අකුණු එළියෙන් පාර හොයාගෙන ජීවිත හතරක් බේරපු දිය මෙහෙයුම

ජුනි 17, 2024

 

විටින්විට ඇදහැලෙන මඳ පොද වැහි තවමත් නිමා වී නොමැත. සති ගණනාවක සිට ඇදහැලුණු මේ මහ වර්ෂාව ගෙවල් දොරවල් පමණක් නොව මිනිස් ජීවිත ද උදුරා ගත්තේ කිසිදු අනුකම්පාවකින් තොරවය. එය අඳුරු බියජනක ශෝකී දින කිහිපයකි.

මේ භයංකාරත්වයට කළු, ගිං, කැලණි ගංගා ආශ්‍රීත ප්‍රදේශවල අය වගේම කුඩා ඔයවල් සහ වගුරුබිම් ආශ්‍රිතව වෙසෙන බොහෝ පවුල්වලට මුහුණ දීමට සිදු වුණේ කිසිදු පෙර දැනුම් දීමකින් තොරවය. ගං වතුරින් ජීවිත බේරා ගැනීම සඳහා ඇඳුම් කැබලි දෙක තුනක් පමණක් මල්ලක ඔබා ගත් ඔවුන් දිව ගියේ සියලු සන්තකය අතහැරය. තවමත් ඔවුන්ගෙන් බොහොමයක් ඇත්තේ පන්සල්වල නැත්තම් පාසල්වලය. හංවැල්ල, වග ප්‍රදේශයට ද අත් වූයේ ඒ ඉරණමය. ඒ මහ ගංවතුරින් ජීවිත හතරක් බේරා ගැනීමට දිවි පරදුවට තැබූ දිරිය දියණියක් ගැන අහන්න ලැබු‍ෙණ් වග ඉරිදා පොළ පැවැති ප්‍රදේශයෙනි. ඇය 17 වියේ පසුවන චරිත්මා ජිනේන්ද්‍රි. හංවැල්ලෙන් කළුඅග්ගලට පැමිණි අප වග ඉරිදා පොළ පැවැත්වෙන ස්ථානය වෙත පිවිසියේ මේ දිරිය දියණියව සොයා ගැනීමේ අරමුණෙනි. පොළ ප්‍රදේශයට වම්පසින් පිහිටි පන්සල පාරේ ටික දුරක් ගිය විට ඇගේ නිවෙස හමුවේ.

ගංවතුර බැස ගියද ඇයගේ නිවෙසේ බිත්ති මත අඩි 9කට වඩා ඉහළින් දිගු ඉරක් මෙන් සටහන්ව ඇති මේ ගුරු පැහැ මඩ පැල්ලම එදා ආ ගංවතුර මට්ටම ගැන සාක්ෂි හෙළි කරයි. වග ඉරිදා පොළ ආසන්නව පැවැති මෙම ප්‍රදේශයට ගංවතුර ගැලුවේ පසුගියදා මධ්‍යම රාත්‍රියේය. ඒ මධ්‍යම රාත්‍රිය මේ ගමේ අයට නම් එතරම් සුවදායී එකක් නොවීය. ඒ භයංකාර රාත්‍රිය ගැන ඇය හඬ අවදි කළේ මේ විදිහට.

වෙනදා වගේම මමයි, අාච්චියි, සීයයි, මල්ලියි නිදාගන්න ගියා. අපි කට්ටියම සාලේ මෙට්ටයක් දාගෙන නිදාගන්න ගියේ. ඒ වෙලාවෙ හොඳටම වැස්ස. හරි සද්දෙන් අකුණු ගැහුවා. අහස හරියට තොරණක් වගේ. ටිකකින් කරන්ට් එකත් නැති වුණා. ඒ නිසා අපිට හරියට නින්ද ගියේ නැහැ. රෑ 12 වගේ වෙද්දි එළියේ හරි සද්දයි. අපි නිකමට දොර ඇරලා බැලුවා. අකුණු එළියෙන් පෙනුණේ ඈතින් එන ජලකඳ ඉස්තෝප්පුව කිට්ටුවට වතුර ටික ටික ළං වුණා. අපි පුළු පුළුවන් බඩු ටික අරගෙන උඩ තැන්වලින් තිබ්බා. ආච්චි, සීයා මල්ලි ගේ පිටිපස්සේ කන්ද උඩට ගියා. ඊට පස්සේ ක්ෂණයකින් වතුර වැඩි වුණා. උඩ තිබ්බ බඩුත් බිමට වැටුණා. ෆ්‍රිජ්, ෆෑන්, ටීවි පාවෙන්න ගත්තා. මගේ අැඳුම්, පොත්පත් ඒ හැම දේම. ඉස්සරහ ගෙදර නැන්දා කෙනෙක් අපේ ගෙදර ඇවිත් හිටියා ඒ වෙලාවේ. එයාට තමයි මුලින්ම ඇහුණේ ඉස්සරහින් කට්ටියක් කෑගහන සද්දේ. එවේලෙම මම වතුරේ පීනගෙන ඒ පැත්තට ගියා. මගේ උස මට්ටමට වගේ වතුර තිබුණා.

කෑගහන සද්දේ ඇහුණේ පාරෙන් එහා පැත්තේ. අපේ ගෙදර තිබුණේ පාරෙන් මෙහා පැත්තේ. අපේ ගේ ති‍ෙයන කොටස පාරෙන් උඩට වෙන්න ටිකක් උසකින් තියෙන්නේ. කරන්ට් එකත් නැහැ.කෑ ගහන්නේ කොහෙන්ද කියලා පේන්නෙත් නැහැ. අකුණු එළියෙන් තමයි ඒ ගේ පැත්තට ගියේ. පාරේ තිබුණ වතුර ප්‍රමාණය ඊට අඩි 10කට වගේ වැඩියි. පාරෙන් එහා පැත්තේ තියෙන්නේ ‍ෙකාමියුනිකේෂන් එකක්. ඒකත් එක්ක තියෙනවා බැම්මක්. මම දැක්කා ඉස්සරහ ගෙදර ඉන්න නංගි, මල්ලි ඒ බැම්ම උඩ ඉන්නවා. ඒ ගෙදර මාමා තමයි ඒ දෙන්නව උඩින් තියලා තියෙන්නේ. ඒ දෙන්නා අම්මවයි, තාත්තවයි බේර ගන්න කියලා කෑ ගහනවා. මං ඒ පැත්තට පීනගෙන යද්දි තමයි දැක්කේ නැන්දයි, මාමයි උළුවස්සේ එල්ලිලා ඉන්නවා. කොමියුනිකේෂන් එකේ පැත්තකට වෙන්න සුදු පාට දිග පටියක් තියෙනවා. මම ඒ පටියේ එක් කොනක් අරගෙන ගිහින් එයාලගේ පැත්තට දික් කළත් එයාලට පටිය අල්ලගන්න බැරි වුණා. මම ඒ පටියේ කොන අරගෙන ඒ දෙන්නා ළඟට ගිහින් ඒ දෙන්නාවත් අරගෙන බැම්ම උඩට ආවා. ඒ එද්දි මාමාව දෙපාරක් ගිලුණා.

මම ඒත් අතෑරියේ නෑ, මාමාවත් ගොඩටම අරන් ආවා. ඒ දෙන්නා එක්කම එතැන බැම්මක් උඩට වෙලා හිටපු නංගිවයි මල්ලිවත් කොමියුනිකේෂන් එකේ ඉහළ මාලයට අරගෙන ගියා.

අම්මයි තාත්තයි බේරගන්න කියලා නංගියි මල්ලියි කෑගහද්දි මට ගංවතුර ගැන කිසිම හැඟීමක් දැනුණේ නෑ. මට ඕනෙ වුණේ එයාලව බේරගන්න විතරයි. මට හොඳට පීනන්න පුළුවන්. ඒ මාමාවයි නැන්දවයි බේරගන්න ලැබිච්ච එක ගැන මට හුඟක් සතුටුයි.

ඇය පාදුක්ක සිරි පියරතන විද්‍යාලයේ 12 ශ්‍රේණියේ කලා අංශයෙන් අධ්‍යාපනය ලබයි. ඇගේ මේ වීර ක්‍රියාව දැනගත් පසු ඇගේ පාසලේ විදුහල්පතිතුමා සහ කලාප අධ්‍යක්ෂ ඇයව සොයාගෙන පැමිණ ඇයට ප්‍රශංසා කරන්නට ද අමතකකර තිබුණේ නැහැ.

තම දරුවන්ට ලැබෙන ප්‍රශංසා සහ ගුණ වර්ණනා ගැන වඩාත්ම සතුටු වන්නේ තම මව්පියන් ය. ඒ වගේම ඇයගේ මව්පියනුත් ඈ ගැන එලෙස සතුටු වන්නට ඇත. ඒ සතුට මැද්දෙන් ඇයගේ පියා කසුන් සම්පත් මාඉටිපේ ඔවුන්ගේ දිරිය දියණිය ගැන කිව්වේ මේ වගේ කතාවක්.

මෙහෙම දෙයක් වෙලා කියලා ගෙදරින් දුරකථන ඇමතුමක් ලැබෙද්දී අපිට හිතාගන්න බැරි වුණා. ලොකු බයක් ඇති වුණා. හැබැයි දුවයි ගෙදර අයයි කිසි කරදරයක් නැතුව ඉන්නවා කියද්දී තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. පහුවදා පාන්දර ගමට යද්දිත් වතුර බැහැලා තිබුණේ නැහැ. ගමේ හැමෝම අපේ දුව ගැන කතා කළේ හරි ඉහළින්. අනේ මගේ දුව මේ මහ ගංවතුර මැද්දේ මෙච්චර ලොකු හරියක් කළේ කොහොමද කියලා අපිට හිතාගන්නවත් බැහැ. සමහර විට ඒ අවස්ථාවට මම මුහුණ දුන්න නම් දරුවෝ දෙන්නා ගැන හිතලා ගංවතුරට හසු වූ අය වෙනුවෙන් කිසිවක් කරගත නොහැකිව අසරණ වෙන්නත් තිබුණා. ඒත් දුව එයාගේ ජීවිතයත් පරදුවට තියලයි මේ දේ කළේ.

දැන් දුව ගැන විස්තර හොයාගෙන ගොඩක් තැන්වලින් කට්ටිය එනවා. දුවගේ මේ වීර ක්‍රියාව අපි කට්ටියම ටීවි එකෙන් බලද්දි දුව ගැන දැනුණේ ලොකු ආඩම්බරයක්.

චරිත්මාගේ පියා එසේ පවසද්දී... ආදරණීය මවත් ඇගේ හදවතේ නැ‍ෙඟන සිතිවිලි වචනවලට පෙරළන්න අමතක කළේ නැහැ.

ගං වතුරෙන් පස්සේ ගේ අස්කරන්න ගිහින් කකුලට ලොකු මේසයක් වැටිලා කකුල තුවාල වෙලා අද බෙහෙත් අරන් ආවා විතරයි. මේ සිද්ධිය වෙන වෙලාවේ අපි ගෙදර හිටියෙත් නෑනේ. කෝල් කරලා තමයි මෙයාලා විස්තරය කිව්වේ. දුව පොඩි කාලේ ඉඳලම හරිම ශක්තිමත්. කාටවත් බය නැහැ. බොහොම පුංචි කාලෙදී එයා කරුවලටවත් බය කෙනෙක් නෙවෙයි. ක්‍රීඩාවලට හරි දක්ෂයි. අපි කලින් හිටියේ රක්වාන පැත්තේ. දුවයි, පුතයි, අහල පහල ළමයිනුයි රක්වාන ගඟට නාන්න යනවා. ඉතින් ඒ ගියාම ගඟේ පීනනවා. එහෙම පීනලා තමයි එයා වතුරට බය නැති වුණේ.

මව්පියන්ගෙන්, පාසලෙන්, ප්‍රදේශවාසීන්ගෙන් පමණක් නොව මේ පුවත දැනගත් සියලු දෙනාම ඇයව අගයද්දී... ගංවතුරෙන් දිවි ගලවා ගත් ඒ පවුල ඇයව සලකන්නේ තම ජීවිත ගලවා ගැනීමට ඒ මොහොතේ පැමිණි ඉෂ්ට දේවතාවියක් ලෙසයි.

ඒ භයංකාර සැඩපහරට හසුව දිවි ගලවාගත් වසන්තා ගුණශීලි මේ

දිරි දියණිය ගැන වචන ගළපා ගත්තේ හදවතින්ම නැ‍ෙඟන සිතිවිලි සමඟිනි.

මම නම් එදා හිතුවේ අපේ ජීවිත ඉවරයි කියලා. පෙර පිනකට මේ දුවව අපි ළඟට එව්වේ. අපි දෙන්නම උළුවස්සේ එල්ලිලා හිටියත් මට දැණුනා මහත්තයාගේ කකුල් දෙක වෙව්ලනවා. මට හිතුණේ එයා වතුරට වැටෙයි කියලයි. අපි දෙන්නා ගේ ඇතුළෙ ඉඳන් බේර ගන්න කියලා කෑගහනකොට අපේ ළමයි දෙන්නා උඩහා තාප්පෙ ඉඳන් අපිව බේරගන්න කියලා කෑ ගැහුවා. ඒ වෙලාවේ තමයි මේ දුව අපිව බේරගන්න ආවේ. ඔච්චර පිරිමි හිටියත් එයාලට ධෛර්යයක් තිබුණේ නෑ එහෙම බේරගන්න එන්න. මේ දුවට ඒ ධෛර්යය තිබුණා. ඒ නිසයි අද අපි ජීවත් වෙන්නේ. මේ දුවට මේ පිනම ඇති. අපි මේ දුවට සදා ණයගැතියි.

ඇය සැබැවින්ම දිරිය දියණියක් නොවන්නේ ද? කිසිදු ආලෝකයක් නොමැති රෑ මැදියමේ මොර සූරන වැහි මැද ගංවතුරෙන් පිහිනා ගොසින් පවුලක් බේරා ගන්නට තරම් මේ දියණියට කෙතරම් ශක්තියක් තිබිය යුතු ද? මේ ඇගේ හිතේ ශක්තියත්, ගතේ ශක්තියත් එක ලෙස රටක් දුටු අවස්ථාවයි. ගමක් රටක් ඇයට ප්‍රශංසා කරන මේ මොහොතේ දී අපි ද ඇයට ප්‍රශංසා එක් කිරීමට මෙය අවස්ථාවක්කර ගන්නෙමු.

 

 

බුද්ධික කුමාරසිරි (මීගොඩ)