Facebook ගිණුම හැක් වෙලා ද?

අගෝස්තු 12, 2024

 

අද වන විට ෆේස්බුක් ගිණුමක් නැති කෙනෙක් නම් බෙහෙතකටවත් හොයාගන්න බැහැ. ඒ තරමට ෆේස්බුක් කියන දේ ජීවිතයේම කොටසක් වෙලා. උදේට නැගිටින්නෙත් මේ ෆේස්බුක් එකේ තියෙන ඕපදූප ටික බලන්න. ඒක එහෙම වෙද්දි හදිස්සියෙම තමන්ගේ ෆේස්බුක් ගිණුමට ලොග් වෙන්න බැරි වුණොත් ඒක ලොකු ගැටලුවක් නේද? ගොඩක් වෙලාවට මෙහෙම වෙන්න බලපාන ප්‍රධාන ගැටලුවක් ලෙස ෆේස්බුක් හැකිං හඳුන්වන්න පුළුවන්. ඉතින් අද කියන්නේ හැක් වුණ ගිණුම යළි තමා යටතට ගන්න හැකි ක්‍රම කිහිපයක් කියලා දෙන්න.

වෙන කෙනෙක් තමන්ගේ ගිණුමට ඇතුළු වෙලා කියලා දැනගත්තොත් මුලින්ම කරන්න ඕනේ දේවල් කීපයක්ම තියෙනවා. වෙන කෙනෙකු ඔබගේ ෆේස්බුක් ගිණුමට පිවිසෙන බව දැනුණත්, ඔබට තවමත් ඔබේ ෆේස්බුක් ගිණුමට ඇතුළු විය හැකි නම් වහාම ඔබගේ මුරපදය වෙනස් කරන්න. ඉන් පසුව ෆේස්බුක් ගිණුම වෙත ලොග් වී ඇති වෙනත් උපාංග මොනවාදැයි පරික්ෂා කරන්න. ඔබ නොදන්නා උපාංගවලින් ඔබගේ ගිණුමට ලොග් වී ඇති බව පෙනෙන්නට තිබේ නම් ඒවා සියල්ලම ඉවත් කර දමන්න.

ඉහත පියවර දෙක අනුගමනය කිරීමෙන් පසුව වුවද ඔබගේ ගිණුමේ යම් ගැටලුවක් ඇති බව ෆේස්බුක් ආයතනයට දැනුම් දිය යුතුයි. ඒ සඳහා “Secure Account” වෙත පිවිසිය යුතුය. මෙහිදී ෆේස්බුක් ආයතනය ඔබගේ ගිණුමේ ආරක්ෂාව වැඩි කර ගැනීමට කළ යුතු දේ නිර්දේශ කරනවා. ඔබගේ ගිණුමෙන් පසුගිය කාලසීමාව තුළ සිදු කරන ලද ක්‍රියාකාරකම් ඔබ වෙත ඉදිරිපත් කිරීමක් ද මෙහිදී සිදු වෙනවා. එම ක්‍රියාකාරකම් කරන ලද්දේ ඔබ විසින් ද යන්න තහවුරු කළ යුතුය. ඒ ඔබ නෙවේ නම් එයින් හෙළි වන්නේ වෙනත් අයෙකු ඔබගේ ගිණුමට ඇතුළු වී විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී ඇති බවය. මීළඟට “Password and Security” පිටුව වෙත පිවිස “Get Help” මත ක්ලික් කර සිදුවීම වාර්තා කරන්න. 

මීළඟට කළ යුත්තේ සයිබර් අපරාධ අංශයට වාර්තා කිරීමයි. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් අන්තර්ජාල අපරාධ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිල්ලක් ගොනු කර තබන්න. එයට හේතුව වන්නේ ඔබගේ ගිණුම භාවිත කර යමෙකු නීතිවිරෝධී කටයුත්තක යෙදී ඇත්නම් අනාගතයේදී ඔබට යම් ගැටලුවක් මතු නොවන ලෙසය.

ඔබට පිවිසිය නොහැකි හැක් කරන ලද ෆේස්බුක් ගිණුමක් නැවත ලබා ගන්නේ කෙසේද?  

 

ඔබට ඔබගේ ගිණුමට ඇතුළු වෙන්න බැරි නම් Facebook.com/hacked වෙත පිවිසෙන්න. මෙහිදී ෆේස්බුක් ආයතනය විසින් ඔබ ගිණුම විවෘත කිරීමට භාවිත කළ දුරකතන අංකය ඔබෙන් විමසනු ඇත. එය ඇතුළත් කරන්න.  මෙහිදී ඔබේ ගිණුමට නැවත ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය උපදෙස් සහ අනාගතය සඳහා ආරක්ෂක පියවර යෝජනා කරනු ඇත.

Facebook ඔබගේ ගිණුමේ සැක සහිත ක්‍රියාකාරකමක් සිදු වනු  දුටුවහොත් ඔබගේ ගිණුම වහාම අගුළු දමනු ඇත. වසරක් ඇතුළත එහි අගුලු හැරීම ඔබට කළ හැකිය. මෙහිදී ඔබ දැමූ කමෙන්ට් හඳුනා ගැනීමට අවස්ථාව ලබා දීම, ඔබේ මිතුරන්ගේ ඡායාරූප ඉදිරිපත් කර ඒවා හඳුනා ගැනීමට ඉඩ ලබා දීම වැනි සරල ක්‍රියාවලියක් හරහා ගමන් කිරීමට ඔබට සිදු වනු ඇත. නැති නම් ඔබගේ උපන්දිනය වැනි පෞද්ගලික කරුණු විමසා ගිණුම ඔබට අයිතිද යන්න තහවුරු කරගෙන එය නැවත ඔබට ලබා දෙනු ඇත.