ලෝකයේ ළාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතරට ගිය අපේ ZARA

ජූලි 15, 2024

 

ලෝකයේ ඉහළින්ම නම බැබ‍ෙළන ක්‍රීඩික ක්‍රීඩිකාවන් බිහි වූයේ සතර දෙසිනි. ක්‍රිකට් ක්‍රීඩාව කියන්නෙත් ඒ විදිහට දක්ෂතාවන් සහිත පිරිස් බිහිකරන ලෝකයම කතා කරන ක්‍රීඩාවකි. ක්‍රිකට් අවිනිශ්චිත ක්‍රීඩාවකි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාව කෙතරම් අවිනිශ්චිත වුවත් දක්ෂතාවය තුළින් ජයග්‍රහණය හඹා යෑමේ හැකියාව තිබේ. මේ කියන්න යන්නෙත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් හැකියාව පෙන්වන්න පුංචි මිණි කැටයක් ගැන. පොඩි වයසෙන් වැඩ පෙන්වන ඇයට තවම වයස අවුරුදු නමයයි. වැල්ලම්පිටිය පදිංචි ඇය ෆාතිමා සාරා ෆිර්සාන්. ඇය තුන්ඉරියව් ක්‍රීඩිකාවක් විදිහට යන මේ ගමන සාර්ථකය. පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම යන තුන් ඉරියව්වෙන්ම එකිනෙකට නොදෙවෙනි දක්ෂතා පෙන්වන්නීය.

 

අඩු වයසකින් වැඩ පෙන්වන සාරා වයසට වඩා දක්ෂතාවයෙන් ඉදිරියට ගිය දූ සිඟිත්තියක් වග තේරුම් යන්නේ ඇයට වයස අවුරුදු 9ක් වෙද්දී 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කිරීමට අවස්ථාව ලැබීමයි. CCC ක්‍රිකට් ක්ලබ් එකෙහි 19න් පහළ කාණ්ඩයෙන් සෙල්ලම් කරන ඇයට කවුරුත් ආදරෙයි. ඒ ඇගේ හුරුබුහුටි බවත් වයසෙන් අඩුම දක්ෂතම ක්‍රීඩිකාවක් වීමත් නිසයි. කොළඹ යශෝදරා බාලිකාවේ 4 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ඇය ක්‍රීඩාව වගේම පාඩම් වැඩ කටයුතුවලින්ද ඉදිරියෙන්ම සිටිනා දක්ෂ දියණියකි.

 

මෙවන් දියණියක් සිටින මවකට පියකුට කෙතරම් ආඩම්බරයක්ද? ඕනෑම මවක පියෙකුගේම තම දරුවන්ගේ ජයග්‍රහණයක සතුට දැක දෑස්වලින් උතුරා පිටාර ගලන්නේ ඔවුන්ගේ හද පත්ලෙන් නැ‍ෙඟන දාරක සෙනෙහසයි. අද අප මේ කතා කරන්නට යන ඒ දියණිය, අම්මාගේ සහ තාත්තාගේ පමණක් නොව මුළු රටේම ගෞරවාදරය දිනාගන්නට සමත් වූවාය. ඇගේ මේ ගමනට හිරු සඳු වූයේ ආදරණීය මා පිය දෙපලයි. ඇයව මේ තැන තිබූ ඒ මාපිය යුවළගේ නෙතේ රැඳුනේ ආදරණීය සතුටු කඳුළුය. ඒ සතුටු කඳුළු පිරුණු දෑසින් ඔවුන් බලාගෙන ඉන්නේ තරුණීට මේ කතාව කියන්නයි. ඇයගේ පියා වෘත්තියෙන් විදුලි කාර්මිකයෙකි. ඔහු මොහොමඩ් ෆිර්සාන්. ඔහුගේ දයාබර බිරිය ඩෙනීෂා සඳමාලිට සහ ඔහුට සිටින එකම දියණිය ෆාතිමා සාරා බව මව පවසන්නේ හරිම ආඩම්බරයෙන්.

දියණියකට පියෙක් කියන්නේ මහමෙරක්. පියෙක්ට දියණියක් කියන්නේ වටිනා මැණිකක්. ඉතින් දියණියක් සහ පියෙක් අතර ඇති බැඳීම හරි පුදුමාකාරයි. මේ ආදරණීය දියණිය ගැන ඔහු හඬ අවදි කළේ මේ විදිහට.

