීතුමා ඇතුළු සියලු නිලධාරීන්ගෙන් අපි පසුගිය ගමනේදී බොහෝදේ ඉගෙන ගත්තා. එතුමන් අපට නෞකාව සහ මුහුදු ගමන් පිළිබඳ බොහෝ කරුණු කාරණා කියල දෙනවා.ඇත්තටම වෙනස්ම අත්දැකීමක්.

ඒ වගේම පවුලේ උදවියගේ සහයෝගය මේවගේ දෙයකට අත්‍යාවශ්‍යයි. මේ සියලු දෙනාටම ඒ සහය ලැබෙනවා.කාන්තාවක් විදියට මේවගේ දෙයකට එක්වීමට ලැබීම පිළිබඳ නිහතමානී සතුටක් දැනෙනවා. ඒ වගේම පැවරෙන වගකීම් නිවැරැදිව ඉටු කරන්නට අපි බැඳී ඉන්නවා.

නාවික හමුදාව කියන්නේ කාන්තාවකට බොහෝදේ ඉගෙනගන්න තිබෙන තැනක්.ඒ වගේම දවසින් දවස අත්දැකීම් එකතු කරගන්න පුළුවන් තැනක්.නැව තුළ ගතවෙන හැම තත්ත්පරයකම අපට අලුත් අත්දැකීමක් එකතු කරනවා.ඒ අත්දැකීම් එක්ක දිගටම මුහුදු රාජකාරියේ යෙදෙන්න තමයි බලාපොරොත්තුව.

ඔවුන් තුළ ඇත්තේ තමා ගැන ජනිත වූ ආත්මාභිමානයකි.එමෙන්ම කාන්තාවක ලෙස රටෙහි සංවර්ධනය වෙනුවෙන් දායකත්වය දැක්වීමට ලැබීම පිළිබඳ ගෞරවණීය හැඟීමකි.නැව පිටවෙන්නට වේලාව ක්‍රමයෙන් ලං වෙයි.ඒත් සමඟම නෞකාව තුළ සිදුවන ක්‍රියාන්විතයද ක්‍රමයෙන් වේගවත්වන අයුරු අපටද දක්නට ලැබේ.මෙම ගමන අවම වශයෙන් දින අටකට ආසන්නවන බව ඔවුන්ගේ අදහසයි.දින අටක් යනතෙක් අත්‍යාවශ්‍ය බඩු භාහිරාදිය නැවට සපයාගත යුතුය.තව සුළු වේලාවකින් මෙම නෞකාව ඉන්දියානු සයුරු රළ මතින් තම ගමන අරඹයි.අපේ මේ සුවිශේෂී කතාබහ ඒ කාර්‍යබහුල මොහොත අතරතුරයි.

ඊළඟට අපේ කතා බහ නායක කාන්තා සංඣා* කේ.එච්.ආර් සුගන්ධිකා සමඟයි.ඇය වසර දාසයක අත්දැකීම් සමුදායකින් සමන්විත අයෙකි.සංඣා* යනු මුහුදු ගමනකදී අත්‍යාවශ්‍ය අංගයකි.

ඇත්තටම පළමු ගමන ගැන වචනයෙන් විස්තර කරන්න අමාරුයි.එය ඒ තරමටම විශාල අත්දැකීමක්.ගොඩබිම රාජකාරිවලට වඩා මුහුදු රාජකාරිය විශාල වශයෙන් වෙනස්.මගේ රාජකාරිය  පැත්තෙන්  ගත්තොත් මේ ගමනේදී තමයි මට වෙනස්ම අත්දැකීම් ගොඩක් ලැබුණේ.අපි හැමදෙනාම මේ ගමනේදී එකම කණ්ඩායමක් බවට පත්වෙනවා.අපේ කණ්ඩායමේ වගකීම පැවරෙන්නේ අපටමයි.ඒ නිසා හැමදෙනාම එකාවන්ව රාජකාරිය ඉටු කරනවා.

