අපේ කෑම ලෝකයටම ගෙනියන්න මම කැපවෙනවා

Master Chef තරගයේ තෙවැනි තැන දිනූ අපේ සවින්ද්‍රි කියන කතාව
ජූලි 22, 2024

Master Chefලා පුදුම කළ අපේ කිරිබත ලෙසින් අප ඇය ගැන සටහන් කළේ ඇය මෙම තරගයට මුහුණ දුන් පළමු වටයේදීමය.

ශ්‍රී ලංකාවේ උපත ලද සවින්ද්‍රි ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ප්‍රාන්තයට සංක්‍රමණය වී තිබුණේ වයස අවුරුදු 18 දීය. ඇය මේ වනවිට තිස් වැනි වියේ පසුවන අතර, ඇය වෘත්තියෙන් බැංකු සේවිකාවක්ය. වෘත්තියෙන් බැංකු සේවිකාවක් වූ සවින්ද්‍රි මාස්ටර් චෙෆ් තරගයට එක්වී තිබුණේ ඇයගේ ඒකාකාරී ජීවන රටාවෙන් මිදීමට විනෝදාංශයක් ලෙසිනි. තම මවට වඩාත් ආදරය කළ ඇය මව විසින් සාදන කෑමවලට පුදුමාකාර කැමැත්තක් දැක්වූවාය. ඒ නිසාම ඇය මෙම තරගයේදී ඉදිරිපත් කළ කෑම වර්ග වූයේ ඇයගේ මව සකස් කළ ශ්‍රී ලාංකික දේශීය කෑම වර්ගයි. ඒ අතුරින් දේශීය කිරිබත හා ලුණුමිරිසට තරගයේ විනිශ්ච මණ්ඩලයේ උණුසුම් ප්‍රතිචාර හිමි වී තිබුණි. ඔස්ට්‍රේලියාවේ නෙට්වර්ක් 10 රූපවාහිනිය ඔස්සේ විකාශය කරන මාස්ටර් චෙෆ් තරගය සඳහා ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් පමණක් තරගය සඳහා සහභාගි කරවනු ලබයි. ඔවුන් ඉදිරිපත් කරන කෑම වර්ගවල රසගුණය අනුව අවසාන පූර්ව වටය සඳහා තරගකරුවන් පනස්දෙනකු තෝරා ගනු ලබනවා. වයස අවුරුදු 18ට වැඩි ඔස්ට්‍රේලියානු පදිංචිකරුවන් සඳහා මෙම තරගයට සහභාගි වී ඇති අතර මාස්ටර් චෙෆ් තරගය සඳහා වෘත්තීය සූපවේදින්ට ඉදිරිපත් වීම සඳහා අවස්ථාව නොදීම විශේෂත්වයකි. අවසන් පූර්ව වටය සඳහා පනස් දෙනා අතරින් තරගකරුවන් විසිදෙනෙකු පමණ අවසාන මහා තරගයට ඉදිරිපත් කරනු ලබයි. මෙලෙස ඉතාම තියුණු තරගයක් පැවැති අවසන් 20 දෙනා අතුරින් සවින්ද්‍රි අවසන් වටයේ තිදෙනා අතරට පැමිණීමේ වාසනාව හිමි වුණා. අවසාන වටයේදී මේ තිදෙනා අතර පැවැති තරගය ඉතා තියුණු හා ආකර්ෂණීය තරගයක් වූ අතර එහිදී සවින්ද්‍රි පෙරේරා තුන්වැනි ස්ථානය හිමිකර ගත්තේ සෑම දෙනාගේම උණුසුම් ප්‍රතිචාර මැදයි.

 

මේ තරග ජයග්‍රහණයෙන් පසු ඇය මුලින්ම පසුගියදා ලක් දෙරණට පා තැබුවේ මහත් අභිමානයෙන්. තම පියා සහ සහෝදරිය සමඟ කටුනායක ගුවන් තොටුපොළෙන් ලංකාවට පැමිණි මොහොතේ ඇයගේ නෑ හිතවතුන් විසින් පිළිගනු ලැබුවේ මහත් හරසර මැදිනි.

 

ලක් දෙරණට පා තැබූ මොහොතේදී ඇය ජයග්‍රහණයේ අභිමානය අප සමඟ බෙදා ගනිමින් තම සතුට ප්‍රකාශ කළේ මහත් සතුටිනි.

 

“Master chaf තරගයේ තුන්වැනි ස්ථානය මට ලැබීම විශාල භාග්‍යයක්. ලංකාවේ අපේ අම්මා හැදූ දේශීය කෑම තමයි මාව ඒ තරම් දුරක් රැගෙන යන්න හේතුව වුණේ. ඇත්තටම මම කුඩා කාලේ පටන්ම අම්මා හදන කෑමවලට හරිම කැමැතියි. ඒ කෑමවල රසය ලෝකයේ මොනම රටකවත් නෑ. මම හිතන්නේ ඒ දේශීය රසය ලෝකය පුරාම රැගෙන යන්න පුළුවන්. ඇත්තටම අපේ රටේ දේශීය කෑම සම්ප්‍රදායික ලෙස සකස් කිරීමට බොහෝ දෙනකුට හැකියාව තිබෙනවා. නමුත් අපේ දේශීය කෑම යුරෝපීය රටාවට ජාත්‍යන්තරයට රැගෙන යෑම තමයි මගේ අපේක්ෂාව.

 

සවින්ද්‍රිගේ ජයග්‍රහණය අපට මහත් අභිමානයකි. ඇය ශ්‍රී ලාංකේය නාමය ඔස්ට්‍රේලියාව වැනි දැවැන්ත රාජ්‍යයක ජනප්‍රිය නාළිකාවක විකාශය වීම විශාල ජයග්‍රහණයකි. එසේම ඇයගේ ජයග්‍රහණයෙන් පසු මුලින්ම තමන් උපන් මවුබිමට පා තබමින් ඒ ජයග්‍රහණයේ සතුට තම උපන් රටේ හිතමිත්‍රයින් සමඟ භුක්ති විඳීමට පැමිණීම ද අගය කළ යුතු ක්‍රියාවකි.