ගේ නොකඩා වාස්තු දෝෂ නසන සරල ක්‍රම

ජුනි 17, 2024

සම්පූර්ණයෙන්ම වාස්තු දෝෂ නොමැති නිවහනක් තනා ගැනීම අසීරු ඉලක්කයකි. නමුත් වාස්තු දෝෂ අවමකර ගනිමින් නිවහනක් තනා ගැනීම අපට කළ හැකි කටයුත්තකි. මේ සඳහා ප්‍රවීණ වාස්තු විද්‍යා උපදේශකයකුගේ උපදෙස් ලබා ගැනීම අප බොහෝ දෙනකු අනුගමනය කරන පියවරකි. එහෙත් එවැනි උපදේශකයකුගේ උපදෙස් ලබා ගැනීම පමණක්ම ප්‍රමාණවත් නොවෙයි. අපට ද වාස්තු විද්‍යාව ගැන යම් අවබෝධයක් තිබිය යුතු වෙයි.

නිවෙසක වාස්තු දෝෂ භංගවන ක්‍රම හා විධි පිළිබඳ අපට ඇති දැනුම අනුව නිවෙසක බොහෝ වාස්තු දෝෂ පහසුවෙන් මඟහරවා ගත හැකි වෙයි. නිවෙසක වාස්තු දෝෂ ඇතිවන ප්‍රධාන සාධකයක් බවට පත් වන්නේ දිග පළල ගණනය කිරීමයි. එවැනි දෝෂයක් පවතින්නේ නම් එය පවතින්නේ නිවෙසේ වහලය ගසන තෙක් පමණකි. නිවෙසක දිග පළල පිළිබඳ දෝෂයක් වේ නම් එය වහලය ගැසූ පසු බොහෝ විට භංග වී යයි. ඒ නිසා නිවෙසක් සකස් කර පදිංචි වූ පසුව නැවත දිග පළල වෙනස් කිරීම කළ යුතු නොවෙයි.

 

විශ්ව ශක්තිය

 

වාස්තු දෝෂ නැති නිවෙසක පවා වාස්තු දෝෂ ඇතිවන අවස්ථා තිබේ. ඇතැම් නිවාස කිසිම වාස්තු දෝෂයක් නොමැතිව අංග සම්පූර්ණ ලෙස නිර්මාණය කරයි. නමුත් නිවෙස සෑදීමෙන් පසු බඩු මුට්ටු ගොඩ ගසා ගැනීම නිසා නැති වාස්තු දෝෂ ඇතිවෙයි. බ්‍රහ්ම පාදය නිදහස්ව තිබීම,

 

නිසි ලෙස නිවෙසට වාතාශ්‍රය ලැබෙන ආකාරයේ බඩු මුට්ටු අසුරා තැබීමෙන් නිවෙසට අපහසුවකින් තොරව විශ්ව ශක්තිය ඒ ඒ දිශාවන්ගෙන් ඇතුළු වී ගමන් කිිරීමේ හැකියාව ඇති පරිදි නිවෙස නිර්මාණය වී තිබිය යුතුය.

 

වර්ණ ගැන්වීම

 

නිවෙසක බිත්තිවල වර්ණ ආලේප කිරීම ද වාස්තු විද්‍යාත්මක පදනමක් මත කළ යුතු කටයුත්තකි. නිවෙසක වර්ණ ගැන්වීමේදී මුල් තැනක් දෙන්නේ වර්ණයට පමණක් නොවේ දිශාවන් සඳහා ද ප්‍රමුඛත්වය ලබා දෙති. එක් එක් ප්‍රධාන දිශාවට අයත් වර්ණ පවතී. වර්තමානයේ වර්ණ විශාල ප්‍රමාණයක් පැවැතියත් ප්‍රධාන වර්ණයේ පැහැයේ සිට එහි ළා වර්ණය දක්වා වර්ණ රාශියක් තිබේ. මෙලෙසින් යොදාගන්නා ප්‍රධාන වර්ණ කිහිපයක් දිශා අනුව වර්ණ ගැන්වීම ගැන අප විමසා බලමු.

 

සාමාන්‍යයෙන් නැඟෙනහිර දිශාවේ බිත්තිය සඳහා කොළපාට වර්ණයයි. තමා දක්වන රුචිකත්වය පරිදි ළා කොළ පාටේ සිට තද කොළ පාට දක්වා වර්ණයක් මේ සඳහා යොදා ගනියි. බස්නාහිර දිශාව සඳහා යොදා ගන්නේ අළු පැහැති වර්ණයයි. උතුරු දිශාවේ බිත්තියට නිල් පැහැති වර්ණය යොදා ගනියි. දකුණු දිශාවේ බිත්තියට යොදා ගන්නේ රතු පාටයි.

වර්තමානයේ මෙලෙස වර්ණ යොදා ගැනීම සිදු නොකළත් එයට සමාන්තරව එම වර්ණයේම වර්ණක බිත්ති සඳහා ආලේප කරයි. මෙලෙස වර්ණ ගැන්වීම වරදක් නොවන අතර, කාමර සඳහා ළා වර්ණ යොදා ගැනීමත් සිතට සෞම්‍ය ගතියක් ඇති වර්ණ තෝරා ගැනීමත් වඩාත් යෝග්‍ය වෙයි.

 

උපදෙස් -

ප්‍රවීණ ජ්‍යෝතිෂ්ශාස්ත්‍රඥ, වාස්තු විද්‍යා උපදේශක

ධර්මපාල සොන්දරප්පෙරුම ආරච්චි