LIFE CHANGE වෙන්න ROOM CHANGE කරමු

18 කෙල්ලෙකගෙ හොඳම PARTNER
ජූලි 22, 2024

 

කොහෙ හිටියත් තමන්ගේ නිදන කාමරය තරම් නිදහස් තැනක් නැහැ කියනවනේ. හැබැයි ඉතින් ඒ නිදහස ඒ සුවදායක බව හරියටම භුක්ති විඳින්න කාමරය හරි පිළිවෙළකට තියෙන්න ඕනේ. පිළිවෙළක් නැති ගෙයත් හරියට පිස්සිගෙ පලා මල්ල වගේ කියලා කියන්නේ කට කහනවට නෙවෙයිනේ. හැබැයි ඉතින් පිළිවෙළ ගැන කතා කරද්දි කෙල්ලන්ගේ කාමර නම් තරමක් පිළිවෙළයි කියලයි හැමෝම කියන්නේ. කොල්ලෙක්ගේ කාමරයක් කියන්නේ යක්ෂ විමානයක් වගේ තැනක් කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. කෙල්ලෙක්ගේ කාමරයක් වුණත් කොල්ලෙක්ගේ කාමරයක් වුණත් පිළිවෙළක් නැත්තම් ඒක ඉතින් මනුස්ස වාසස්ථානයක් නම් නෙවෙයි. ඉතින් මේ යක්ෂ විමානේ පිළිවෙළක් කරගන්නේ කොහොමද, ගතියට තියාගන්නෙ කොහොමද කියන එක ගැන ගොඩක් දෙනෙක්ට ප්‍රශ්න තියෙනවා. අද අපි තරුණී ඔබේ ජීවිතයට අරගෙන එන්නේ මේ හැමෝගෙම කාමර පිළිවෙළට පිරිසුදුව තියාගන්න ක්‍රම ගැන කියලා දෙන්න.
 

ඇඳුම් ටික පිළිවෙළක් කරමු

කෙල්ලෝ කියන්නේ කොච්චර ඇඳුම් තිබුණත් ගමනක් යන්න හදන වෙලාවක එක ඇඳුමක්වත් නැහැ කියන ජාතියක්. ගොඩක් වෙලාවට අල්මාරියේ දොර වහන්න අමාරු වෙන තරමටම අල්මාරියේ ඇඳුම් පිරිලා. දොර ඇරපු ගමන් ඇඳුම් සේරම බිම. ඔෆිස් ඇඳුම්, කැෂුවල් ඇඳුම්, ගෙදරට අඳින ඇඳුම්, ට්‍රිප් යන්න අඳින ඇඳුම් මේ විදිහට ඇඳුම් වෙන වෙනම කැටගරයිස් කරලා වෙනම තට්ටුවල ඇසුරුවොත් හොයාගන්න හරි ලේසියි. ගොඩාක් තැන්වල කොල්ලො පාවිච්චි කරන්නේ ඇඳුම් කබඩ්. ඒ වුණාට ඒ කබඩ්වල ඇති ඇඳුමකුත් නෑ. සාමාන්‍යයෙන් කොල්ලො අවුරුද්දටම ගන්නෙ කලිසම් එකයි දෙකයි නේ. වැඩිම වුණොත් ෂර්ට් තුන හතරක් ගනීවි. ඔය ඇඳුම් ටික පරණ ඇඳුම් ටිකත් එක්ක බොහොම පහසුවෙන් ඇඳුම් රැක් එකක රඳවන්න පුළුවන්. ඒකෙන් ඔබේ කාමරය පිළිවෙළ වෙන්නේ කොහොමද..? ඇඳුම් රැක් එකක ඇඳුම් රඳවනවා කියන්නේ හරිම ලේසි වැඩක් නිසා ඔබට ඒකෙ කම්මැළි කමක් පොඩ්ඩක්වත් දැනෙන්නෙ නෑ (ඇඳුම් නවලා කබඩ් එකේ තැන්පත් කරන එකත් හරි අමාරු වැඩක් කියලයි අපේ කොල්ලො හිතන්නේ). ඒ වගේම ඇඳුම් රැක් එකක ඇඳුම් තියෙන විදිහ ඔබට හැමවෙලේම පේනවා. ඒ හින්දා ඒක අපිළිවෙළනම් ඒක පොඩ්ඩක් හරිගස්සන්නත් ඔබ පෙලඹේවි.

