අපි ඔබට ගෞරවනීය ආචාරය පිරිනමන්නෙමු

ජූලි 8, 2024

 

"මම" යන උක්තයෙන් ආරම්භ කරනු ලබන වාක්‍යයක් "මි" සහිත ආඛ්‍යාතයකින් අවසන් කළ යුතු බවත්. “අපි” යන්නෙන් අරඹන වැකියක් “මු” සහිත අාඛ්‍යාතයකින් අවසන් කළ යුතු බවත් අප ඉගෙන ගනු ලැබුවේ සිංහල ව්‍යාකරණ රීතියේ පළමු පාඩම් පෙළ උගත් අවධියේය. නමුත් ප්‍රායෝගිකව ජීවිතය අත්විඳින කාලය පැමිණෙන විට "මම" යන උක්තයට වඩා “අප” යන වචනය ලෝකයේ ජීවත් වීමට කොතරම් බලපානවාද යන වග අප අත් විඳින්නේ අත්දැකීම් ඇසුරිණි. “මම” යන ඒකවචනයට වඩා “අපි” යන බහුවචනය එදා මෙදා තුර ලෝකයේ රැලි පෙරැලි ඇතිකර තිබේ. මෙම ඉතිහාසගත සටහන එසේ ඇරඹීමට හේතු පාදක වන්නේ අපේ තරුණී 55 වැනි සංවත්සරය සමරන ළෙන්ගතු හෘදයාංගම මොහොත මෙය වන නිසාමය.

 

පුවත්පතක් යනු සාමූහික ළෙන්ගතු මෙන්ම නිර්මාණශීලී වගකීමකි. එම වගකීම ප්‍රමිතිගතව නියමිත පරිදි නිම කිරීමට බොහෝ පාර්ශ්වයන්ගේ නිර්ලෝභී ජීව රුධිරය අතිශය වැදගත් වේ. 1969 වසරේ ජූලි මස 9 වැනි දින අභිමානවත් කාන්තාවන් වෙනුවෙන් පිරිනැමෙන බුද්ධිමත් තිළිණයක් ලෙස තරුණී පුවත්පත ආරම්භ කරනු ලබන්නේ ද සාමූහික ප්‍රයත්නයක අතිසාර්ථක ප්‍රතිඵලයක් ලෙසිනි.

 

ලේක් හවුස් ආයතනයේ නිර්මාතෘ දිවංගත ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ දූරදර්ශී මඟපෙන්වීම යටතේ හික්කඩුව ශ්‍රී ලියනගේ ශ්‍රීමතාණන් ලෝකයට දායාද කළ පත්තර හුස්ම එදා සිට අද දක්වාම ප්‍රදීපස්ථම්භයක් වන් කාන්තාවන්ගේ ලෝකයට නිවැරැදි දිශානතිය පෙන්වමින් වැජඹෙයි. සුපැහැදිලි අහසක වර්ණවත් දේදුන්නක් මෙන් විවිධ ආකර්ෂණීය වර්ණ විදහාලමින් කාන්තිමත්ව බැබළෙන තරුණී සුවහසක් කාන්තාවන්ගේ ලෝකය දැනුමෙන් සහ හැකියාවෙන් බැබළවීමට එතෙක් මෙතෙක් කළ කැපවීම මෙතෙකැයි කියා නිම කළ නොහැකිය.

 

සමස්ත කාන්තාවන්ට උත්තරීතර මවක්, සෙනෙහෙබර සොහොයුරියක් සේම ළබැඳි හෘදයාංගම මිතුරියක්වන තරුණී එදා සිට අද දක්වාම මෙතෙක් සුන්දර දුර මඟක් පැමිණීමට ගෞරවනීය දායකත්වය දැක්වූ පිරිස අපමණය.

 

එදා සිට අද දක්වා ලේක් හවුස් ආයතනය පාලනය කළ සභාපතිවරුන්, අධ්‍යක්ෂක මණ්ඩල සිට මහ මඟ අතුගාන සුළු සේවකයා දක්වාම මේ සවිමත් ගමනට නොමඳ දායකත්වය ලබාදුන් බව අපගේ හැඟීමයි.

 

එමෙන්ම තමන් සතු දැනුම නිර්ලෝභීව එදා මෙදාතුර අප පාඨක ප්‍රජාව වෙත නිබඳවම ලබාදෙන සම්පත් දායකයන් සියලුදෙනාට ද මේ මොහොතේ අපගේ ස්තූතිය හිමිවිය යුතුය.

එදා සිට අද දක්වා මෙම ජවසම්පන්න ගමනට සවියක් වූ සියලු කර්තෘවරුන්, වැඩ බැලූ කර්තෘවරුන් සහ නියෝජ්‍ය කර්තෘවරුන් හට අප කණ්ඩායමක් ලෙස මේ මොහොතේ ගෞරවාන්විත උපහාරය පිරිනැමිය යුතුම වේ.

හික්කඩුව ශ්‍රීලාල් ලියනගේ ශ්‍රීමතාණන් ආරම්භ කළ ගමන් මඟේ විවිධ සංධිස්ථානයන්හි තරුණී බර දෙවොරට ගත් සුමනා සපරමාදු, හේමා ගුණවර්ධන, පූජිත විජේතුංග, ප්‍රභාත් මානවසිංහ, අනුල ද සිල්වා, ඉඳුනිල් අමරසේකර, ධර්මා එස්. සමරනායක, ගාමිණී සමරසිංහ, ඇන්ටන් සැම්සන්, මනෝලි සුබසිංහ, ඉඳුනිල් වීරරත්න යන කතුවරුන් පුවත්පත මෙතෙක් දුර ගෙන ඒම සඳහා ලබාදුන් අනූපමේය දායකත්වය වෙනුවෙන් මේ මොහොතේ අප සියලුදෙනාගේ ගෞරවාන්විත හෘදයාංගම ළෙන්ගතු උත්තමාචාරය හිමිවිය යුතුය. එමෙන්ම අප අතර සිටින සහ අප අතරින් වියෝ වූ තරුණී වෙනුවෙන් අකුරුවලට හුස්ම දුන් සියලු මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන්ට, සියලු කාර්ය මණ්ඩල සේවකයන්ට මේ මොහොතේ අපගේ ගෞරවය පුද කළ යුතුමය.

 

නෞකාවක් නියමිත ගමනාන්තය වෙත ගමන් කිරීම සඳහා කපිතාන්වරයාගේ මඟ පෙන්වීම මෙන්ම සියලු කාර්ය මණ්ඩලයේ දායකත්වය එක ලෙස ලැබිය යුතුමය. මෙම ගමන් මඟේදී නෞකාව විවිධ සන්ධිස්ථානයන්හි නැංගුරම්ලා තබනුයේ ඉදිරි මඟ සාර්ථක කරගැනීම වෙනුවෙනි.

 

කොවිඩ් වසංගතය සියලු ක්ෂේත්‍රයන් කෙරෙහි බලපෑ ආකාරය අප අමුතුවෙන් කතා කළ යුතු නොවේ. එම කාලයේදී විවිධ හැලහැප්පීම් මැද ඉදිරියට ගිය තරුණී මුද්‍රණයෙන් තාවකාලිකව සමුගත්තද ක්‍රමානුකූලව එය මේ වනවිට යථා තත්ත්වයට පත්ව ඇත. ලෝක වෙළෙඳපොළෙහි කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් පුවත්පත පවත්වාගෙන යාම සඳහා දැඩි අරගලයකට මුහුණදීමට සියලු පුවත්පත්වලට සිදු විය. එම නිසාම මිල ඉහළ ගිය තරුණී, අද වනවිට එදා පැවැති සුපුරුදු මිලටම ඔබ වෙත ලබාදීමට ලැබීම අප සියලුදෙනා ලැබූ අමිල ජයග්‍රහණයකි. ඒ සුබ ආංරචිය පුවත්පතෙහි සංවත්සරය වෙනුවෙන් ලබාදෙන ළෙන්ගතු තිළිණයයි.

 

දැන් අප කතාබහ කරනුයේ එදා මෙදාතුර අපට ලැබුණු සුවිශේෂීම තිළිණය පිළිබඳවය. ඒ වෙන කිසිවකු නොව මේ කියවන පාඨක ඔබය. ඔබ අප පිළිනොගන්නට, අපට ජවය ලබා නොදෙන්නට මේ කිසිවක් කතාබහ කිරීමට අපට අවස්ථාව නොලැබෙනු ඇත. නෞකාවක් ගමන් කිරීමට සිඳු රළ පෙළ අත්‍යවශ්‍ය වන්නා සේම පුවත්පතක පැවැත්ම තීරණය කරනු ලබන්නේ ෙළන්ගතු පාඨක ප්‍රජාව විසින් ය. එබැවින් අප සතු වටිනාම වස්තුව ඔබය.අපගේ අකුරුවලට, අපගේ නිර්මාණයන්ට ඔක්සිජන් ලබාදෙන හෘදයාංගම පාඨක ප්‍රජාවය.

මේ සියල්ල එක්වූ කළ නිර්මාණයවන පොදු ප්‍රජාව මෙම සටහන ඇරඹුමේදීම අප ලෙස අපි හැඳින්වූයේ ඒ නිසාමයි.

 

තරුණී අප අතට, අතරට එක්වන්නේ පොදු ක්‍රියාවලියක අවසන් ප්‍රමිතිගත ප්‍රතිඵලය ලෙසටය.

 

ඒ වෙනුවෙන් නිබඳ මඟ කියන වත්මන් සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය සහ ලේක් හවුස් ආයතනයේ සමස්ත සේවක මණ්ඩලයට මේ මොහොතේ ගෞරවාන්විත ස්තූතිය පුද කළ යුතුය.

 

ඔබත් අපත් අතර ළබැඳි මනහර පාලම සකසනු ලබන්නේ අලෙවි නියෝජිතයන් සහ පුවත්පත් අලෙවිකරණ මහතුන් විසිනි. ඔවුන් නොවන්නට ඔබ සහ අප අතර පාලම බිඳෙනු ඇත. ඒ සියලුදෙනාට ද අපගේ ස්තූතිය පුද කළ යුතුය.

පනස් පස් වසක අභිමානවත් සැමරුම මොහොතේ අප ඔබ වෙනුවෙන් නොබිඳෙන විශ්වසනීය මෙන්ම ළෙන්ගතු පොරොන්දුවක් ලබාදිය යුතුමය. ඒ එදා මෙන්ම හෙටටද යාවත්කාලීන පුවත්පතක් ලබාදීම වෙනුවෙන් අප නිබඳවම කැපවන බවය. ඔබ අප කෙරෙහි තැබූ අමිල විශ්වාසය අප ප්‍රමිතිගතවම රකිනු බවය.

 

අපි එක්ව මේ සුදීප්තිමත් මඟ තවත් වර්ණවත් කරමු. අපට දිරිය දෙන ඔබ සැමට ජයවේවා !!!

 

 

අපි..

 

චතුර ගීතනාත් බණ්ඩාර,

චම්පා වරුසප්පෙරුම,

මධුර ප්‍රභාත් ගමගේ,

ආශිර්වාදනී හෙට්ටිආරච්චි,

දුමින්ද කාරියවසම්,

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර,

විදුමිණි දිසාකරුණා,

අංජන හිරුෂාන්