රෑට උයන හොද්දත් fb දාන්න එපා

ජූලි 22, 2024

 

වඳුරාට දැලිපිහිය අහුවුණා වාගේ” යනුවෙන් කියමනක් අපි අසා ඇත්තෙමු. දැලිපිහිය දෙපැත්තට වනන විට කැපෙන බව නොදැන වඳුරා එය හැරෙන හැරෙන පැත්තට වනයි. එයින් සිදුවෙන විනාශය පිළිබඳ ඒ සත්ත්වයාට දැනුමක් නැත. එහෙත් මනසින් උසස් අප අද වඳුරාටත් අන්ත අයුරින් දැලිපිහියකට වඩා මුවහත් වූ “අන්තර්ජාලය” භාවිත කරන අයුරු වර්තමානය තුළ පෙනෙන්නට ඇත.

ගෝලීයකරණයේ අත්වාරුව වූ අන්තර්ජාලය තුළ හැසිරෙමින් කවුරුන් හෝ බිලි බා ගැනීමට කුරුමානම් අල්ලන ‘අන්තර්ජාල අතරමංවූවෝ’ සම්බන්ධයෙන් මේ ෙවන විට දැඩි කතාබහක් ඇති වී තිබෙන්නේ දිනෙන් දිනම වර්ධනය ෙවන අන්තර්ජාල අපරාධ හේතුවෙනි. ආදරයෙන් අන්ධවීම, ආදරයෙන් පරාද වීම නොඑසේනම් පළිගැනීම ආදි සිතුවිලි සමඟ මෙන්ම වංචා කිරීම් ආදිය සඳහා මහඟු තෝතැන්නක් ලෙසින් වර්තමානය වනවිට මේ අන්තර්ජාලය භාවිත වෙමින් පවතී. සැබැවින්ම අන්තර්ජාලය යනු සාම්ප්‍රදායික ක්‍රම අභිබවා යන සූක්ෂ්ම මාධ්‍යයකි. 

වර්තමානය වනවිට අන්තර්ජාලය තුළ සමාජ මාධ්‍යෙය් ප්‍රධානම අංගය ලෙසින් එෆ් බී එනම් මුහුණු පොත හැඳින්විය හැකිය. දන්නා නොදන්නා සියල්ලන්ම සිය මුහුණු පොතේ මිතුරන් බවට පත්කර ගන්නා උදවිය අවසානයේ දැවෙමින් තැවෙමින් අතපසුවීම පිළිබඳව විස්සෝප වෙයි. දවල්ට උයන හොද්ද පවා මුහුණු පොතට නිදහස් කරන ඇතැම් අය ඒ සඳහා ‘ලයික්’ ලැබෙන තුරු දැස් දල්වාගෙන සිටින්නේ නිවාඩු දවසක් නම් මුළු දවසම පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ මුහුණ ඔබාගෙනය. ඒ තරමටම මේ මෙවලම අවභාවිත වී ඇත. හොඳට නරකට දෙකට කටමය කියා එදවස පිරුළු සිහියට නැගුණද අද වනවිට හොඳට නරකට දෙකට ‘චැට්’මය කියා වෙනස් කළ හැකිය. 

මෑත කාලයේ නිතර අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි තමන්ගේ නිරුවත් ඡායාරූප එහෙමත් නැත්නම් අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට දානවා කියලා තර්ජනය කිරීම්, බය කිරීම් සහ මුදල් ඉල්ලා කරන බ්ලැක් මේල් කිරීම්. මේවාට වැඩි වශයෙන් ගොදුරු වන්නේ කාන්තා පාර්ශ්වයයි. නමුත් පිරිමි අය ද එවැනි තත්ත්වයට පත්වන අවස්ථා තිබේ. ඒ තත්ත්වයට පත් වන්නේ ඔබ විසින්මය. ඉතින් ඒ නිසා ඔබට පළමුව අවවාදයක් දිය යුතුමය. නොදන්නා අයට විතරක් නෙවෙයි ඔබ කොතරම් විශ්වාස කළත් ආදරය කළත් පෙම්වතාට, පෙම්වතියට, සැමියාට, බිරියටවත් ප්‍රසිද්ධියේ පෙන්නන්න බැරි ඡායාරූප කාටවත්ම යවන්න එපා. අඩුම තරමේ තමා ළඟවත් එවැනි ෆොටෝස් තියාගන්න එපා.