ඒවගේම මේවගේ ගමනකදී අපි කෙටි කාලයකට පවුලෙන් ඈත්වෙනවා.ඇතැම් දිනවල පවුල සමඟ  කිසිදු සබඳතාවක් තබා ගැනීමට නොහැකි වෙනවා.මගේ සැමියා සහ පවුලේ සෑමදෙනාම ලබාදෙන සහයෝගය ඉතා විශාලයි.

මම හිතනවා මම වාසනාවන්තයි මේ ගමනට එක්වෙන්න තරම්.

 

කතා බහ අවසන ඔවුන් සියලුදෙනා කඩිමුඩියේ දිව යන්නේ තමන්ගේ රාජකාරිය ඉටු කිරීම සඳහාය.නැව පිටව යන මොහොත දැන් එන්න එන්නම ළං වෙමින් පවතියි.ඊළඟට අප ඉදිරියේ සිටින්නේ කාන්තා වෛද්‍ය සහයක ලක්ෂිකා පෙරේරායි.වෛද්‍ය සේවය මෙවන් ගමනක තවත් අත්‍යාවශ්‍ය සේවාවකි.කෙටියෙන්ම කිවහොත් දින ගණනාවක මුහුදු ගමනකදී ගොඩබිම සිදුවන දෛනික රාජකාරි කටයුතු සියල්ල එලෙසම සිදුවිය යුතුය.ඇය සිදු කරන්නේ එම අත්‍යාවශ්‍ය සේවාව සඳහා දායකත්වය ලබාදීමයි.

"අවුරුදු හතක නාවික හමුදා ජීවිතේ මං විඳින අලුත්ම සහ හොඳම අත්දැකීම මෙය.කාන්තාවන් විදියට අභියෝග ජයගැනීමට අපට ශක්තිය තිබිය යුතුමයි.මට දැනෙන්නෙ මේ ගමන අප සියලුදෙනාට ලැබුණු අභියෝගයක් වගේම අප සියලුදෙනාටම අලුත් රාජකාරි අත්දැකීම් විඳගන්න ලැබුණු අවස්තාවක්.මම පුංචි කාලේ ඉඳලම නාවක හමුදාවට එක් වෙන්න ආසාවෙන් හිටියේ.ඒ බලාපොරොත්තුව ඉටුවුණා.ඒ වගේම කාන්තාවක විදියට මුහුදු රාජකාරිය සඳහාත් මට එක්වෙන්න දුලබ අවස්ථාව හිමිවුණා.මම හිතනවා ඒක ලොකු අවස්තාවක් කියල.එහි උපරිමයට යන්න තමයි මගේ බලාපොරොත්තුව.

 

අප සමඟ එක්වූ සියලුදෙනාම සිටින්නේ මෙම ලැබුණු අවස්ථාව ගැන විශාල සතුටකිනි.පළමු මුහුදු ගමනට එක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා නාවිකයන් ලෙස මේ සියලුදෙනා මේවනවිට ඉතිහාස ගතව තිබේ.දැන් අප සමඟ එක්වන මේ සියලුදෙනාම නාවික හමුදා ඉතිහාසයේ සුවිශේෂී චරිත වේ.

 

අණදෙන නිළධාරී ලේකම් කාර්‍යාලයයේ කාන්තා ලිපිකාරිණී මල්ෂා ගංගොඩද ඒ අතරට එක්වූ තවත් චරිතයකි.ඇයටද මෙවර ගමනේදීද පෙර පළමු ගමනේදී මෙන්ම සුවිශේෂී රාජකාරි පැවරී තිබේ.

 

මේ ගමන මගේ ජීවිතයට අලුත් ආලෝකයක් එක් කළා කිව්වොත් නිවැරැදියි.පළමු වරට තමයි මම මෙච්චර දිගු කාලයක් පවුලෙන් ඈත්වෙලා හිටියේ.නමුත් රාජකාරිය අතර දවස ඉතාමත් සුබදායි ලෙස ගතවෙනවා.මම හිතන්නේ කාන්තාවන් ලෙස මේ අවස්ථාව අපට බොහෝදේ ඉගෙන ගන්න ලැබෙන කාලයක්.අපේ පුහුණු කාලයේ මේ නැවේ රැකියාවට අනුයුක්ත කරයි කියල කොහොමටවත් හිතුවෙ නෑ.නමුත් බලාපොරොත්තුවක් තිබුණා.දැන් අපි සියලුදෙනා එක්වෙලා අපේ රාජකාරිය ඉටුකරනවා.මේ සඳහා සියලුදෙනාගෙන්ම දායකත්වය සහ අවශ්‍ය සියලු පහසුකම් ලැබෙනවා.

 

කාන්තා නැවියන් ලෙස අත්‍යාවශ්‍ය පහසුකම් සියල්ල ගජබාහු නැවතුළ අන්තර්ගත වේ.ඔවුන් සඳහා අවශ්‍ය සුරක්ෂිත නවාතැන් පහසුකම් සිට සියල්ල සපිරි මේ මුහුදු ගමනේදී කිසිදු දිනක අත් නොවිඳිය හැකි අත්දැකීම් සහ දැනුම් සම්භාරයක් ලබාගැනීමටද මෙම කාන්තා නාවිකයනට අවස්ථාව සලසාදී තිබේ.

බල කාන්තා නැවි යශෝදා කුමාරි දැන් ඇගේ අත්දැකීම් අප සමඟ බෙදාගැනීමට සූදානමිනි.

 

නාවික හමුදාවට මම එකතුවෙලා අවුරුදු දෙකයි මාස හයක් වෙනවා.ඒ කෙටි කාලෙදි මේවගේ අත්දැකීමක් ගන්න පුළුවන්වීම සහ මේ කාර්‍යාලයට එක්වීමට ලැබීම විශාල සතුටක්.මගේ අම්මයි තාත්තයි තමයි මම නාවික හමුදාවට එක්වුණු දවසේ ගොඩක්ම සතුටුවුණේ.ඒ අය මේ ලැබුණු අවස්ථාව ගැන මටත් වඩා සතුටට පත්වුණා.කාන්තා නැවියෙක් විදියට මේ ගමනට සහ මේ සේවයට එක් වීම ලොකු අවස්ථාවක් විදියටයි මම දකින්නේ.එහි උපරිමය දක්වා යන්න තමයි බලාපොරොත්තුව.

 

සියල්ලන්ගේම බලාපොරොත්තුව එකකි.එය මේ සියල්ලන්ගේම කණ්ඩායම් හැඟීම පිළිබඳ කඩිම සාධකයකි.දැන් අප ඉදිරියේ සිටින්නේ නිෂාධි වරුසප්පෙරුමයි.ඇය ස්වේච්ඡා නාවික අංශයේ

සේවය සඳහා ගජබාහු නෞකාව සමඟ එක්වෙයි.මේ ඇගේ හදවතේ ඇති මුහුදු ගමන පිළිබඳ අත්දැකීමයි.

 

මම ඉපදුණේ මැදවච්චියේ.පුංචි කාලේ ඉඳන්ම නාවික හමුදාව සමඟ එක්වෙන්න ආසාවෙන් හිටියේ.ඒ ආසාව ඉටුවුණ දවසේ ඉඳන් මුහුදු රාජකාරියට එක්වෙන්නත් ආසාව තිබුණා.නමුත් ඒ සඳහා අවස්ථාව උදාවුණේ දැන්.අපිට හොඳ පුහුණුවක් වගේම ගුරුහරුකම් ද ගමනට පෙර ලැබුණා.ඒ නිසාම මේ අලුත් අත්දැකීම් සියල්ල සතුටින් විඳිමින් ඉන්නවා.ඉදිරියේදීත් මුහුදු රාජකාරි සමඟ නෞකාවක වැඩ කරන්න ආසයි.

