සිහියෙන් පාවිච්චි කළ යුතු පිහිය

අගෝස්තු 5, 2024

 

නි‍ෙවසක මුළුතැන්ගෙය (kitchen) කියන්නෙ අනිවාර්යයෙන්ම පිරිසුදුව පිළිවෙළට තබාගත යුතුම තැනක්. ඔබේ ආදරණීයන් වෙනුවෙන් සැකසෙන හැම ආහාර වේලකම සෞඛ්‍ය ආරක්ෂිත බව සහ පිරිසුදු බව තහවුරු වෙන්නේ ඔබේ මුළුතැන්ගෙය පිරිසුදුව තබා ගන්නේ නම් පමණි.

 

විශේෂයෙන් ඔබ නොසිතන යම් යම් උපකරණ නිසාවෙන් මුළුතැන්ගෙයි හදිසියකට උවමනා දේ හොයාගන්නත් බැරිව යන වෙලාවල් තියෙනවා නේද? පිහිය කියන්නෙත් ගෙදර ඇවිදින භාණ්ඩයක්.

 

අම්මට එළවළු කපන්න වගේම තාත්තාට වත්තපිටියේ වැඩවලට පිහිය අවශ්‍ය වෙනවා. එකම පිහියෙන් මේ කියන හැම කටයුත්තක්ම කරන්නට බැහැ. අන්න ඒ නිසයි අපි ඒ ඒ කාර්යය සඳහා අදාළ පිහි වර්ග තෝරා වෙන්කර ගතයුතු වන්නේ.

 

පාන් පිහිය Bread Knife

 

 

මෙහි හැඩය සාමාන්‍යයෙන් අනෙක් පිහිවල තලයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. පිහිය කැපෙන පැත්තේ දැති සහිතව පිහිටා තිබෙන්නේ මේ පිහියෙයි. කෑම ලස්සනට එක සමාන විදියට කපාගන්න නම් ඊටම ගැළපෙන පිහියක් තිබෙනවා. bread Knife ඕනෑම ගෙදරක අනිවාර්යයෙන් තිබිය යුතුමයි කිව්වොත් නිවැරදියි. ඊට හේතුව පාන්, බනිස්, බ්‍රෙඩ් රෝල්ස්, පේස්ට්‍රි වගේ කෑම වර්ග ආහාරයට එකතුකර නොගන්නා නි‍ෙවසක් නැති නිසයි. පාන් බනිස් වගේ කෑම සාමාන්‍ය පිහියෙන් කපන්න යන වෙලාවට මොකද වෙන්නේ කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඒවගේම මෙය කේක් කපන්නත් හොඳින්ම ගැළපෙනවා.

 

 

බුචර් පිහිය - Butcher Knife

 

බුචර් නයිෆ් එහෙමත් නැතිනම් ක්ලෙචර් නයිෆ් විදියට හඳුන්වන මෙම පිහිය නම් වැඩි දෙනෙකුට හුරුයි. එහෙමත් නැතිනම් නිතරම දකින්න ලැබෙන පිහියක්. ඒත් සමහර වෙලාවට මේ වගේ එකක් ගෙදර තිබුණත් එය මොන වගේ කැපුම්වලට ද යොදාගන්නේ කියලා වැඩි දෙනෙක් දැනුවත් නැහැ. ඝන මස් වර්ග මස් කටුව පිටින්ම පහසුවෙන් කපා ගැනීමට උදව් වෙනවා. ඉඟුරු, සුදුලූනු වගේ දේවල් පිහිය හරහට යොදාගෙන තළා ගන්නත් හැකියි.

 

 

 

යුටිලිටි පිහිය - Utility Knife

 

මේ පිහිය වැඩිපුරම අපට අවශ්‍ය වන්නේ ප්‍රමාණයෙන් පොඩි එළවළු පලතුරු සිහින්ව කපාගන්නයි. මේ පිහියේ පෙනුම නම් ටිකක් චෙෆ් නයිෆ් එකට සමානයි. පෙනුම එක සමාන වුණත් චෙෆ් නයිෆ් එකට වඩා ප්‍රමාණයෙන් කුඩයි. එහෙත් එයින් සිදුවන කාර්යය නම් ඊට වඩා වෙනස්. උදාහරණයක් විදිහට පලා වර්ග, තක්කාලි, මාළුමිරිස්, බෙල් පෙපර් වගේ එළවළු සිහින්ව

 

කපා ගන්න යොදා ගන්නේ මේ පිහිය. සලාදයක්, එළවළු බතක් පිසින වෙලාවක පහසුවෙන්ම අවශ්‍ය දේවල් සිහින්ව කපාගන්න නම් මෙවැනි පිහියක් නැතිවම බැහැ.

 

චෙෆ්ගේ පිහිය - Chefs Knife

අඟල් හයත් දාහතරත් ප්‍රමාණයෙන් යුතු මේ චෙෆ් නයිෆ් එක පහසුවෙන්ම එළවළු වර්ග තළා ගැනීම සඳහාත් යොදාගන්න පුළුවන්. විවිධ හැඩතලවලින් යුතු පිහිතල අතරේ චෙෆ් නයිෆ් විදිහට හඳුන්වන මේ පිහිය නම් කුස්සියට නැතිවම බැහැ. ඊට හේතුව මස්, මාළු සහ ඝන එළවළු වර්ග පහසුවෙන්ම කපාගන්න නම් එය කුස්සියේ තියෙන්නම ඕනෑ. ඒ සඳහා පහසුවෙන්ම අතට හසු කරගැනීමට හැකි මිටක් සහිතව මේ පිහිය නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ශක්තිමත් නිමාවකුත් තියෙනවා. ප්‍රමාණයෙන් ගත්තොත් මෙය තරමක් දිගින් යුතු පිහියක්. වැඩි ආයාසයකින් තොරව අපේ ගෘහිණියන්ට මස්, මාළු කපන්න නම් ප්‍රමිතියකින් යුතු මේ වගේ පිහියක් මුළුතැන්ගෙයි තිබිය යුතුයි.

 

 

 

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර