කෙස් ගසට අැස් රකින ප්‍රාඨක අභ්‍යාසය

අගෝස්තු 19, 2024

 

හිතට කිසිම සැහැල්ලුවක් නැද්ද? ආතතිය වැඩි වෙලා ද? මනස නොසන්සුන් ද? ජීවත් වුණා ඇති කියලා හිතෙනවා ද? මේ ගැටලු අඩු වැඩි වශයෙන් ඔබ තුළ තිබෙන්නට පුළුවන්. අද නිර්මාණය වෙලා තියෙන සමාජය අතිශය තරගකාරී සමාජයක්.

 

ඔබට ජීවත් වෙන්න සිදුවෙලා තියෙන්නේ එකෙකු අබිබවා තවත් කෙනෙක් නැඟිටින්නට වෙර දරන සමාජ වටපිටාවක. එවැනි පසුබිමක් තුළ ඉහත සඳහන් කළ ගැටලුකාරී තත්ත්වයන් කායික, මානසික හා සමාජීය පැවත්මට සෘජුව හා වක්‍රාකාරව බලපෑ හැකියි. දවසේ පැය විසිහතර පුරාවට අපි කරන්නේ ජීවත්වෙන්න ජීවිතය එක්ක ඔට්ටු අල්ලන එක. එවැනි වටපිටාවක ඔබ නිරන්තරයෙන් විඩාවට හා ආතතියට පත් වෙන්න පුළුවන්. ජීවිතය පස්සේ දුවලා හති වැටිලා ඇති වුණාම බොහෝ දෙනෙක් මානසික සුවය ලබා ගන්න හැකි විවිධ ක්‍රමවලට යොමු වෙනවා. යෝග අභ්‍යාස කියන්නේ සිතේ ඇතිවන විඩාව, මහන්සිය විතරක් නෙවෙයි සිරුරත් නිරෝගි කරවන ඖෂධයක් කිව්වොත් හරියටම හරි.

 

යෝග අභ්‍යාසයකින් ඔබට නැතිවු මානසික සුවය ලබා ගන්නත්, ආතතිය අවමකර ගනිමින් නිරවුල් මනසකින් යුතුව කටයුතු කිරීමටත් හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබ යෝග අභ්‍යාසයන්හි නිරත වීම තුළින් ඔබේ ජීවිතයට සුව සහනය ළඟාකර ගත හැකියි. මේ කියන්න යන්නෙත් ඒ විදිහට හිතට සුවයක් වගේම ගතට සුවයක් දෙන යෝග අභ්‍යාසයක් ගැන.

 

මෙම අභ්‍යාසයේ යෙදෙන කෙනකුගේ කායික සුවය පමණක් නොව මානසික බලය, අධිෂ්ඨානශීලිබව, ධෛර්යය වැඩිදියුණු කරයි. මෙම ආසනය ඕනෑම කෙනකුට පහසුවෙන් පුරුදු පුහුණු විය හැකිය. මෙම අභ්‍යාසයෙන් ලැබෙන විශේෂම ප්‍රතිලාභය වන්නේ මෙය ඇස් ආරක්ෂා කර දෙන අභ්‍යාසයක් වීමයි.

 

 

අද වන විට බහුතරයක් අපගේ තරුණ තරුණියෝ අක්ෂි දුර්වලතාවයෙන් පීඩා විඳිති. එයට ප්‍රධාන හේතුව වන්නේ අධික ලෙස ජංගම දුරකථන සහ පරිගණක තුළ පැය ගණනක් වාඩි වී ඒ දෙසටම දෙනෙත් යොමාගෙන සිටීමයි. එමඟින් අපගේ ඇස් ඉතා ඉක්මනින් දුර්වලතාවට පත් වෙනවා. මේ හේතුව නිසාමයි අද බොහෝ දෙනා උපැස් යුවළක ආධාරයෙන් ලෝකය දැකීමට පුරුදුව ඇත්තේ. අතීතයේදී මෙපමණ අක්ෂි කාච නොපැලඳි නමුත් අද වන විට අපගේ තරුණ තරුණියන් සෞඛ්‍ය, පිළිබඳ දරන වෙනස් ආකල්ප හේතුවෙන් විවිධ රෝගවලින් පීඩා විඳිති. අක්ෂි රෝගත් ඒ නොසැලකිල්ල නිසා ඇතිවූවකි.

පෙනීම ලබාදෙන දෙනෙත් ආරක්ෂාකර ගැනීම සඳහා සමබල ආහාර වේලක්, ජලය පානය කිරීම, හිසට තෙල් දැමීම සහ දෙනෙතට විවේකය ලබා දීම එකල නියමාකාරයෙන් සිදු වූ නිසයි ඔවුන්ගේ පෙනීම මෙතරම් දියුණුව ඇත්තේ. විශේෂයෙන් අද බොහෝ තරුණයෝ හිසට තෙල් නොදාන අතර ජෙල් ආලේප කරති. ඒ වගේම බොහෝ අය හිසකෙස් වර්ණ ගැන්වීමට විවිධ ඩයි වර්ග භාවිත කරයි. එමෙන් ඔවුන් නින්දට යන්නේ බොහෝ විට රාත්‍රි 10 පසු වීය. මේ සියලු දෙයින්ම සිදුවන්නේ ඇස්වලට බලපෑමක් ඇති වීමයි. එසේ හෙයින් ඇස්වල නිරෝගීබව වැඩිදියුණු කරගැනීම සඳහා විකල්ප ක්‍රියාමර්ගයක් ගත යුතුයි.

