හිතුමනාපේ දරුවන්ට ගැහු‍ෙවාත් දඬුවම තදයි

ජුනි 17, 2024

සමාජ මාධ්‍යජාලා කලඹවමින් කුඩා දැරියක් පහර කන වීඩියෝවක් සංසරණය වීමෙන් පසු බොහොමයක් දෙනකුගේ ජීවිත කණපිට හැරවූයේ පසුගිය සතියේදීය.

අවුරුදු 4 මාස 6ක පුංචි දියණියක් තම මවගේ අනියම් සැමියාගේ නින්දිත පහරකෑම්වලට ලක්වන අන්දම රැගත් මේ වීඩියෝව දරුවන් කෙරෙහි තෙතමනයක් ඇති සිතකට නැරඹිය නොහැකි තරම්ය.

ආහාරයක් බුදින තිරිසන් සතෙකුට පවා පහරක් එල්ල කරන්නට සිතෙන්නේ තිරිසන් ගති ඇත්තෙකුටම පමණි.

මේ වීඩියෝවට අනුව පුංචි ළදැරිය ඒ පාපතරයාගේ ගුටි බැටවලට හසුවන්නේ සීනී ටිකක් හොරෙන්ම කටේ දමා ගැනීමේ වරදටය. පළමු තත්ත්පර 30දී මේ දැරිය දෙවතාවක් පමණ වීසී වෙන්නටම පහර කයි. පහරකමින් වැටී වැටීත් ආයෙ ආයෙත් ඒ පාපතරයා ළඟටම ගොස් බත් කටක් කටේ දමා ගන්නේ අධික කුසගින්නක සිටි නිසාද, නැතහොත් ඒ පාපතරයාට ඇති බිය නිසාදැයි දන්නේ පුංචි දැරිවියම පමණි. ඇගේ දෑසින් එකම කඳුළක් හෝ වැටෙන්නේ නැත.

මේ වීඩීයෝව පටිගත කරන්නා කියන්නා සේම මේ පාපතරයා අතින් මේ දැරිය පහර කන පළමු, දෙවැනි අවස්ථා මෙය නොවන බව ඉතාම පැහැදිලිය. දැරිය මොහුගේ පහරකෑම්වලට පදම්ව ඇති බවක් හැඟේ.

මෙය වීඩියෝ කරන කෙනා පොලිසියට පෙන්වන බවට තර්ජනය කළත් පහර දෙන පුද්ගලයා "මං බය නෑ" කියලා තවත් හයියෙන් දරුවා වීසී වෙන්නම ගහනවා. අන්තිමෙ මේක සමාජ මාධ්‍යට මුදා හරිනවා. මේ නිවෙස නිතරම ආරවුල් ඇති, පුරුෂාධිපත්‍ය උපරිමව රජ කරන නිවෙසක් වන්නට ඇති. වැඩිහිටි කාන්තාවෝ තුන්දෙනෙක් ඉඳලත් එක්කෙනෙක්වත් දරුවා බේර ගන්න උත්සාහ කරන්නේ නෑ. මෙවැනි පුද්ගලයකු පිළිබඳ පොලිසිය කිසිසේත්ම නොදැන ඉන්න බැහැ.

වීඩීයෝව සංසරණය වූ අවස්ථාවේ පැහැදිලි නොවූවත් පසුව සොයා ගත් කරුණු කාරණාවලට අනුව කුකුල් චමින්ද ලෙස හඳුන්වන මේ පුද්ගලයා තම නීත්‍යානුකූල බිරිය සහ අනියම් බිරිය යන දෙදෙනාම එකම නිවෙසක වෙසෙමින් පවුල් කයි. අනියම් බිරියගේ දැරිය මෙලෙස කුකුල් චමින්ද නමැති පාපතරයාගේ පහර කෑම්වලට ලක් වෙයි. නීත්‍යානුකූල බිරිය අනියම් බිරියව තමන් වෙසෙන නිවෙසේ රඳවා ගන්නට කැමැත්ත දෙන්නේ ඒ නරුමයාගේ අණසකවලට යට වී විය හැකියි.

දැරියට බත් කවමින්ම පහර දෙන වීඩීයෝව පටිගත කරමින් එය සමාජ මාධ්‍ය වෙත මුදා හරින්නේ කුකුල් චමින්දට හා නීත්‍යානුකූල බිරියට දාව උපන් අවුරුදු 20ක් පමණ වයසැති රැකියාවක ද නියැළෙන පුතුයි.

මෙය වීඩියෝ කරන පුතාට තමන්ගේ තාත්තගේ ක්‍රියාකලාපය කිසිසේත්ම ඉවසා ගන්නට බැරිව ඇති. තරුණ වයසේ පුතකු ඉන්න නිවෙසක තාත්තා අඹුවන් දෙදෙනකු ම තියාගෙන කරන කියන දෑ ඉවසන්නටම බැරිව ඇති.

ඔහු මේ වනවිට මාධ්‍ය හා සමාජ මාධ්‍යන්ගේ මෙන්ම ශ්‍රී ලංකා පොලිසියේද පැසසුමට බඳුන්ව තිබේ.

එසේ වුවත් වීඩියෝව තව තවත් ශෙයා වෙද්දි දරුවන්ගෙ ජීවිත අවදානම වැඩි වෙනවා. කුකුල් චමින්දට මේ පුංචි දැරියව මරලා දාන්න වුණත් පුළුවන්. වෙන රටවල්වල පැය කීපයක් තුළ සියලු වීඩියෝ ඉවත් කරනවා, පලා ගිය අය හොයන්න විශාල මෙහෙයුමක් දියත් කරනවා, සිද්ධියට සම්බන්ධ රහසිගත ලෙස ඔත්තු ලබාදීමට විශේෂ දුරකථන අංකයක් ජනගත කරනවා

බීමත්කමට සහ ලිංගිකත්වයට වහල් වූ මෙවැනි අධමයින්ගේ අඩන්තේට්ටම්වලට හසුවීමම පාපකර්මයකි. වැඩිහිටියන් කරන වැරදිවලට වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ හයක් හතරක් නොදන්නා මේ නොදරුවන්ටයි. මව්පියන් ඇඹුල් කද්දී හිරි වැටෙන්නේ දරුවන්ගේ දත් බව පැරැන්නන් කීවේ කට කසනවාට නොවේ.

