පියයුරු රැලි වැටිලා

ජුනි 17, 2024

 

මේ ජීවිත ගමනේදී එක් එක් අවධි පසු කරමින් යන විට දී විවිධාකාර ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. එලෙස පවුල් ජීවිතයේ ගැටලු, දරුවන්ගේ ගැටලු, මානසික ගැටලු, ලිංගික ගැටලු සහ අඹු සැමි ගැටලු ආදී විවිධාකාර වූ ගැටලුවලට නිසි විසඳුමක් සොයා ගත නොහැකිව පීඩා විඳින්නන් බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි ගැටලුවලට විසඳුම් ලබා දෙන්න හොඳ උපදේශකයකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. සිතේ තියෙන කාටවත්ම කියාගත නොහැකිව ජීවිතකාලය පුරාවටම සිතින් තැවි තැවි ඉන්න, පවුලෙන් ගිලිහුණු සතුට සමාදානය නැවත රැගෙන එන්න තරුණී නිරතුරුවම ඔබට සහයක් වනු ඇත. ලියන්න ඔබේ හද දවන ගැටලුව තරුණීට. අප ඔබට ඉක්මන් විසඳුම් ලබා දෙන්නෙමු. අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්.

කොළඹ - 10.

 

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකථන අංකයට whatsapp කරන්න.

ප්‍රශ්නය

මම වයස අවුරුදු 40ක දෙදරු මවක්. පෙනුමින් රූමත්. නමුත් දැන් වසර දෙකක වගේ කාලයක පටන් මාගේ පියයුරුවල රැලි වැටුණු ස්වභාවයක් ඇත. මේ නිසා මට මා ගැනම පිළිකුල් සහගත ස්වභාවයක් දැනෙයි. මෙයට ප්‍රතිකාරයක් තිබේ ද?

 

පිළිතුර

දරුවන් හදා මැදිවයසට යන විට බොහෝ කාන්තාවන් මේ තත්ත්වයෙන් පීඩා විඳිනවා. මේ නිසා කාන්තාවන් ඇතැම් අවස්ථාවල පියයුරු වෙනුවෙන්ම ප්ලාස්ටික් සැත්කම් සිදුකර ගන්නා අවස්ථා තිබෙනවා. මිල අධික එම සැත්කම් සියයට සීයක් සාර්ථක සැත්කම් නොවේ. එයින් අතුරු ප්‍රතිඵලවලට ද මුහුණ දීමට සිදු විය හැකිය.

 

පියයුරුවල පෙනුමට ඔබ අඳින තිසරපට බලපානවා. ඒ අනුව ඔබේ ශරීරයේ ප්‍රමාණයට හා හැඩයට ගැළපෙන තිසරපටක් ඇඳීම අනිවාර්යෙන් කළ යුත්තක්.  එහි දී ඔබට අන්තර්ජාලය ඇසුරින් උදවු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් රාත්‍රි නින්දට යන විට තිසරපට ගැලවීමට මතක්කර ගත යුතුයි. එමෙන්ම නිවෙසේ සිටින විටත් හැකි සෑම අවස්ථාවකදීම සැහැල්ලු තිසරපටක් ඇඳගෙන සිටීම තුළින් ඔබේ පියයුරු එල්ලා වැටීම වැළකෙනවා.

පියයුරුවල තෙතමනය රඳවා ගැනීමත් වැදගත්. පියයුරුවල සුන්දරත්වය ආරක්ෂාකර ගැනීමට නම් එයට  අවශ්‍ය තෙතමනය ලබා දීම කළ යුතුයි. මෙහිදී ස්නානය කිරීමෙන් පසුව තෙතමනය රැඳෙන ක්‍රීම් එකක් ආලේප කිරීම සිදු කළ හැකියි.

 

අපි සාමාන්‍යයෙන් හුරුවී සිටින්නේ සාමාන්‍ය ජලයෙන් හෝ මඳ උණුසුම් ජලයෙන් ස්නානය කිරීමට. නමුත් සෑම ස්නානයක් අවසානයේම ඔබේ පියයුරු තරමක තද සීතල ජලයෙන් සේදීමට හැකියාව තිබේ නම් එහි ප්‍රයෝජන අතිවිශාලයි. සීතල ජලයෙන් රුධිර සංසරණය උත්තේජනය කරනවා වගේම සෛල හුවමාරුව වැඩි දියුණු කරනවා. මෙම පිළිවෙත මඟින්  පියයුරුවල පටක තද වී එහි හැඩය වඩාත් ශක්තිමත් වනවා.