 

අද හඳුන්වාදෙන්නේ ඇසෙහි නිරෝගීබව වැඩිදියුණු කරන යෝග අභ්‍යාසයකි. මෙය ප්‍රාඨක අභ්‍යාසය යනුවෙන් ද හඳුන්වයි. මෙම අභ්‍යාසය ඇස්වල නිරෝගීභාවය සඳහාම යොදාගන්්නා අතර මෙමඟින් බොහෝ ප්‍රතිලාභ අත්විඳිය හැකිය. මෙහි අංග දෙකක් ක්‍රියාත්මකවන අතර දිවා කල අභ්‍යාසය ප්‍රාඨක අභ්‍යාසය යනුවෙන් හඳුන්වන අතර රාත්‍රි කාලයේදි කරන අභ්‍යාසය ජෝතීර්ය ප්‍රාඨක අභ්‍යාසය යනුවෙන් හඳුන්වයි.

 

යෙදෙන ආකාරය

 

මුලින්ම ඔබට පහසු භාවනා ආසනයක වාඩි වෙන්න. ඉන්පසු කොන්ද සෘජු කොට ඉදිරිය බලා සිටින්න. ඇස් පිල්ලම් නොගසා එක් ලක්ෂ්‍යයක් දෙස ඇස් දෙකට කඳුළු වැටෙනකම් බලාගෙන සිටින්න. එය කොළ පැහැති ගසක කොළයක් වන්නේ නම් එය ඔබේ අක්ෂි භාවනාවට ඉතාම වැදගත් වේ. එසේ කඳුළු ආ පසු ඇස් පියා ගන්න. නැවත වරක් ඊට වැඩි වෙලාවක් ඒ ගස දෙස හෝ එම ලක්ෂ්‍යය දෙස බැලීමට උත්සාහ කරන්න. ඇස් දෙකට වෙහෙසක් දැනෙන විට ඇස් දෙක පියාගන්න. මෙය උදෑසනම කළ හැකි නම් ඉතාම යහපත් වේ. ඉන්පසු තත්පර 10 - 15ක් ඇස් දෙකට විවේකය ලබා දී නැවත ප්‍රාඨක අභ්‍යාසය ආරම්භ කරන්න. දෙවැනි රූපයේ ආකාරයට ඇස් දෙකේ ඇහි බැම දෙක මැද බලන්න. සුළු වෙලාවක් එසේ සිට ඇස් පියා ගන්න. නැවත නාසයේ අග බලන්න. තුන්වැනි ඡායාරූපයේ ආකාරයට ඇස් දෙකේ වම් පැත්ත සහ දකුණු පැත්ත බලන්න.

 

ඉන්පසු ඇස් දෙක වමට කරකවන්න. යළි දකුණට කරකවන්න. ඇස් පියාගෙන ඇස් දෙකට විවේකය ලබා දෙන්න. අභ්‍යාසයේ යෙදෙන කාලය වැඩිකර ගන්න. මෙම අභ්‍යාසයකර මඳක් විවේක ගන්න. එම අවස්ථාවේ දෙඅත්ල එකිනෙක සම්බාහනයකර අත් දෙක ඇස්දෙක මත තබන්න. ඉන්පසු ජෝතීර්ය ප්‍රාඨක අභ්‍යාසය පුරුදු පුහුණු වෙමු.

 

ජෝතීර්ය ප්‍රාඨක අභ්‍යාසය කිරීම සඳහා ඉටිපන්දමක් සහ එය ඇස්මට්ටමට තබා ගැනීමට අවශ්‍ය උපකරණයක් සොයා ගත යුතුය. ඉන්පසු එම උපකරණය මත දල්වා ගත් ඉටිපන්දම තබන්න. දිවා කාලයේදී කළ ආකාරයටම ඇස් දෙකට කඳුළු එන තෙක් ඉටිපන්දම් දැල්ල දෙස බලා සිටින්න. ඉන්පසු ඇස්දෙක වසා ඇස් දෙකට විවේකයක් ලබා දෙන්න. දැන් නැවත ඉටිපන්දම් දැල්ල දෙස බලා එම ඉටිපන්දම් දැල්ල ඇහි බැමි දෙක මැද සිටින සේ මනසින් දකින්න. එසේ සිට දැන් ඇස් අරින්න. මෙය මාසයක් වැනි කාලයක් කිරීමෙන් ඉතා යහපත් ප්‍රතිඵල ලබා ගත හැකිය. ඉටිපන්දම් අභ්‍යාසය කරන විට අවට පරිසරය අඳුරින් තිබිය යුතුය.

 

මෙම අභ්‍යාසය යෝග අභ්‍යාසවල එන භාවනා ක්‍රමයක් ලෙසද සලකයි. එය එසේ සලකන්නේ මෙමඟින් මානසිකව ද සුවයක් ලබාදෙන නිසාවෙනි.

ඉගෙන ගන්නා වයසේ දරු දැරියන්ට ද මෙය යෝග්‍ය අභ්‍යාසයක් ලෙස සලකනුයේ මෙමඟින් ධාරණ ශක්තිය වැඩිදියුණු කරන නිසාවෙනි. දිනපතා උදෑසන 4.12 - 5.12 අතර කාලය ලෙස සලකන බ්‍රහ්ම මූර්තයෙන් මෙය පුහුණු විය හැකි නම් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය.

 

උපදෙස්
ආචාර්ය චාමින් වර්ණකුල
සෙත්සඳ යෝග නිකේතනය

 

 

ඡායාරූප - තිලක් පෙරේරා

නිරූපණය - චිරන්ජීවා