වෙනම හැන්ගර් එකක් හෝ දෙකක්

එදිනෙදා ඔබට ගමනක් යන්න ඕ‍ෙන වුණාම සූදානම් කරපු ඇඳුම් පැලඳුම් වෙනම හැන්ගර් එකක හෝ දෙකක එල්ලන්න. එතකොට ඒවා රැක් එකේ තියන්න ඕ‍ෙන වෙන්නෙ නෑ. රැක් එකේ හෝ අල්මාරියේ ඒ ඇඳුම් තිබ්බම වෙන්නේ වැරදිලාවත් ඒ ඇඳුම උඩින් වෙන ඇඳුමක් වැටුණොත් අර සූදානම් කරපු ඇඳුම හොයන්න මුළු රැක් එකේම හරි අල්මාරියේ හරි පිළිවෙළ විකෘති කරන්න වෙන එක. ඒ නිසා ගමනක් යන්න දවසකට කලින් ඇඳුම් සූදානම් කළත්, පැයකට කලින් ඇඳුම් සූදානම් කළත් වෙනම හැන්ගර් එකක ඒ ඇඳුම් එල්ලන්න අමතක කරන්න එපා.

ඇඳපු ඇඳුම් පෙට්ටිය

 

ගොඩක් වෙලාවට කාමරයේ පෙනුමක් නැති වෙන්නේ ඇඳපු ඇඳුම් එක එක තැන දැමීම නිසා. පොඩි කාලෙ විතරක් නෙමෙයි රස්සා කරන ලොකු නෝනා මහත්තුරු ඉන්න ගෙවල්වල පවා අම්මලා, නෝනලා කෑගහන්නේ “එක එක ඒවා එක එක තැන” කියලයි. ඉතින් එහෙම එක එක තැන්වලට විසිවෙන ඇඳුම්, මේස් වගේ දේවල් එක තැනකට දාන්න කියලා පොඩි පෙට්ටියක් තියාගන්න. කාමරේ මුල්ලක ඒ පෙට්ටිය තියලා තියන්න. ඔබ ඇඳුම් ඉවත් කළ විගස හෝදන්න අදහසක් නැත්නම් ඒ ඇඳුම් අර පෙට්ටියට දාන්න. පෙට්ටියට දාල ඉතින් හැමදාම ඒක පිරෙනකම් බලන් ඉන්නෙ නැතුව ඒ ඇඳුම් හෝදන්න අමතක කරන්න එපා.

ලියන මේසය

 

කෙල්ලෙක්ගේ ලියන මේසය එහෙමත් නැත්නම් ඔෆිස් මේසය කියන්නේ හරි පිළිවෙළ තැනක්. මේ මේසේ තියෙන්න ඕනේ අවශ්‍යම පොත් කිහිපයක්, ලැප්ටොප් එක නැත්තම් පරිගණයක් සහ පුංචි කැලන්ඩරයක් විතරමයි. ඕනෙනම් ලස්සනට පුංචි මල් බඳුනක් තියන්නත් පුළුවන්. කොල්ලෙක්ගෙ ලියන මේසය කියන්නේ තනි ජංජාලයක් නේ. පොඩි කාලෙ විහිළුවටත් එක්ක වගේ අපි කියන්නේ “වැඩිපුරම අපිළිවෙළ වෙන්නේ… වැඩිපුරම වැඩ කරන එකාගේ මේසය” කියලයි. එහෙම බැලුවම පුරුෂ පාර්ශ්වය කොච්චර වැඩ කරලද කියලා පේනවා මේසවල පිළිවෙළින්. ලියන මේසය මත අවශ්‍යම දේවල් විතරක් තියාගන්න. ඉතුරු පොත් පත් ලියකියවිලි ආදිය වෙනත් රාක්කයක වගේ තැනක තැන්පත් කරලා තියලා අවශ්‍යම වෙලාවක විතරක් මේසෙ මතට ගන්න. වැඩ කරලා ඉවර වුණාම කම්මැළි නොවී හොඳ ළමයි වගේ අරගත්තු පොත් දෙක තුන ආයිත් රාක්කයට දාන්න.

