වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සයුරු සුන්බුන් අතරින් සොඳුරු ජීවිතයට වාරු සොයන සිඳු ළඳුන්
ගැඹුරු මහ සයුර විටෙක බොහෝ පරුෂය. තවත් විටෙක හරිම නිහඬය. රැළි පිට රැළි නඟන මේ සප්ත මහා සාගරයට පෙම් බඳින මිනිසුන් කිසි විටකත් සයුර තනි නොකරයි. තම පණ නළ ගැටගසන මහ සයුර මේ අහිංසක මිනිසුන් සයුරේ කරදිය සුවඳ හා මුසුව කරන අනවරත අරගලය දෙස මහ සයුර ද නිහඬව බලා සිටින්නේ අසීමිත සෙනෙහසිනි.
පරක් තෙරක් නොමැති මහ සයුර මැද සිදුවන ඇතැම් සිදුවීම් සිත් කම්පා කරවයි. සියලු දෙයටම කම්පා නොවන මහ සයුර එදා මෙන්ම අදත් කිසිවක් නොවූ ලෙසින් වෙරළ සිප ගන්නේ සියලු දේ කාලයේ වැලි තලාවෙන් වසා දමමිනි. එහෙත් එලෙසින් වසා දැමිය නොහැකි සිදුවීම් හමුවේ වෙරළ ද අසරණව බලා සිටියි.
2021 මැයි මස 25 දින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේදී පුපුරා ගිය සිදුවීම ද එවැනි අවාසනාවන්ත සිදුවීමකි. මේ සිදුවීම හමුවේ මුහුදට වූ හානිය හා දූෂණය මුදලින් තක්සේරු කළ නොහැකි තරම්ය. ප්ලාස්ටික් නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය රැගත් මේ සිංගප්පූරු නෞකාව ගිලී යෑම මුළු ලෝකයේම අවධානයට යොමු වූ සිද්ධියක් වූ අතර, එයින් වැඩිම හානියක් හා පාඩුවක් සිදු වූයේ එම නැව ගිලී ගිය මුහුදු සීමාවට ආසන්නව පදිංචිව සිටි ධීවර ජනතාවටය. මුහුදු රැකියාවෙන් එදා වේල සරිකරගත් අහිංසක ජනතාවගේ මුහුදු යෑම නතර වූ අතර, පවුල් සිය ගණනකගේ ජීවනෝපායට ද ප්‍රබල පහරක් විය.
එහෙත් ඔවුන්ට උරුම වූ ඉරණම සිතූ තරමට රුදුරු නොවීය. නොසිතූ ලෙසින් සිදු වූ මේ සිද්ධිය හමුවේ අඳුරු වූ ඔවුන්ගේ ජීවිතවලට රිදී රේඛාවක් පායා ආවේය. එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීමෙන් මුහුදට එකතු වූ ප්ලාස්ටික් කැබලි ප්‍රමාණය අති විශාලය. පොලිඑතලින් නම් ප්ලාස්ටික් උපකරණ නිෂ්පාදනයට යොදාගන්නා කුඩා ප්ලාස්ටික් කැබලි මුහුදු වෙරළට ගසාගෙන ඒම විශාල පරිසර හානියක් බවට පත් විය. කිරින්දේ සිට මන්නාරම දක්වා මුහුදු වෙරළ තීරය දක්වා ඇදී ආ මේ ප්ලාස්ටික් කැබලි එකතු කිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් නොවීය. ඒ සඳහා මේ වෙරළ සීමා තීරයේ ජීවත්වන ධීවර පවුල්වල කාන්තාවන්ට අවස්ථාවක් හිමිවීම ඔවුන්ට විශාල පිළිසරණක් විය. 2021 මැයි මස 26 දින ආරම්භ කරනු ලැබූ මෙම වැඩසටහනට ඍජු සේවකයන් ලෙසින් කාන්තාවන් 210ක් පමණ බඳවාගෙන ඇති අතර, ඔවුන්ගෙන් බහුතරයක්ම අඩු ආදායම්ලාභී ධීවර පවුල්වල සාමාජිකාවන් වීම විශේෂිත සිද්ධියකි.
සැබැවින්ම ඉතාම වටිනා කටයුත්තක් වූ මේ ව්‍යාපෘතිය පිළිබඳ දැකගැනීමේ අපේක්ෂාවෙන් පසුගියදා අපි ඔවුන් සොයා ගියේ එහි සිදුවෙන කටයුත්ත කුමක්දැයි දැක ගැනීමේ අපේක්ෂාවෙනි. සමුද්‍රීය පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මේ වැඩසටහන ඉතාම සාර්ථක ලෙස මේ දක්වාම දින 732ක කාලයක් ක්‍රියාත්මකව පවතී. ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මුහුදු සීමාව තුළ මට්ටක්කුලියේ සිට මීගමු වෙරළ තීරය දක්වා වූ කිලෝමීටර් 30ක දුර ප්‍රමාණයක් තුළ වූ සීමාවේ කලාප 6263 ප්‍රමාණය පිරිසිදු කිරීමේ කටයුතු අවසන්ව තිබේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ඍජු දායකත්වය හා මෙහෙයවීමෙන් සිදු කරන මේ කටයුත්ත පිළිබඳ මුලින්ම අප විමසීමක් කළේ එහි සාමාන්‍යාධිකාරි ජගත් ගුණසේකර මහතාගෙනි.
‘මීට වසර දෙකකට පෙර තමයි අපි මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ. එක්ස්ප්‍රස් පර්ල් නැව පුපුරා යෑමෙන් කිරින්දේ සිට මන්නාරම දක්වා වූ මුහුදු සීමාව තුළ ප්ලාස්ටික් පැලට්, භාගයට පිලිස්සුණු කැබැලි වෙරළට ගසාගෙන ඇවිත් වෙරළ සීමාව දූෂණය වෙලා තිබුණා. මේ වෙරළ සීමාව පිරිසිදු කිරීමට මුලින්ම අපි ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ලබා ගත්තා. ඒ කටයුත්ත ඔවුන්ට දිගටම කරගෙන යෑමට නොහැකි නිසා මේ වෙරළ සීමාවේ පදිංචි ධීවර පවුල්වල කාන්තාවන් ඒ සඳහා බඳවා ගැනීම කළා. මේ නැවේ හානිය නිසා තමුන්ගේ ධීවර කර්මාන්තය කරගෙන යෑමට නොහැකි වූ නිසා මේ වැඩේට අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන්ට අවස්ථාවක් ලබාදීම ඔවුන්ට ආර්ථික අතින් විශාල සහනයක් වුණා. මේ වන විට ඔවුන් මේ කටයුත්ත සාර්ථකව කරගෙන යනවා. සතියට දින 6ක් ප්ලාස්ටික් ඉවත් කිරීම අඛණ්ඩව සිදු කරනවා.
දැනට මෙට්‍රික් ටොන් 1700ක ප්‍රමාණයක් ඒ කොටස් අපගේ පමුණුගම ශාඛාවේ තැන්පත් කරලා තියෙනවා. මේ කටයුත්තේදී සිද්ධ වෙන්නේ නැවේ තිබුණු ප්ලාස්ටික් පැලට් නැතිනම් මිලිමීටර් 5කට අඩු කුඩා ප්ලාස්ටික් ඝනත්වය අනුව වර්ග කිරීමයි. මේ කටයුත්තට විශාල වශයෙන් යන්ත්‍ර උපකරණ යොදාගන්න බැරි නිසා මිනිස් ශ්‍රමය වැඩි වශයෙන් යොදාගන්න වෙනවා. මෙහිදී සිදු කරන තාක්ෂණික ක්‍රියාවලිය වෙන්නේ ඝනත්වය අනුව ප්ලාස්ටික් වර්ග කර ගැනීමයි. ඒ සඳහා අපි කුඩා සල්ලඩ හා කුඩා water bath යොදා ගන්නවා.
ඇත්තටම මේ micro plastic කියන දේ ලෝකයට විශාල තර්ජනයක්. මේ ප්ලාස්ටික් සාගරයටත්, පරිසරයටත්, සමාජයටත් විශාල හානියක් කරනවා. ඒ නිසා තමයි මේ තරම් විශාල ව්‍යාපෘතියක් මේ සඳහා ක්‍රියාත්මක වෙන්නේ. මේ ඒ සඳහා මුදල් ලැබුණේ අදාළ නැව් සමාගමෙන් සහ අදාළ රක්ෂණ සමාගමෙන්.
ඔහු සමඟ කළ පිළිසඳරෙන් පසු අප ඊළඟට මේ කටයුත්ත දැකගැනීම සඳහා මීගමු මුහුදු සීමාවට ආසන්න සරක්කු කන්ද සීමාවට පැමිණියා. අප එහි ළඟාවන විට දහවල් ආසන්නව තිබුණි. පරක් තෙරක් නොපෙනෙන මුහුදු සීමාවේ සිට ඈත පෙනෙන නැව් දෙකක් අපට මුලින්ම පෙන්නුවේ සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ සේවය කරන දුලන්ත මහතාය. ඔහු එම නැව ගිලී ගිය ස්ථානය හා ඒ ස්ථානයේ මේ වන විට නැවේ කොටස් කපා ඉවත් කරන තවත් නැව් දෙකක් පෙන්නුවේ ඈත මුහුදට අත දිගු කරමිනි. තැන තැන සල්ලඩවලින් වැලි හලන පිරිස ඉතාම උනන්දුවෙන් ඔවුන්ගේ කටයුත්ත කරගෙන යයි. ඇතැමුන් තමුන්ගේ දෑස් දෙක හැර මුළු සිරුරම වසාගෙනය. දැඩි අව් රශ්මියෙන් සිරුර ආරක්ෂා කර ගන්නට මෙලෙසින් වසාගෙන සිටින පිරිස අතුරින් මොහොතක් තම ගිමන් හරින කිහිප දෙනෙකු සම පිළිසඳරක යෙදුනේ ඔවුන් සිදු කරන මේ අසීරු කාර්යය පිළිබඳ දැකගැනීමේ කැමැත්තෙන්.