 

මගේ දුව පොඩි කාලේ ඉඳලම හරි දක්ෂයි. ඒක මම තේරුම් ගත්තේ එයා බොහොම පුංචි කාලේ ඉඳලා. තාත්තෙක් විදිහට මට දුව ගැන ලොකු සතුටක් දැනෙනවා. දුවෙක් කියන්නේ තාත්තෙක්ට තියෙන ලොකුම වස්තුවක්. මගෙ අනිත් දරුවෝ දෙන්නත් එහෙම තමයි. අපි දෙන්නටම ඕනේ වුණේ දරුවෝ ටික ඉස්සරහට අරන් යන්න. මේ ළමයි පොඩි කාලේදී අපි ‍කළේ එයාලගේ දක්ෂතා හොයපු එක. එක එක්කෙනාගේ දක්ෂතා විවිධාකාරයි. ලොකු පුතා අබ්දුල් උමර් සහන් නෙත්මිණ. එයා ලේඛකයෙක්. පොත් කීපයක්ම ලියලා ති‍ෙයනවා. දෙවැනි පුතා මොහොමඩ් රෙහාන්. එයාත් CCC එකේ ක්‍රිකට් ගහනවා. ඉතින් එක එක්කෙනා එක එක පැතිවලින් යන්නේ. දුව ඉපදෙනකොටම මැද ඇඟිල්ල තිබුණේ නැහැනේ. ඉතින් මට ඒ දවස්වල හිතුණේ ඒ විදිහේ අඩුවක් වුණාට දෙවියෝ මේක තෑග්ගක් විදිහට දීපූ දෙයක් කියලයි. මොකද අවුරුදු දෙක තුනක් විතර ක්ලිනික් ගිහිල්ලත් ඇඟිල්ලක් බද්ධ කරන්න බැරි වුණා. ඔපරේෂන් එක දවසෙත් දුවට සෙම කියලා ඒක නැවතුණා. මේ හැම දේම වෙන්නේ මොකක් හරි හේතුවක් නිසා කියලයි මට හිතෙන්නේ. හැබැයි බිරිය හරි දුකෙන් හිටියේ. සාධාරණයි ඉතින්. දුවෙක් ගැන අම්මලාට ලොකු ලොකු හීන තියෙනවනේ.

මමත් හොඳට ක්‍රිකට් ගහපු කෙනෙක්. මමත් leg spiner කෙනෙක්. ආර්ථික ප්‍රශ්නත් එක්ක මගේ ක්‍රිකට් ගමන නැවතුණා. ක්‍රිකට් ගැන මට තිබුණ දැනුමත් එක්ක දුව බෝල දාන විදිහෙන්ම මට තේරුණා දුවගේ බෝල දැමිල්ලේ විශේෂත්වයක් තියෙනවා කියලා. එයා විකට් එක හිතලා කපනවා නෙවෙයි. එයා නිකම් දාන බෝලෙටත් විකට් එක නිකම් කැපෙනවා. එයා හිතලම බෝල් කළොත් ඊට වඩා හොඳට කරයිනේ කියලා මට හිතුණා. පොඩි පුතයි දුවයි හරි යාළුයි. පොඩි පුතාට මොනවා හරි අරන් දෙද්දී මෙයාටත් ඕනේ. පොඩි පුතාට බැට් එකක්, ක්‍රිකට් කිට් එකක් එහෙම අරන් දෙද්දී මෙයාටත් ඕනේ. පොඩි පුතයි මෙයයි සෙල්ලම් කරද්දි පොඩි පුතාට වඩා හොඳට මෙයා අත කරකවලා දානවා.

නෙල්සන් සර්ට විශේෂ ස්තූතියක් කරන්න ඕනේ. සර් මෙයාගෙන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. මෙයාගේ පොඩි අයියත් සෙල්ලම් කරනවනේ. ඉතින් සාරාට ශිෂ්‍යත්වයක් තමයි දීලා තියෙන්නේ. එතැන ඉන්න හැම පුහුණුකරුවෙක්ම සාරාට ගොඩක් ආදරෙයි. එතැනට එන මව්පියනුත් සාරාට ලොකු සහයෝගයක් දෙනවා. දවසක් CCC එකේ මැච් එකක් ගහද්දි එක අම්මා කෙනෙක්ගේ පුතෙකුයි අපේ දුවයි ප්‍රතිවාදිව සෙල්ලම් කරනවා. එවේලේ සාරා අවුට් වුණාම ඒ අම්මට අපේ දුව ගැන තමයි දුක හිතුණේ. අනේ සාරා අවුට් වුණානේ කියලා දුක් වුණා. ඒ අම්ම කිව්වා මගේ පුතා සෙල්ලම් කළාට මම සාරාට තමයි සපෝට් කියලා.