උඩුබැලි අතට නිදාගන්න. බොහෝ දෙනා පුරුදු වී තිබෙන්නේ මුණින් අතට නිදාගැනීමට. නමුත් මේ පුරුද්ද නිසා පියයුරුවල රැලි මතුවීම හා ඒවායේ හැඩය අවලස්සන වීම සිදු වීමට පුළුවන්.  එම නිසා හැකිතාක් උඩුබැලි අතට නිදාගැනීමට පුරුදු වීමට හැකි නම් එය වඩාත් ප්‍රයෝජනවත් වේවි.

සමබල ආහාර වේලක් ලබා ගන්න. පියයුරුවල හැඩය හා පෙනුම පවත්වා ගන්න අපි ලබාගන්නා ආහාරවේල අතිශය වැදගත් වෙනවා.  සමබල ආහාර වේලක් තුළින් නිරෝගී ශරීර බරක් පවත්වා ගැනීමට හැකියි. සිරුරේ බර නිතර නිතර වෙනස්වීම්වලට ලක්වීම පියයුරු එල්ලා වැටීමට බලපාන බැවින් සුන්දර පියයුරු යුවළක් වෙනුවෙන්  සමබල ආහාර වේලක් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම අනිවාර්යෙන් කළ යුත්තක්.

ඉරියව් පෙනුමේ සහ පියයුරුවල හැඩයේ විශාල වෙනසක් ඇති කරන තවත් සාධකයක්. එබැවින්, සිටගෙන සිටින විට හෝ වාඩි වී සිටින විට, කොන්ද කෙළින් තබාගෙන සිටීමට පුරුදු විය යුතුයි. මේවගේ දේවල්වලින් මේ ගැටලුව යම්තාක් දුරට පාලනය කරගත හැකි වුණත් මේ තත්ත්වය ඕනෑම කාන්තාවක් මුහුණ දෙන සාමාන්‍ය තත්ත්වයක් බව වටහා ගන්න.

උපදෙස් -

ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය

දයානි සිරිවර්ධන

-------------

යෝනි මාර්ගයේ දුර්ගන්ධයක්

ප්‍රශ්නය

මගේ යෝනි මාර්ගයෙන් හැමවෙලාවෙම දුර්ගන්ධයක් එනවා. සැමියා ඒ පිළිබඳව පැවසූ අවස්ථාවේ මට පුදුමාකාර වේදනාවක් ඇති වුණා. මම අපිරිසුදු කෙනෙක් නෙමෙයි. ඒත් ඒක මට හරී ප්‍රශ්නයක්. ඇයි එහෙම වෙන්නේ කියලා. එහෙම වෙන්න හේතූ මොනවා ද? හැම වෙලාවෙම යෝනිය තෙත් වෙලා. මටම එපාවෙලා ඉන්නේ. සැමියා මගෙත් එක්ක අමනාප වූ අවස්ථාවක මට ඒ දේ ගැන කියලා බැණ්නා. ඉතිං මට මැරෙන්න තරම් ලැජ්ජා හිතුණ. පපුව පැ‍ෙළන්න ආවා. ඒ තරම් වේදනයි. ඔහු ඒ කියපු වචන ආයේ හරවන්න බැහැ. ඒ වචනවලින් ඇති වුණ වේදනාව කවදාවත් මැකෙන එකක් නැහැ. මට හිත හදා ගන්න උදවු කරන්න.

 

පිළිතුර

යෝනි මාර්ගයේ දුර්ගන්ධය කියා හඳුන්වන්නේ යෝනි මාර්ගයෙන් පිටවන ශ්‍රාවයේ දුර්ගන්ධයට යි. සාමානය බැක්ටීරියා ක්‍රියාකාරීත්වයත් එක්ක සාමාන්‍ය යෝනි ශ්‍රාවයක් එන්න පුළුවන්. එවිට ගන්ධයක් රහිතව වර්ණයක් රහිතව සාමාන්‍ය තෙත් ගතියක් යෝනී මාර්ගයේ ඇති වෙන්න පුළුවන්.