අපහසුතාවට පත්කිරීමේ අරමුණින් හෝ පළිගැනීමේ අරමුණින් හෝ වෙනත් කප්පම් ලබාගැනීමේ අදහසකින් තමන් ඇසුරු කළ තරුණියගේ නිරුවත් සැබෑ හෝ ව්‍යාජ ලෙස සැකසූ ඡායාරූප, අසැබි ප්‍රකාශන, අසැබි සංවාද හෝ වීඩියෝ පට ඉතාමත් නින්දිත ආකාරයෙන් අන්තර්ජාලය වෙත මුදාහැරීම කියන සිදුවීම් වාර්තා වීම අද වෙද්දී ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් තිබෙනවා. මේ සඳහා ප්‍රධානතම හේතුව වෙලා තිබෙන්නේ මතුපිටින් බලා නන්නාඳුනන පුද්ගලයන් සමග රාගිකත්වය හා ලිංගිකත්වය පදනම් කරගත් සබඳතා පවත්වාගෙන යෑමයි. වර්තමාන සමාජය ගත්තොත් ඇතැම් පිරිස් යම් අසහනකාරී තත්ත්වයක සිටින බව පෙනී යනවා. එවැනි පහත් මානසිකත්වයක් සහිත පුද්ගලයන් තමයි මෙවැනි විෂමාචාර ක්‍රියාවලට යොමු වෙන්නේ. ඒ පිරිස් මෙවැනි ක්‍රියාවන් සිදුකරලා අසීමිත සතුටක් ලබනවා. පැහැදිලිවම මේ තත්ත්වයන් මනෝ ව්‍යාධීන් සහ අපගාමී පෞරුෂත්වයන් ලෙස හඳුනාගත හැකියි. ළමා අවධියේ සිට නිසි සමාජානුයෝජනයක් නොමැති වීමත් මේ සඳහා බලපානු ලබනවා. තමා මේ ලෝකයට බිහි කළ මවත් කාන්තාවක් කියන දේ අමතක වෙන තත්ත්වයට මේ පිරිස්වල මානසිකත්වය පිරිහීමකට පත්වෙනවා. එය එක්තරා අතකින් බරපතළ ඛේදවාචකයක්. කාන්තා පාර්ශ්වයන්ටත් මෙතැනදී පැහැදිලි වගකීමක් තිබෙනවා. පවුලේ පිරිස් අතර පවා කාන්තාවකට අනාරක්ෂිතභාවයක් නිර්මාණය වෙලා තිබෙන සමාජයක සහ වාතාවරණයකදී සමාජ මාධ්‍යයකින් හමුවන නාඳුනන අය විශ්වාස කළ හැකිද කියලා ඔවුනුත් බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි. ඒ වගේම නිරුවත් වීම හෝ නිරුවත් ඡායාරූපයක් ආදරය සනාථ කිරීමේ නිර්ණායකයක් ලෙස ඔබේ පෙම්වතා සලකනවා නම් එවැනි පුද්ගලයෙක් තුළ ලිංගිකත්වය මිසක ආදරයේ අංශුමාත්‍රයක් හෝ නොමැති බව ඔබ අවබෝධ කරගත යුතුයි. මෙවැනි සිදුවීමකට මුහුණදෙන තරුණියකට හෝ කාන්තාවකට වදදෙන ප්‍රධානතම ප්‍රශ්නය තමයි “මට මගේ පවුලේ අයට, යාළුවන්ට, සමාජයට මුහුණදෙන්න බැහැ. ඒ නිසා ජීවත් වීමෙන් ඵලයක් නැහැ.” කියන දේ. ඒ ඔස්සේ ඔවුන් විශාල පීඩනයකට, ආතතියකට පත්වෙලා අවසානයේ සියදිවි නසාගැනීමට පෙළඹෙනවා. ඔබ හොඳින් මතක තබාගත යුතුයි එය සම්පූර්ණයෙන්ම අනුවණ ක්‍රියාවක් බව සහ ඔබේ පවුලේ අයට සහ සමීපතමයන්ට මීටත් වඩා විශාල දුකක් එයින් උරුමවන බව. කුමන ආකාරයේ ප්‍රශ්නයකට ඔබ මුහුණ දුන්නත් පවුලක් තුළ කිසිම ආකාරයකින් ඔබට තනිවෙන්න වෙන්නේ නැහැ. මවුපියන්ට සහ ඔබේ සහෝදර, සහෝදරියන්ට ඔබ තරම් වටිනා සම්පතක් තවත් නැහැ. පවුලේ කෙනෙකුට කියලා ඔබේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ කියලා ඔබට හැඟෙනවා නම් තමන්ට සමීප සහ ඉතාමත් විශ්වාසවන්ත ගුරුවරියකට, කථිකාචාර්යවරියකට, මිතුරියකට මේ පිළිබඳ කියන්න පුළුවන්. කිසිම අවස්ථාවක ප්‍රශ්නය තුළ තනිවෙලා තීරණ ගන්න එපා. තරුණ අවධිය කියන්නේ අත්දැකීම් ලබාගැනීමේ කුතුහලයක් පවතින අවධියක්. ඒ කාලය තුළදී වැරදීම් සිදුවෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් හැඟීම්වලට වහල් නොවී ඒ හැඟීම් හිතුමතයට ක්‍රියාත්මක කළොත් අත්වෙන්න පුළුවන් ප්‍රතිවිපාක පිළිබඳ හොඳින් සිතාබලා කටයුතු කිරීමට අපි නිරන්තරයෙන් උත්සාහ කරන්න ඕ‍ෙන.  

උපදෙස් - සාලින්ද අමරසිංහ

ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