මම කියන්නේ ක්‍රිකට් හෝ වෙන ක්‍රීඩාවක් කළත් විනය තමයි මුලින්ම හැදෙන්න ඕනේ. මට ඕනේ මගෙ ළමයි තුන්දෙනා හොඳ පුරවැසියෝ වෙනවා දකින්න. ක්‍රීඩා කටයුතුවලට සාරාට ලොකු වියදමක් යනවා. මේ වෙලාවේ එයාට කවුරුහරි උදව් කරනවානම් ඒක ලොකු දෙයක්.

දියණියකගේ ජයග්‍රහණයක් පිටුපස ඉන්න පියකුට සේම මවකට ද තම දියණිය ගැන කියන්න බොහෝ දේ තිබිය හැකිය. මේ ඒ ආදරය වචන වූ හැටියි.

 

ඇත්තටම ගොඩක් සතුටුයි. මගේ මහත්තයා තමයි මෙයාව මේ තැනට ගේන්න ගොඩක් මහන්සි වුණේ. පොඩි කාලේදිම එයා දුවගේ දක්ෂතාවය හඳුනාගත්තා. මම ක්‍රිකට් ගැන ලොකුවට දන්නේ නැහැ. අධ්‍යාපනයෙන් ඉස්සරහට යන්නයි දුවට උදව් කළේ. සැමියා එයාට ක්‍රිකට් පැත්තෙන් උනන්දු කළා. දැන් දුව ඒ දෙඅංශයෙන්ම ඉදිරියට යනවා. ඉතින් දුව ගැන මට ලොකු ආඩම්බරයක් දැනෙනවා.

සීසර් සැත්කමකින් තමයි මම එයාව බිහිකළේ. එවේලේ වෛද්‍යවරු කිව්වා බබාගේ එක ඇඟිල්ලක් අඩුයි කියලා. මට දරාගන්න බැරි තරමේ වේදනාවක් ආවා. හැබැයි සැමියා නම් ඒක ලොකුවට ගණන් ගත්තේ නැහැ. වෛද්‍යවරු පවා කිව්වේ මේක බොහොම පුංචි දෙයක්. මීට වඩා ලොකු ආබාධ සහිත දරුවන් බිහි වෙන අවස්ථා ඕනෙ තරම් තියෙනවා. ඒ නිසා ඒක ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා කියලා. ඩොක්ටර්ස්ලා කිව්වා ඒක හදලා දෙන්නම් කියලා. රිජ්වේ රෝහලට කිහිප සැරයක් ගියා. ඔපරේෂන් එකට ගන්න දවසේ ඒත් කොහොම හරි ඒක මඟහැරුණා. කොහොම හරි ඒක වුණේ හොඳකට වෙන්න ඇති කියලා මම හිතනවා.

එයා තව ජිම්නාස්ටික් කරනවා. ඉතින් අමතර දේවල් කරනවා කියලා එයාගේ අධ්‍යාපන කටයුතු මඟ හැර ගන්නේ නැහැ. වාර විභාගවල ලකුණුත් හොඳට තියෙනවා.

දුවට ලස්සනට සිංදු කියන්නත් පුළුවන්. කරාතේ, ටේබල් ටෙනිස් කරලා තියෙනවා. මෙයාව අපි CCC ක්ලබ් එකට යැව්වේ අවුරුදු 5දී. එ්ත් මෙයා ගොඩක් පොඩි නිසා මෙයාව බාර ගන්න බැහැ කිව්වා. මොකද ලෙදර් බෝලයක් වැදුණොත් ජීවිතේ නැති වෙන්න වුණත් පුළුවන් කිව්වා. ඊට පස්සේ අවුරුදු 6 වෙනකම් ඉඳලා තමයි යැව්වේ.

