ආදරය අත නොහැරි පේරාදෙණියේ අහිංසාගේ කතාව

මගේ ජීවිතේ තියෙනකම් මම එයාව බලාගන්නවා
ජූලි 8, 2024

“එදා හරිම අවාසනාවන්ත සෙනසුරාදා දවසක්. අහස පුරාම තිබුණේ වැහිබර ලකුණු. හීනියට වැහිපොද වැටුණත් ගමන පමා කරන්න හිතුනේ නැහැ. ඔෆිස් එකේ ෆන්ෂන් එකක් තිබුණ නිසා හොඳටම රෑ බෝ වෙලා තිබුණේ. ඉතින් එයා වෙනදා විදිහටම බයිසිකලයට නැග්ගා.

අපි දෙන්නා හිමි හිමීට වැහි පොදත් අරගෙනම ගෙදර යන්න පිටත් වුණා. නුවර මැණික්හින්න පහුකරලා වංගුව ගත්තා විතරයි වෙච්ච දේ මට තවම හිතාගන්න බැහැ. ලිස්සලා ගිහින් බයිසිකලය වැදුනේ තාප්පෙක. මහ සද්දෙත් එක්කම අපිව අඩි 25ක් විතර හෙලකට වැටුණා. මට හොඳටම තුවාලයි. හැමතැනින්ම ලේ එනවා. මං ඒ කිසි දෙයක් බලන්නේ නැතුව දිව්වේ එයා ළඟට. වැටිලා හිටපු එයාගේ ඇඟේ පේන්න තරම් තුවාලයක් නැතත් එයාගෙන් කිසිම සද්දයක් නැහැ. එයාගේ සිහිය නැති වෙලා තිබුණේ. මම එයාව මගේ අත්දෙකෙන් උස්සගෙන උඩට අරගෙන ආවා. හැබැයි ඒ වෙලාවේ කිසිම මනුස්සයෙක් පේන්න හිටියේ නැහැ. එයාව එතැන තියලා උදව් ඉල්ලන්න මට යන්න විදිහකුත් නැහැ. මොකද කරන්නේ කියලා ඒ වෙලාවේ මටත් හිතාගන්න බැරුවයි හිටියේ. කොහොම හරි අන්තීමේදී ත්‍රීවීල් එකක් කතාකරගෙන එයාව දාගෙන නුවර හොස්පිට්ල් එකට ආවා.“

මේ කතාව පටන් ගන්නේ අන්න එහෙම.

සතුටුදායක ජීවිතයක, ප්‍රේමණීයව ඔවුන් දෙදෙනා ගෙවූ ජීවිතය දුක්බර කරන්නට තරම් අවාසනාවන්ත වූ ඒ අනතුර එසේ සිදුවිය. දැන් වසර තුනකටත් වඩා ගෙවී ගිහින්. නමුත් ඔවුන්ගේ ආදරය, ඔවුන්ගේ බැඳීම නිමා කරන්නට ඒ අනතුර සමත් නොවූ බව අද මේ කතාව ඔබට සාක්ෂි දරාවි.

ඇය අහිංසා සෙව්වන්දි. ඔහු රුවන් රත්නායක. පේරාදෙණිය සුදහම්පොළ පදිංචි මේ යුවළටත් නුවර අහස යට හරි අපූරු ආදර කතාවක් තිබුණා. නුවර කියන්නේම ප්‍රේමනිය නගරයක්. මොකද ඒ තරමටම නුවරත් එක්ක ගොඩක් අයට තිබුණේ හරි අපූරු බැඳීම්. මේ බැඳීමත් අන්න ඒ වගේ එකක්. මොකද මේ දෙදෙනාගේ ආදරය ජයගැනීම හිතපූ තරම් ලෙහෙසි වුණේ නැහැ. මව්පියන් විරුද්ධ වෙද්දි දැඩි අධිෂ් ඨානයකින් අත් අතනොහැර ආදරය රැක ගත්තේ ඒ නිසාවෙනි. අවසන ඒ හැම ආශීර්වාදයක්ම ඔවුන්ට ලැබුණේ ඔවුන්ගේ ආදරය ඒ තරමටම ශක්තිමත් එකක් වූ නිසාවෙනි.