මේ දරුවන්ට කථන ආබාධ, සන්නිවේදන දුර්වලතා, මානසික ආතතිය ඇතිවන්නේ නිරායාසයෙන්මයි. Post traumatic stress disorder (PTSD) නිසා මුළු ජීවිත කාලයම විඳවනවා...

අද වනවිට කුකුල් චමින්ද පමණක් නොව ඔහුගේ අනියම් බිරියට, නීත්‍යානුකූල බිරියට, ඔවුන්ට රැකවරණය දුන් සියල්ලටම පාහේ හිරබත් කන්නට සිදුව තිබේ.

පුංචි දැරියට උරුම වූයේ පරිවාසයයි. මේ සියල්ල විසඳුණේ හොඳම විදිහට යැයි කිසිසේත්ම සෑහීමට පත් විය නොහැකි වේ.

පියකුගේ රැකවරණය කොහෙත්ම නොමැති දැරියට අන්තිමේදී මව් සෙනෙහස ද අහිමි විය. පොලිස් ජීප් රථයට නඟිද්දීත් ඇය සොයන්නේ මවගේ උණුහුමයි.

සැමියකුගේ රැකවරණයක් නොමැතිව කුසට කෑමක්වත් නොමැති කළ අත දරුවකු සමඟ තනිවූ නිසාවෙන් මේ දැරියගේ මව තවත් පිරිමියකුගේ රැකවරණය අයැද සිටියා විය හැකියි. කර්මයක මහත කෙසේ ද යත් ඇය වැටුණේ තවත් නරාවළකටයි. කුකුල් චමින්දගේ අනියම් බිරිය වන්නේ ඒ අනුව විය හැකියි.

දරුවන් ක්‍රෑරත්වයට පත්වන බව දැනෙන්නේ නම්, එය සිදුවන්නේ තම නිවෙසේ හෝ අසල්වැසි නිවෙසක හෝ නම් ඒ බව දැනුම් දීමට කිසිසේත්ම පසුබට විය යුතු නොවේ. 1929 (ළමා රක්ෂණ අධිකාරිය), 119, 0112444444 යන අංක ඒ සඳහා විවෘත වේ. නිශ්චිත, නිවැරැදි තොරතුරු පමණක් සමාජ මාධ්‍ය වෙත පළ කරන්නට ද අවස්ථාව තිබේ. එහිදී අගතියට පත්වූ පාර්ශ්වය තව තවත් අපහසුතාවට ලක් නොවන පරිදි අදාළ වීඩීයෝ ඉදිරිපත් කරන්නටත් වග බලා ගත යුතුවේ.

මෙම සිද්ධියේදී ද මුල පටන් පුංචි දැරිවිය මුහුණ දෙන්නේ සමාජගත, පරම්පරාගත භීෂණයකටයි. මොහොතක් මොහොතක් පාසා ඇය මුහුණ දෙන්නේ බිය ගැන්වීම්වලටයි. අතිශය චමත්කාරජනක ළමා විය ගෙවා දමන්නට සිදුව ඇත්තේ සෝබර කටුක දිවි පෙවෙතක් ලෙසටයි.

මවගේ අනියම් සැමියාගේ පහර කෑම්වලට හසු වූ මේ නොදැරිවිය රාජ්‍ය රැකවරණයට පත්වූ පසුවද ඇගේ පෞද්ගලිකත්වය ආරක්ෂා නොවේ.

සමාජ මාධ්‍ය කැලඹූ වැලිඔය ළමා අපයෝජන සිද්ධියේ වින්දිත දරුවාගේ ඡායාරූප සහ විඩියෝ සමාජගත කිරීමට දායක වූ පොලිස් නිලධාරීන්ට එදිරිව ශ්‍රී ලංකාවේ ප්‍රථම 'ළමා ආරක්ෂණ සන්ධානය' පොලිස්පතිට පැමිණිලිකර තිබේ.

තමන්ගේ යූටියුබ් නාළිකාවල නැරඹුම් වාරගණන වැඩි කරගන්නට ප්‍රසිද්ධියක් ගන්නට, ෆේස්බුක් ගිණුම්වල පළකරන්නට උත්සාහගන්නා පිරිස් ද මේ අතර සිටියි.

පරිවාසයට පත්වන දරුවන්ගේ ජීවිත ද බොහෝවිට ඛේදනීය වේ. දරුවන් ද්විතියික ,තෘතියික ලෙස අපයෝජනයට ලක්වන්නේ මේ අවස්ථාවලදීය.

අධිකරණ ක්‍රියාකාරිත්වයේ උදාසීන බව නිසා මෙවැනි සිද්ධීන්හි තීන්දු තීරණ වසර 7 - 10 කල් යයි. දරුවන් සම්බන්ධ අපරාධ නඩු වසර 2ක් තුළ අවසන් කළ යුතු වූවත් එසේවීමට නම් වඩාත් කාර්යක්ෂම විය යුතුවේ.

 

 

විශේෂ ස්තූතිය:

ළමා හිංසනයට තිත පදනමේ නිර්මාතෘ සහ සභාපති

වෛද්‍ය තුෂ් වික්‍රමනායක