 

කතාබහ කෙටි වන්නේ පිටව යාමට මොහොත ක්‍රමයෙන් ළංවන බැවිනි.සැබැවින්ම මෙය වගකීම් සහගතම රාජකාරියකි.නැව දියත් කළ පසුව නැවත කිසිවක් අමතකවූවායැයි කියා නැවත හැරීමක් නැත.එබැවින් සියල්ල නියමිත පරිදිම එක්ලස් කළ යුතුය.එසේම මේ ගමන යෙදෙන්නේ අන්තර්ජාතික නීතිනට අනුකූලවය ඒ නිසාම සුළු හෝ අතපසුවීමක් වීමටද නොහැකිය.දින ගණනාවක් ගනුදෙනු කළ යුත්තේ එක සීරුවට පෙනෙන මුහුදු රළ සමඟය.තමාගේ කණ්ඩායම හැර වෙනත් කිසිවකු සමඟ දින ගණනාවක් ගනුදෙනු නැති මේ ගමනට එක්වන කාන්තා නාවිකයන් "සිඳුලියන්" ලෙස ගෞරවණීයව අප නම් කරනු ලැබුවේ ඒ නිසාමය.

අවසන් මොහොතේ අප හමුවන්නේ ගජබාහු නෞකාවේ සුවිශේෂීතම වගකීම දරන්නාය.මේ සියල්ලන්ගේම භාරකරුවා ඔහුය .නෞකාව දියඹට දියත් කල මොහොතේ සිට ඒ පිළිබඳ සියලු තීන්දු තීරණ ඔහුට භාරය.අප කෙටි කතා බහකට එක් කරගන්නේ ගජබාහු නෞකාවේ අණදෙන නිළධාරී කපිතාන් ඉන්දික ද සිල්වා මහතාය.අප ඔහු සමඟ කතා බහ කරන්නේ මේ කාන්තා නාවිකයන්ගෙන් ඔහුට සහ මෙම ගමනට ලැබෙන දායකත්වය පිළිබඳවය.

 

" ඇත්තටම ඔවුන් මේ නෞකාවෙහි රාජකාරි කටයුතු සඳහා හොඳ දායකත්වයක් ලබාදෙනවා.මෙය ශ්‍රී ලංකා නාවික හමුදාවට අලුත් අත්දැකීමක්.මෙම නෞකාව තුළ ඔවුනට අවශ්‍ය පහසුකම් සියල්ල අවශ්‍ය පරිදි සංවිධානය කර සපයා තිබෙනවා.මේ සියලුදෙනා පිරිමි නාවිකයන් සමඟ ඉතාමත් සුහදශීලව තමන්ට පැවරෙන  රාජකාරිය ඉටු කරනවා.

 

වැඩි කතා බහකට ඉඩක් නැත.තව කෙටි වේලාවකින් නෞකාව ඉන්දියාව බලා පිටව යාමට සූදානම්ය.අපට මේ අවස්ථාව ලැබුණේ ඒ කෙටි කාලය තුළය.දැන් ගජබාහු නෞකාවට සහ සියලු කාර්‍යාලයටය සමුදී අප නතරවිය යුතුය.එමෙන්ම ඔවුන් ගමන් ඇරඹිය යුතුය.මෙය ශ්‍රී ලංකාවේ නාවික හමුදා ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයකි.පළමුවරට කාන්තා නාවිකයන් සේවයේ නියුතු ගජබාහු නෞකාව දැන් ඔවුන්ද රැගෙන දෙවැනි ගමනට සූදානම්ය.

සිඳු දියවරමතින් අබිමානවත් ගමනකට සූදානම් ගජබාහු නෞකාවට සුබ ගමන්....

 

විශේෂ ස්තූතිය - නාවික හමුදා මාධ්‍ය අංශ ප්‍රධානී ඇතුළු මාධ්‍ය ඒකකයට.

 

සටහන - චතුර ගීතනාත් බණ්ඩාර

ඡායාරූප - ශාන් රූපස්සර