 

අහිංසාගෙයි, මගෙයි සම්බන්ධය පටන් ගන්නකොට එයාට අවුරුදු 18යි. මට අවුරුදු 26යි. එයා අපේ අල්ලපු ගමේ වුණාට අපි මුලින්ම හඳුනගත්තේ මුහුණු පොතෙන්. මම ඒ කාලේ සංගීතකාරයෙක්. ඒ කියන්නේ මට රැප් සිංදු කියලා පොඩි ප්‍රසිද්ධියක් තිබුණා. හැබැයි එයා වැඩිය කැමති වුණේ නැහැ මං සංගීතය කරනවට. මොකද මට සංගීත වැඩවලට පිට ප්‍රදේශවලට යන්න වුණොත් එයාට තනියම ගෙදර ඉන්න වෙයි කියලා. ඉතින් ඒ නිසාම මම සංගීතය අතහැරියා. ඊට පස්සේ තමයි කුරියර් සර්විස් ආයතනයකට සම්බන්ධ වෙලා වැඩ කරන්න ගත්තේ. සංගීතය අතහැරියා කියලා මම ඒකට කවදාවත් දුක් වුණේ නැහැ. මොකද මට ඕ‍ෙන වුණේ එයාගේ සතුට විතරයි. ආදරය වෙනුවෙන් තමන් කැමැතිම දේවල් අතහරින්න පුළුවන් කියලා කතාවට කිව්වට රුවන් එය ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තිබුණා. ඉතින් මේතරම් ආදරෙන් ඉන්න යුවළකට මෙහෙම දෙයක් වුණාම කොහොම දරාගන්නට ඇති ද?

 

රුවන් එයාගේ කතාව කියන්න පටන් ගත්තේ මේ විදිහට. අපි හරි ආදරෙන් සතුටින් හිටියා. බැන්දට පස්සේ අපි කළේ රට වටේම ඇවිදින එක. එයාට මං නැතුව තනියම ගෙදර ඉන්න බැහැ කිව්වා. ඉතින් ඒ නිසාම එයාටත් මං වැඩ කරන තැනම රස්සාවක් අරන් දුන්නා. දෙන්නටම මාසේ අන්තිමට ගාණක් හම්බෙන නිසා වියදම් ගැන ගැටලුවක් තිබුණෙම නැහැ. අනේ ඉතින් අපි පින් අතේ වැඩ පවා කළා. ඒතරම් හොඳට ජීවත් වුණ දෙන්නෙක් අපි. එදා වෙච්ච ඒ සිද්ධිය අපේ ජීවිත ගොඩක් වෙනස් කළා. 2021.02.25 ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නැහැ. මට තාමත් හිතාගන්න බැහැ ඒ වෙච්ච දේ. එයාව ත්‍රීවීල් එකේ දාගෙන හොස්පිටල් එකට ගිය හැටි අද ඊයේ වගේ මතකයි. ඩොක්ටර්ස්ලා කිව්වේ තව විනාඩි 5ක් පරක්කු වුණා නම් එයා මැරෙන්න තිබුණා කියලා. එයාව මේ විදිහට හරි බේරලා දුන්න එකත් මට මහමෙරක්.

 

එයාගේ ස්නායුවලට හානි වෙලා තිබුණා. ඒ නිසා එයා ලොකු නින්දකට ගිහින් තිබුණේ. ඒ නින්දෙන් එයාට නැඟිටින්න.. ඒ කියන්නේ ඇස් දෙක ඇරලා හිමීට බලන්න මාස 4යි දවස් 10ක් ගියා. ඒ වෙනකම් එයා හිටියේ දැඩි සත්කාර ඒකකයේ. ඒ කාලේ පුරාම මම කළේ එයා වෙනුවෙන් ලංකාව වටේම ගිහින් බෝධි පූජා තියපු එක. එයා ශරීරයෙන් පොඩි කෙනෙක්. ඇත්තටම එයා පොඩි ළමයෙක් වගේ. එයා හරි ලස්සනට හිටපු කෙනෙක්. එයාට නහයෙන් හුස්ම ගන්න බැරි වුණා. ඒ නිසා උගුරෙන් හුස්ම ගන්න බටේකුයි, මුත්‍රා බටේකුයි දැම්මා. එයාලා කිව්වේ මෙයාව ගෙදර ගෙනියන්න කියලා. එයා එතකොට නිකම් යන්තමට ඇස් අරිනවා විතරයි. හරියටම කිව්වොත් හුස්ම වැටෙන මළ කඳක් වගෙයි. එයාලා කිව්වේ අහිංසා මුළු ජීවිත කාලෙම මේ විදිහටම ඉඳියි කියලා. අනේ එදා මගේ පපුවට පිහියෙන් ඇන්නා වගේ දැනුණා. ඒත් මං එයාව ගෙදර අරගෙන ආවේ එයාව කොහොම හරි හොඳ කරගන්නවා කියලා හිතාගෙනමයි. මට එයා නැතුව ගෙවෙන දවසක් ගැන හිතන්නවත් බැහැ.