මේ විදිහට මවත්, පියත් තම දියණියගේ දස්කම් ගැන කියද්දී ඇගේ පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස් මහතා සාරා ගැන කියන්න පටන් ගත්තේ මෙහෙම. CCC කලබ් එකේ සෙල්ලම් කරන ළමයි අතරෙන් සාරා කියන්නේ හරිම දක්ෂ දරුවෙක්. එයාට හොඳ හැකියාවක් පිහිටලා තියෙනවා. තුන් ඉරියව් ක්‍රීඩිකාවක් විදිහට එයා ලොකු ගමනක් යයි. ම‍ෙගන් පුහුණු වන දරුවන්ගෙන් සාරා කියන්නේ ඉතාම හොඳ විනය ගරුක දක්ෂ දරුවෙක්.

 

තමන්ගේ ගෝලයෝ හරි පාරේ යද්දි මොන ගුරුවරයාටද සතුටු නැත්තේ. ඉතින් ඒ විදිහට ඔහු සාරාගේ අනාගතය ගැන අනාවැකි කියද්දී රටක් විදිහට කාටද ආඩම්බර නැත්තේ.

 

මේ හැමෝම සාරා ගැන කතා කරද්දී මේ කතාවේ කතා නායිකාව සාරාත් එක්ක වචනයක් කතා කරන්නම ඕනේ...

මං ආසම දේ ක්‍රිකට් ගහන එක. ගෙදර ඉද්දිත් කරන්නේ තාත්තයි, පොඩි අයියයි එක්ක ක්‍රිකට් ගහන එක. පොඩි අයියත් ක්‍රිකට් ගහනවනේ ඉතින් මටත් ආස හිතුණා. එතකොට පොඩි අයියා CCC ක්ලබ් එකට සෙල්ලම් කරන ගමන් හිටියේ. තාත්තටත් ආසාවක් තිබුණා මම ක්‍රිකට් ගහනවට. ඊට පස්සේ තමයි CCC ක්ලබ් එකට මාත් බැඳුණේ. ඒත් ඊට වඩා ලොකු හේතුවක් තියෙනවා. මම කැමතියි අද ඒක කියන්න. මගේ ඇඟිල්ලක් නැති එක ගැන දවසක මගේ තාත්තට කවුරු හරි ලැජ්ජා කළොත් ඒ ලජ්ජාවෙන් තාත්තව ගලවගන්න නම් මං මොකක් හරි කරන්න ඕනෙ කියලා හිතුණා. මං ඒකට තෝරගත්තේ ක්‍රිකට් ක්‍රීඩාව. මගේ දක්ෂතා නිසා දැන් අම්මයි, තාත්තයි ගොඩක් ආඩම්බරෙන් ඉන්නේ.

අවුරුදු 9ක් වයසැති දූ සිඟිත්තියගේ මුවින් පිටවන මේ සංවේදී වදන්වලින් ඇගේ මවගේත්, පියාගේත් නෙත් කඳුලින් පිරීම අරුමයක් නම් නොවේ. ඇගේ කතාව ඒ තරමටම සංවේදීය.

මට leg spin කෙනෙක් විදිහට හොඳ ගමනක් තියෙනවා කියලා ගොඩක් අය කියනවා. මට හිතෙන්නේ මගේ ඇඟිල්ලක් අඩු නිසා බෝලේ හොඳින් කරකවලා දාන්න ඒකෙන් හැකියාවක් ලැබෙනවා කියලයි.

ඉතින් මේ ගමන එන්න මට උදව් කළ නෙල්සන් සර්ව මං මතක් කරන්න ඕනේ. එතකොට පාසලේ විදුහල්පතිනි නිලූකා කුමාරි මැඩම්, පුහුණුකරු සහන් සර්, සම්පත් සර් ඇතුළු පාසලේ සියලුම පුහුණුකරුවන් සහ ගුරු මණ්ඩලය එයාලා මට ගොඩක් උදව් කළා. මට ඕනේ දවසක මේ ලෝකයම කතා බහ කරන දක්ෂ ක්‍රීඩාකාවක් වෙන ගමන් නීතිඥවරියක් වීමයි.

සියලු දේ හොඳම ආකාරයට විසඳීම රටක ජයග්‍රහණයේ අරුණලු කැඳවීමකි. ඒ අරුණැල්ල ඉදිරියේදී රටක් එළිය කරනු ඇත. ඉතින් සාරා ඔබ යන ඒ ගමනට තරුණී අපෙන් සුබ පැතුම්!

 

 

ඡායාරූප - ශාන් රූපස්සර