අමතක‍ෙවන දේවල්

 

කෙල්ලෙක්ගේ පර්ෆියුම්, ක්‍රීම්, මේක්අප් සෙට්, ලිප්ස්ටික්, පනාව වගේ හැම එකම තියන එකම තැන කණ්ණාඩි මේසය. කොහේ හරි යද්දි වැඩි හරියක් ඔතෙන්ට වෙලා හැඩ බල බල ඉන්න අපේ කෙල්ලෝ හරි දක්ෂයි. හැබැයි මේ හැම දේම පිළිවෙළකට තියාගත්තොත් උදේට අරක නැහැ මේක නැහැ කියලා දඟලන්න දෙයක් නම් නැහැ. හැබැයි ඉතින් කෙල්ලෝ එහෙම වෙද්දි කොල්ලෝ තවත් විදිහක්. යතුරු, ඇස් කණ්ණාඩිය, පනාව, ක්‍රීම් එක, පර්ෆියුම් එක වගේ දේවල් ගොඩක් දුරට දාපු තැන කොල්ලොන්ට මතක නෑ. කොහොමත් කොල්ලොන්ට අසාමාන්‍ය ලෙස අමතක වීමේ රෝගයක් තියෙනවනේ කරන්න තියෙන භාරදූර රාජකාරි එක්ක. ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක් දාන්න මේසෙ උඩ පොඩි පෙට්ටියක් තියාගන්න. එහෙම නැත්නම් මේසෙ ලාච්චුවක් වගේ වෙන්කර ගන්න. ගමනක් ගිහිල්ලා ආවම වාහනේ යතුර, ලයිෂන් එක ඒකට දාන්න. පාවිච්චි කළාම ඇස් කණ්නාඩිය, පනාව, ක්‍රීම් එක, පර්ෆියුම් එක ඒකට දාන්න. එතකොට අමතක වෙන්නෙ නෑ ඒවා. හැබැයි මේ පෙට්ටිය තියෙන තැනනම් අමතක කරගන්න එපා. එහෙම වුණොත් මළ ජංජාලයක් වෙන්නේ.

 

හැම ඉඩක්ම පාවිච්චි කරන්න

 

කාමරයේ ඉඩකඩ නැති එක කාටත් තියෙන ලොකු ප්‍රශ්නයක් නේ. ඒක හින්දයි කාමරේ මුස්පේන්තු ගතියක් තියෙන්නෙ කියලා ගොඩක් අය මැසිවිලි නඟනවා. කුඩා කාමරයක වුණත් හැමතැනම ප්‍රයෝජනවත් ලෙස පාවිච්චි කරනවනම් ඔය ගැටලුව එන්නෙ නෑ කියලයි අපට නම් හිතෙන්නෙ. උදාහරණයක් විදිහට දොර පිටිපස්සෙ තියෙන කුඩා ඉඩකඩ ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්න ඔබට පුළුවන් ඇඳුම් එල්ලන්න වගේ කටයුත්තකට. මේසය යට, ඇඳ යට හොඳට අස් කළොත් ඒ ඉඩත් අර අපි කලින් කිව්ව පෙට්ටි වගේ දේවල් තියන්න පාවිච්චි කරන්න ඔබට පුළුවන්කම ලැබෙනවා.

 

කලඑළියක් දෙමු

 

හැම වෙලාවෙම තමන්ගේ කාමරේ බිත්ති ළා වර්ණයක් වෙන්න ඕනේ. ඇහැට ප්‍රිය වෙන්න ඕනේ. මස් කඩේ වගේ වුණොත් කාමරේම අප්‍රියජනක තැනක් වෙන එකනම් සිකුරුයි. කාමරේ මුස්පේන්තු ගතිය නැති කරන්න බිත්තියට වෝල් ආර්ට් එකක් එකතු කරගන්න පුළුවන්. වෝල් ආර්ට් වගේ බිත්තියටම අලවන ස්ටිකර්වලිනුත් මේ කියන කලඑළිය ගන්න පුළුවන්. පුළුවන් තරම් කාමරයේ බඩු අඩුකර ගන්න. ඇඳයි, මේසෙයි, පුටු දෙකකුයි, අල්මාරියයි තිබ්බනම් ඒ හොඳටෝම ඇති.

තව පොඩි පොඩි දේවල් ටිකක්

 

යතුරු ටික සහ තව ඔබ ළඟ තියෙන පොඩි ගැජට් ටික පොඩි බෝඩ් එකක් ගහලා ඒකෙ එල්ලන්න පුළුවන්. කාමරේ තියෙන ගඳ නැති කරන්න එයා ෆ්‍රෙෂ්නර්ම භාවිත කරන්න ඕනෙ නෑ. එළියට විවෘත වෙන ජනෙල් ටික ඇරලා තිබුණනම් හොඳ වාතාශ්‍රයක් වගේම හොඳ ආලෝකයකුත් ලැබෙනවා.

හැමදේම පොඩි හරි සිහියක් තියාගෙන කළොත් ඔබට ඔබේ කාමරය ගතියට තියාගන්න හැකියාව ලැබේවි.