ආර්තව චක්‍රයේ එක එක කාල පරාසවලදී, ඩිම්බ මෝචනය වන කාලයේදි ටිකක් ඝනකම වැඩි ශ්‍රාවයක් තියෙන්න පුළුවන්. ආර්තව චක්‍රය අවසන් වෙලා පටන් ගන්න මුල්ම කාලයේදී වතුර වගේ සාමාන්‍ය ශ්‍රාවයක් තියෙන්න පුළුවන්. ඩිම්බ මෝචනයත් එක්ක මේ ශ්‍රාවය ඝනකම් විය හැකියි. ඊට පස්සෙ ඒ ශ්‍රාවය අඩු වෙලා යනවා. ඒකට හේතු වෙන්නේ ස්ත්‍රී හොර්මෝනවල ක්‍රියාකාරිත්වය. මෙය සාමාන්‍යය තත්ත්වයක්. නමුත් සමහර කාන්තාවන්ට යෝනි ශ්‍රාව පිටවීමේදී ගන්ධයක් පැහැයක් සහිතව පිටවෙනවා.

 

ශරීරීයේ වෙනත් පද්ධතිවල රෝග අවස්ථාවන්හිදී සහ ගර්භාෂය සහ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයන් හේතුවෙන් යෝනි ශ්‍රාවයේ වෙනස්කම් ඇති වන්න පුළුවන්. යෝනි ශ්‍රාවයේ ඇතිවන වෙනස්කම්වලට බලපාන සාධක බාහිර ඉන්ද්‍රීය ආශ්‍රිතව පවතින ආසාදන සහ අභ්‍යන්තර ඉන්ද්‍රීය ආශ්‍රිතව පවතින ආසාදන වශයෙන් වෙන්කර හඳුනා ගන්න පුළුවන්. බාහිර ඉන්ද්‍රීය ආශ්‍රිතව පවතින ආසාදනවලට හේතු ලෙස අපිරිසුදු කම, බැක්ටීරියා ආසාදන, පොදු වැසිකිළි භාවිතය, අපිරිසුදු යට ඇඳුම් ඇදීම සහ නිතර සබන් යොදා සේදීම වැනි කාරණාවලදී හිතකර බැක්ටීරියා විනාශ වීම යන හේතු බලපෑ හැකිය.

 

අභ්‍යන්තර ඉන්ද්‍රීය ආශ්‍රිතව පවතින ආසාදන, ඩිම්බකෝෂවල අධික ක්‍රියාකාරීත්වය, ගර්භාෂයේ ඇතිවෙන යම් යම් විකෘතිතා, පැලෝපීය නාලවල රෝගී තත්ත්වයන්, ගැබ්ගෙල ආශ්‍රිත පිළිකා සහ ගර්භාෂගත තුවාල හේතු විය හැකිය.

 

ඇතැම් විට බොහෝ අයගේ යෝනී දුර්ගන්ධයට හේතුව සුද යාම නම් රෝගී තත්ත්වයයි. මේ කුමක් වුවත් එයට හේතුව සොයා බැලීම වැදගත්.

අවිවාහක කාන්තාවක් නම් විශේෂයෙන්ම බාහිර ප්‍රජනන ඉන්ද්‍රීය පරීක්ෂාවක් කරගත යුතුයි. විවාහක අයෙක්නම් අභ්‍යන්තර ප්‍රජනන ඉන්ද්‍රීය දක්වා පරීක්ෂාවක් කාන්තාවන් කිරීම සුදුසුයි. ඉන්පසු සුදුසු ප්‍රතිකාර ඇරඹිය හැකිය.

 

 

උපදෙස් -

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

අජිත් කරවිට

 

 

-------------------

 බිරියගේ හැසිරීම අමුතුයි

 

ප්‍රශ්නය

අප විවාහ වී වසර 3කි. තවම දරුවන් නොමැත. මේ ගැටලුව මාගේ බිරිය සම්බන්ධවයි. ඇය කුමක් හෝ මානසික රෝගයකින් පෙළෙනවා යැයි මට නිතර සිතේ. එයට හේතූ වූ කාරණා කිහිපයක්ම ඇත. ඇය හේතුවක් නොමැතිව නිතර අත් සෝදයි. නාන්න පැය දෙකක කාලයක් පමණ ගන්නවා. සමහර වෙලාවට හොඳපු රෙදිත් නැවත නැවත සෝදනවා. ඒ වගේම ඇය ඕනෙවට වඩා පිළිවෙළකට ඉන්න උත්සාහ කරනවා. කිහිප සැරයක්ම නිවෙස අතු ගානවා. කුමක් හෝ භාණ්ඩයක් වෙනදා තියන තැන නොතබා වෙනත් තැනක තැබුවොත් ඇයට පුදුම විදිහට කේන්ති යනවා. ඇගේ මේ තත්ත්වය ගැන පහදා දෙන්න.