 

එදා ඉඳන් මම එයාව බලාගන්නේ පොඩි දරුවෙක් වගේ. එයා ටික ටික සුව වෙමින් ඉන්නේ. මුලින් උගුරට දාලා තිබුණ බටෙන් දියර දේවල් විතරයි එයාට දුන්නේ. දැන් කෑම බ්ලෙන්ඩර් කරලා කවනවා. ඇස් අරලා මගේ දිහා බලනවා. එයාට තේරෙනවා මම එයාගේ ළඟම කෙනෙක් කියලා. එයා මගේ දිහා බලන විදිහෙන් මට ඒක තේරෙනවා. ඒත් මම හරියටම කවුද කියන එක ගැන එයාට හරි අවබෝධයක් නැතුව ඇති. කවදාවත් හොඳ කරන්න බැහැ කියලා කිව්වට දැන් එයාට ටික ටික හොඳ වෙනවා. ඒ සතුටම ඇති මට ජීවත් වෙන්න.

අහිංසාට ටික ටික සුවය ලැබුවත් අනෙක් පැත්තෙන් මේ යුවළ ගෙවන්නේ ආර්ථිකමය අපහසුතා සහිත දුෂ්කර කාලපරිච්ජේදයක්. අහිංසාව සුවකර ගන්න ගමන් ආර්ථිකය ශක්තිමත්කර ගන්න රුවන් නොවිඳිනා දුකක් නැහැ.

 

මම ඩිලිවර් ආයතනයක කළමනාකරුවෙක් විදිහට හිටපු කෙනෙක්. ඒත් මේ අනතුරත් එක්ක අපි ආර්ථික පැත්තෙන් කඩා වැටුණා. මගේ ජොබ් එක නැති වුණා. දැන් එයාව බලාගන්න නිසා රස්සාවක් කරගන්නත් බැහැ. ඒ නිසා හරි අමාරුවෙන් ජීවිතේ ගැටගහන්නවා. එයාගේ බෙහෙත්වලට, කෑමබීමවලට ලොකු වියදමක් යනවා. පැම්පස්වලටත් ලොකු ගාණක් යනවා. ඒ මොන ප්‍රශ්නේ ආවත් මම එයාව හොඳ කරගන්නවා. මම දන්නවා දවසක එයා ඉස්සර වගේම මගේ අතින් අල්ලගෙන ඇවිදියි කියලා. ඒක මට විශ්වාසයි.

 

සති දෙකෙන් දෙකට එයාව ක්ලිනික් එක්කන් යන්න ඕනේ. එයා සාමාන්‍ය රෝගියෙක් නොවෙන නිසා ප්‍රයිවට් ඇම්බියුලන්ස් එකක තමයි එක්කගෙන යන්නේ. ඒකටත් ලොකු ගාණක් යනවා. එයාට බෙහෙත් කරන්න ඕනේ නිසා ගෙදර වික්කා.. වාහන, රත්තරං බඩු ඒ හැමදේම වික්කා. මුළු රෑම මම ඇහැරගෙන ඉන්නේ. වෛද්‍යවරු කියලා තියෙන්නේ රෑට ටිකක් අවධානෙන් ඉන්න කියලා. ඒ නිසා රෑට නිදිමරන නිසා හරි රස්සාවකට යන්නත් අමාරුයි. අහිංසගෙ අම්මාත් එයාව බලාගන්න උදව් කරනවා. ඒත් එයාට තනියම කරගන්න බැහැ. මම ඉන්නම ඕනේ. මම දන්නේ නැහැ මේ විදිහට තව කොච්චර කාලයක් ඉන්න වෙයිද කියලා. හැබැයි මගේ ජීවිතේ තියෙනකම් මම එයාව බලාගන්නවා.

 

කවුරු හරි මට අහිංසාව සුවකර ගන්න උදව් කරනවා නම් ඒක මට මේ වෙලාවේ ලොකු දෙයක්. එයාව පිටරටකට අරන් ගිහින් හරි සුවකරන්න ආර්ථික පැත්තෙන් කාට හරි මට උදව් කරන්න පුළුවන් නම් ඒ මට ඇති. මට දැන් මේ ජීවිතයේ වෙන බලාපොරොත්තු නැහැ. මේ ඔවුනට ඔබේ පිහිට අවැසිම මොහොතකි. ඔහුගේ අහිංසාව සුවකර ගන්නට ඔහු දරන උත්සාහයට ඔබටත් පුංචිම හෝ සවියක් වන්නට හැකිය. ආදරණීය මිනිස්සු,

වචනෙකින්. හරි තව කෙනෙකුට උදව් කරන මිනිස්සු,තව කෙනෙකුගෙ සතුට ප්‍රාර්ථනා කරන මිනිස්සු මේ ලෝකෙට ඉබේ පහළ වෙන්නෙ වෙන්නෙ නෑ. හොඳ සිතුවිලිවලින් පෝෂණයවන යෝධ හෙවණැලි වගේ මිනිසුන් තවමත් මේ මිහිපිට සිටිනවා. එවන් මෘදු හදවත් සහිත මිනිසුන්ටයි මේ ආයාචනය!