AI වල ඇත්ත සහ බොරුව

අගෝස්තු 12, 2024

අද වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නේ AI තාක්ෂණයට. එහෙත් නැත්තම් කෘත්‍රිම බුද්ධියට. කෘත්‍රිම බුද්ධිය සමඟ සාමාන්‍ය ජනතාවට සෘජුව අන්තර්ක්‍රියා කිරීමට නිදහස ලබා දී වැඩි කාලයක් නොවුණත් ඉතා සීග්‍ර දියුණුවක් කෘත්‍රිම බුද්ධිය අත්පත් කරගෙන ඇති බව නොරහසකි. තනිව ඉගෙන ගනිමින් Game එකක් play කරන තැන සිට වාහනයක් තනිව රැගෙන යාම, මිනිස් මනස කියවීම දක්වා මිනිස් බුද්ධිය හා මිනිස් තාක්ෂණයත් අතික්‍රමණයකර හමාරයි. අනෙක් සෑම දෙයකටම වාගේම AI වලටත් හොද පැත්තක් සහ අඳුරු පැත්තක් පවතී. ඒ නිසා මේ ඇත්තයි බොරුවයි හරියටම හඳුනා ගන්න නම් හරි අවබෝධයක් තියෙන්නම ඕනේ.

 

Deepfake කියන්නේ මොකක්ද?

Deepfake යනු සරලවම කෘත්‍රිම බුද්ධිය භාවිත කර නිමැවූ ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය අන්තර්ගතයි. සෑම ශ්‍රව්‍ය දෘශ්‍ය අන්තර්ගතයක්ම Deepfake එකක් වෙන්නේ නැහැ. හානිකර නොවන විනෝදාස්වාදයේ සිට වැරැදි තොරතුරු පතුරුවා හැරීම හෝ ව්‍යාජ පුවත් නිර්මාණය, වෙනත් පුද්ගලයෙකු මෙන් පෙනී සිටීම වැනි වඩාත් ද්වේෂ සහගත ක්‍රියාවලට මේ AI භාවිත කිරීම Deepfake වලට අයිති වේ.

 

තොල්වල චලනය

කථනයේදී තොල්වල චලනයක් අනිවාර්යයෙන් සිදුවේ. හොඳින් නිරීක්ෂණය කිරීමෙන් අපට Deepfake Videoවල වචන හඳුනා ගත හැකියි. එමගින් අපිට යම්කිසි ඉඟියක් ලබාගත හැකිය. හරියටම කිව්වොත් රහසින් මුමුණනවා වගේ පෙන්නුම් කරයි. Deepfake එකක් නිර්මාණය කරන කවරෙකු හෝ වැඩිපුර තම සම්පූර්ණ අවධානය යොමු කරනුයේ පරිපූර්ණ video එකක් නිර්මාණයටයි. එබැවින් Video පටයට නොගැළපෙන ශබ්ද, නොගැළපෙන ඝෝෂා ගැන අවධානය යොමු කිරීමෙන් ඉඟියක් ලබාගත හැකිය.

 

ඇස් පිල්ලම්වල වෙනස

දැනට පවතින තාක්ෂණය අනුව, ඇස් පිල්ලම් ගැසීම් සහ ඇස්වල චලනයන් අනුකරණය කිරීමට AI වලට අපහසු වේ. එමනිසා සූක්ෂ්මව නිරීක්ෂණයෙන් යම්තාක් දුරට අපට Deepfake එකක් හඳුනා ගැනීමට ඇස්වල චලනයන් උදව් වේ.

 

ව්‍යාජ සෙවණැලි

Deepfake Algorithms සෙවණැලි හා පරාවර්තන මතුපිටවල් ප්‍රතිනිර්මාණය අතින් තවමත් සෑහෙන ප්‍රාථමික මට්ටමේ පසුවනවා. එනිසා සෙවණැලි හා පරාවර්තන පෘෂ්ඨ සෙමින්, සමීපව අධ්‍යයනයෙන් අපට Deepfake ගැන ඉඟියක් හෝ සම්පූර්ණ වශයෙන්ම අදහසක් ගත හැකිය.

මෙම ක්‍රමවල ඇති ප්‍රධානම ගැටලුවක් වන්නේ මෙම Deep learning algorithms නිරන්තරයෙන් නව දත්ත මත ඉගෙන ගනිමින් යාවත්කාලීන වීමයි. එනිසා අද කතා කරන මේ ක්‍රමවේදවල වලංගුතාවය නුදුරු අනාගතයේදීම අභියෝගයට ලක්වීමට වැඩි ප්‍රවණතාවයක් පවතී.

සිතන්න ඔබ පොදු ස්ථානයක සිටිනවා, ඔබ පින්තූරයක් හෝ වීඩියෝ පටයක් දකිනවා. එවිට ඔබට එය ඡායාරූපගතකර යම් Tool එකකට දමා මෙය Deepfake එකක් දැයි බැලීමට සිතන අතර එයට යම්කිසි කාලයක් ගතවෙනවා. නිවැරදිතාවය අවම වුණත් ඉහත සඳහන් ක්‍රමවේද නිසා ඔබට යම්කිසි මට්ටමකට Deepfake එකක් හඳුනා ගැනීමට මෙය උපකාරී වේවි.

තාක්ෂණය නැතුව අද කිසිම දෙයක් කරන්න බැහැ. ඔව් නිවෙස ඇතුළෙදි ඉඳලා ගෙයින් එළියට බැහැලා නැවත ගෙදර ඇවිත් නින්දට යනකම්ම අපි දැන් ඉන්නේ තාක්ෂණෙත් එක්ක. තාක්ෂණය ඒ තරමට අපේ ජීවිතවලට සමීප වෙලා තියෙද්දි මේ තාක්ෂණික ලෝකය මඟහැරලා ඉන්න ගියොත් වෙන්නේ සමාජය ඇතුළේ කොන් වීම පමණක් නොවෙයි පුද්ගලයකු වශයෙන් පෞද්ගලිකවත් පසුගාමී තත්ත්වයකට පත්වීමයි. හැබැයි දැන් තාක්ෂණය හරි දියුණුයි වගේම හරි පහසුයි. මොකද අතේ තියෙන ස්මාට් ෆෝන් එකෙන් තාක්ෂණික ලෝකය තුළ ගනුදෙනු කරන්න දැන් සියලු පහසුකම් ලබා දී තියෙනවා. නමුත් මේ තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරද්දි ලොකු ලොකු දේවල් ගැන විතරක් නෙවෙයි හරිම පුංචි දේ ගැන පවා හරි ලොකුවට හිතන්න වෙනවා.