 

පිළිතුරු

මෙය OCD හෙවත් ග්‍රස්ථිය නම් රෝගයේ ලක්ෂණයි.

OCD හෙවත් obsessive-compulsive disorder කියන රෝගය ජනගහනයෙන් 1%කට පමණ පවතිනවා.

මෙම රෝගය නව යොවුන් වියේදී මතු වුවත් කලාතුරකින් දරුවන් අතරද දක්නට ලැබෙනවා.

ඕසීඩී රෝගය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය අතරම එක හා සමානව දක්නට ලැබෙනවා. කලාතුරකින් වැඩිහිටියන්ටද මෙම රෝගය වැලඳීමේ අවදානම තිබෙනවා. ඇතැම් විට විෂාදය රෝගය හා ඒකාබද්ධව මෙම OCD ලක්ෂණ ඇතිවිය හැකිය.

 

OCD රෝග තත්ත්වයේ ලක්ෂණ ලෙස නැවත නැවත සිතට විවිධ සිතිවිලි ගලා ඒම, එම සිතුවිලි සිතට ගලා ඒම වැළැක්වීමට රෝගියා උත්සාහ දැරීම, විවිධ රූප මැවී පෙනීම, විසබීජ නිසා හානියක් සිදුවේ යැයි නිතර නිතර ඇතිවන සිතුවිලි, නිතර නිතර දෑත් සේදීම, අවශ්‍ය පමණට වඩා සේදුම්කාරක භාවිතය, දීර්ඝ වේලාවක් ස්නානය කිරීම, විසබීජවලට අමතරව රුධිරය, මේසය මත විසිරුණු කෑම, බිඳුණු වීදුරු, ශරීර තරලවලට බියක් දැනීම, පොදු වැසිකිළි භාවිතයට සහ පොදුවේ පරිහරණය කරන දේවල් භාවිතයට බිය වීම, නැවත නැවත එකම දේ පරීක්ෂා කිරීම වැනි දේවල්.

‍ෙදාර වැසුවාද? අයන් එක ඕෆ් කළාද? යන දේවල් සාමාන්‍ය වාර ගණන ඉක්මවා පරීක්ෂා කිරීම.

තමන් ජීවත්වන පරිසරයේ තිබෙන දේවල් ගැන අධික සැලකිල්ලක් දැක්වීම, වැඩි කාලයක් ගෙන තමන්ගේ භාණ්ඩ රටාවකට හෝ එක ඉරක් සේ තැබීම, නිවෙසේ භාණ්ඩ නිතර පිළිවෙළකට තැබීම. එකම දෙය මේසය මත කිහිප වතාවක් ඔසවා තැබීම.

තමාගේ පොත් රාක්කයේ ඇති පොත් හෝ ඇඳුම් රාක්කයේ ඇති ඇඳුම් නැවත පිළිවෙළකට ඇසිරීම.

පිළිවෙළකට සකස් කිරීමෙන් අනතුරුවද සෑහීමකට පත් නොවී නැවත නැවත එය සකස් කිරීම වැනි ලක්ෂණ දැකිය හැකිය.

ඔෟෂධීය ප්‍රතිකාර සහ මනෝ චිකිත්සක ප්‍රතිකාරවලින් මෙම තත්ත්වය පාලනය කළ හැකිය. ඔෟෂධීය ප්‍රතිකාර පමා නොවී ආරම්භ කළ යුතුය. විවිධ ඔෟෂධ වර්ග නියමිත මාත්‍රාවලින් දීර්ඝ කාලයක් ලබා ගැනීම සිදුකළ යුතුය. ඔෟෂධීය ප්‍රතිකාර සහ මනෝ චිකිත්සක ප්‍රතිකාර එකම වෛද්‍යවරයකු යටතේ ලබා ගැනීම තුළින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.

මෙය දිගු කාලීනව පවතින රෝගයක්වන බැවින් ඔෟෂධ දීර්ඝකාලීනව ලබා ගැනීම තුළින් සම්පූර්ණයෙන් රෝගය පාලනය කිරීමට හැකිය.

 

 

උපදෙස් -

විශේෂඥ මනෝ වෛද්‍ය

රූමි රූබන්

කරාපිටිය ශික්ෂණ රෝහල