කැපුණුගොඩ වාසනා පෙරේරා -
මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවෝ පාසල් යනවා. මගේ සැමියා කරන්නේ ධීවර කර්මාන්තය. නැව පුපුරපු කාලේ අපි හරියට අමාරුවෙන් ජීවත් වුණේ. සැමියාට මුහුදු යන්න බැරි වුණා. මටත් රස්සාවක් තිබුණේ නැහැ. ඒත් වාසනාවට මේ වැඩේ පටන් ගත්තා. දැන් නම් සන්තානම් මෑණියන්ගේ පිහිටෙන් හොඳ මුදලක් ලැබෙනවා. හවස 2 වෙනකොට වැඩ ඉවරයි. අපට වතුර ටික, අනෙක් පහසුකම් ටික සියල්ලම දෙනවා. ඇත්තටම මේ ලැබෙන මුදල අපට ලොකු සහනයක්.
සරක්කු කන්දේ කුමුදුනී පෙරේරා -
දැන් මෙතනට වැඩට ඇවිල්ලා අවුරුදු 2කට වැඩියි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. සැමියා මුහුදු රස්සාව තමයි කරන්නේ. ඒ නිසා අපට ලොකු ආර්ථික ශක්තියක් නැහැ. නමුත් මට මේ රස්සාව ලැබුණට පස්සේ අපේ පවුලට ඒක ලොකු හයියක් වුණා. අව්ව නිසා රස්සාව නම් ටිකක අමාරුයි. නමුත් අපට මේ රස්සාව හරිම වටිනවා. අපට ඉක්මනින් ගෙදර යන්න පුළුවන්. දවසකට කිලෝ ප්‍රමාණයක් දීලා තියෙනවා. නමුත් දැන් නම් මේක හුරු නිසා කරගෙන යනවා. කවුරුවත් අපට බණින්නේ නැහැ. අණ කරන්නේ නැහැ. අපි උපරිම කැපවීමෙන් අපේ රස්සාව කරගෙන යනවා.
දික්ඕවිට සමුද්‍රිකා පෙරේරා -
මම මුලින් කළේ ස්වයං රැකියාවක්. මගේ සැමියා නැති නිසා පවුලේ ලොකු බරක් තිබුණා. දරුවෝ දෙන්නෙක් පාසල් යනවා. මේ රස්සාව ලැබුණු එක මට විශාල හයියක් වුණා. දැන් මට මහන මැෂින් දෙකක් තියනවා. හවස් වරුවට මහන රස්සාව කරනවා. උදේ කාලය මේ රස්සාව කරනවා. ඇත්තටම මේ හැම දෙයක්ම කළේ මේ රස්සාවෙන්. ඒ නිසා මේ රස්සාවට මම හරියට ගරු කරනවා.
කැපුනවල මේරියන් චිත්‍රාංගනී -
මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මම මේ රැකියාවට එන්න කලින් අපේ ගෙදර කිසිම ඉතුරුවක් තිබුණේ නැහැ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුයි, ගෙදර වියදමයි මේ සියලුම දේ කළේ සැමියාගේ මුහුදු රස්සාවෙන්. නමුත් දැන් නම් අතේ මුදලකුත් ඉතුරු කරගෙන, දරුවන්ටත් උගන්නගෙන සතුටින් ජීවත් වෙනවා.
කැපුනුවල එන්. කේ. රෝෂිනී -
මට දුවලා තුන්දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් විවාහ වෙලා. මේ ව්‍යාපෘතිය පටන් ගත්තු දවසේ පටන්ම මම මේ රස්සාවට ආවා. ඇත්තටම අපට මේ ලැබෙන මුදල විශාල හයියක්. අපට තියන ලොකුම බාධකය අව්ව. අව්ව නැත්නම් ඉතින් කිසිම ගැටලුවක් නැහැ. සමහරු කියනවා මේ රස්සාවට වඩා ගාමන්ට් එකකට ගියා නම් කියලා. නමුත් මේ තියෙන නිදහස, සතුට කොහෙත්ම ලැබෙන්නේ නැහැ. අපි කණ්ඩායමක් හැටියට මේ රස්සාව කරන්නේ හරිම විනෝදෙන්. ඒ නිසා හිතට කිසිම වදයක් නැහැ. හවසට ගෙදර යන්නේ හරිම සතුටින්.
පමුණුගම දිලේෂා ප්‍රනාන්දු -
මට දුවෙක් ඉන්නවා. සැමියටත් රැකියාවක් තියනවා. නමුත් ඒ රස්සාවෙන් ලොකු මුදලක් ලැබෙන්නේ නැහැ. මේ රස්සාව උදේ 8ට ගිහින් හවස 5 වෙනකම් කරන්නේ නැහැනේ. අපි පවුලක් හැටියට හොඳට ජීවත්වෙන්න මේ මුදලයි සැමියාගේ රැකියාවයි හොඳටම ඇති. ඒ නිසා අපි ජීවත්වෙන්නේ හරිම සතුටින්
විශේෂ ස්තූතිය -
සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ මාධ්‍ය නිලධාරි සුමේධ රංගන
දයාරත්න මහතාට
ඡායාරූප - වාසිත පටබැඳි