රසට කෑම කන්න නම් ගෑස් ළිපට සාත්තු කරන්න

මෙහෙම නඩත්තු කළොත් ජීවිත කාලෙටම එකයි
ජූලි 22, 2024

 

ගෑස් ගැන කතා කරනකොට පසුගිය කාලයේ රටේ හරි හරියට වෙච්ච සිද්ධි අමතක කරන්න බැරි තරම්. ඒ වගේමයි ගෑස් කොයි තරම් මිලෙන් වැඩි වුණත්, පරිහරණයේ දී හානි සිදුවුණත් අපට එයින් අත් මිදෙන්නටත් බැහැ. මොකද මේකට පිළියමක් විදිහට වෙනත් විකල්ප එනම් දර ළිප්, විදුලි ළිප්, භූමිතෙල් ළිප් භාවිත කළ හැකි නමුත් ඒකත් හැමෝටම කරන්නට බැහැ. කොහොම නමුත් ලංකාවේ හැම නිවෙසකම වගේ ගෑස් ළිපක අවශ්‍යතාව බොහොම වැඩියි. ඒ නිසාම ගෑස් ළිප නඩත්තු කරන නිවැරැදි ක්‍රමය ගැනත් කාන්තා ඔබ දැනුම්වත් විය යුතුයි.

 

ගෑස් ළිප කොටස් හතරකින් සමන්විතයි. ඒ ටැංකිය, රෙගියුලේටරය, බටය, ළිප ඒ වගේම ලංකාවේ නිවෙස් භාවිත කරන ගෑස් ටැංකි වර්ග දෙකක් පමණි. මේවා බර අනුව කිලෝ 1.5, සහ 12 ලෙස වෙන් කෙරේ. ටැංකියේ බර සහ ගෑස් බර විදිහට මේක ටැංකියේ සටහන්කර තිබීම ඔබ හොඳින් පරීක්ෂාකර බැලිය යුතුයි. යම්කිසි සැකයක් ඇති වුවහොත් අදාළ වෙළෙඳසලේ මේ සඳහා වෙන් වූ තරාදියකින් කිරා මැන බැලීමේ හැකියාව පාරිභෝගිකයා සතු විය යුතුයි. ඒ වගේම ගෑස් ටැංකිය සීල් විය යුතුය. ගෑස් කාන්දු වීමකදී

 

අප්‍රසන්න ගඳක් නිකුත් වේ. එය බොහෝ දෙනා ගෑස් ගඳ ලෙස හඳුනාගෙන ඇති නමුත් එය එසේ නොවේ. මීළඟට රෙගියුලේටරය ගැන කතා කරනවා නම් ගෑස් ළිප හා සම්බන්ධ කරන කොටස භාගෙට කැරකුවාම ලොක් වෙනවා. රෙගියුලේටරය Off කරන්නත් පුළුවන්. ගලවන්නත් පුළුවන්. නිවැරැදි ලෙස රෙගියුලේටරය සවි නොවුණහොත් අනතුරකට ලක්විය හැකියි. සාමාන්‍යයෙන් රෙගියුලේටරයක ආයු කාලය වසරයි. එහෙත් මිලෙන් අධික බැවින් අපේ රටේ ඊට වඩා කාලයක් භාවිතයට ගැනේ.

 

බටය ගැන කතා කරනවා නම් උයන කෑම ඉඳුල් මෙයට නිතැතින්ම වැටෙනවා. නිවැරැදිව පිරිසුදු නොකළහොත් මීයෝ වගේ සත්තුන්ගෙන් බටයට හානි වෙනවා. එතැනදි ඔබ එය පරීක්ෂාකර ගැනීමට සමත් විය යුතුයි. ඒ සඳහා සබන් හෝ ෂැම්පු ගා පෙන නගිනවාදැයි තහවුරුකර ගන්න.

 

අපේ රටේ ගෑස් ළිප් වර්ග ගණනාවක් තියෙනවා. ඒ අතර තනි ළිප ළිප් දෙක මෙන්ම ළිප් හතර තියෙන ඒවාත් භාවිතයට ගැනේ. මේවායෙහි නිල් දැල්ල සුදුසු විය යුතු අතර, කහ දැල්ල අර්ධ දහනය වීමක් හඟවයි. එතැනදී ගෑස් අපතේ යාමක් සිදු වේ. ගෑස් භාවිතයේදී සිලින්ඩර පුපුරන්නේ නැත. බොහෝ අවස්ථාවල පිපිරීමට ලක්වන්නේ ළිප යි.

එබැවින් ඔබ ළිප ප්‍රවේසම්කර ගැනීමෙන් ගෑස්වලින් සිදුවන බොහෝමයක් අනතුරු වළකාගත හැකියි.

ඔබ නිවෙසේ පුංචි දරුවන් සිටී නම් ඉවුම් පිහුම් අවස්ථාවේදී ගෑස් ළිප අසලින් දරුවන් ඈත් කරන්න. මන්ද ගෑස් දහනය වීමෙන් පිටවන වායුව නොපෙනෙන නමුත් ඉතා විස සහිතයි.

එය දරුවන්ට ඉතාමත් අහිතකරයි. තවත් විශේෂ දෙයක් නම් ගෑස් ළිප යට තට්ටුවක සිලින්ඩරය රඳවා තැබීම අතිශය භයානකයි. කෙසේ හෝ ඇවිළීමකට ලක්වුවහොත් හැකි ඉක්මනින් තෙත ගෝණියක් එ් මත එළන්න. කිසි දිනෙක ගෑස් ළිප පිරිසුදු කිරීමේදී සබන්, ෂැම්පු වැනි ද්‍රව්‍ය භාවිත නොකරන්න. ජලයෙන් පමණක් සේදීම ප්‍රමාණවත් වේ.

 

උපදෙස් -

අජන්ත කාරියවසම්

ගොඩනැගිලි සේවා ඉංජිනේරු

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය