මට ලැබුණු මේ සම්මානය හීනයක් වගේ

අපේ නෙල්කා
අගෝස්තු 19, 2024

ක්‍රීඩා අතුරින් වැඩිම දරා ගැනීමේ ශක්තියක් තිබිය යුතු ක්‍රීඩාව වන්නේ බොක්සිං ක්‍රීඩාවයි. එහි ජය පරාජය තීරණය වන්නේ එල්ල කරන පහර මතය. ප්‍රබලයාගේ වේගවත් ප්‍රහාරය හමුවේ දුබලයා පරාජය ලබන බොක්සිං ක්‍රීඩාවට ජාත්‍යන්තරව ඇත්තේ ඉහළ පිළිගැනීමකි. එහෙත් දකුණු ආසියාතික රටවල එතරම් ජනප්‍රිය නොවුණු බොක්සිං ක්‍රීඩාව සඳහා අප රටේ ක්‍රීඩිකාවක් හට ඉහළම පිළිගැනීමක් හිමිවීම සුවිශේෂි සිද්ධියකි.

 

ටී. නෙල්කා ශිරෝමාලා.... ඇය ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පිටුවක් පෙරළු තවත් එක් සුවිශේෂී චරිතයක් බවට පත්වන්නේ ඔලිම්පික් ඉතිහාස පොතට එක් වෙමිනි. ඇය මෙලෙසින් ඔලිම්පික් ඉතිහාස පොතට එක් වන්නේ ශ්‍රී ලංකික කාන්තාවක් ලෙසින් බොක්සිං ක්‍රීඩා විනිසුරුවරියක් හා තරග තීරකවරියක් ලෙසිනි. ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා ප්‍රධාන පරීක්ෂකවරියක් ලෙස කටයුතු කරන ඇය මෙලෙසින් තරග විනිශ්චය සඳහා එක් වූයේ පසුගිය දා ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැති 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කරමිනි. එහිදී නෙල්කා ශිරෝමාලා ලෝකයෙන්ම හොඳම දෙවැනි විනිසුරුවරිය ලෙසින් සම්මාන දිනාගත්තේ මුළු ලෝකයේම ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය දිනා ගනිමිනි.

 

මේ ලැබු ඓතිහාසික ජයග්‍රහණය ගැන ඇය අපට සඳහන් කළේ මහත් සතුටිනි. ‘ඇත්තටම මේ සම්මානය හා තරග විනිශ්චයේදී ලැබූ අත්දැකීම ඉතාම විශේෂයි. ගිය වර පැවැති ඔලිම්පික් තරගයට මම තරග තීරකවරියක් හා විනිසුරුවරියක් ලෙස සහභාගී වුණා. එවර මට හිමි වුණේ හතරවැනි ස්ථානය. ‍මම තමයි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විනිසුරුවරියක් ලෙසත් තරග තීරකවරියක් ලෙසත් සහභාගී වූ පළමු කාන්තාව. මේ තරගයේදී තරග 8ක තරග විනිසුරුවරිය ලෙසත් තරග 30ක තීරකවරිය ලෙස තරග 38ක් නියෝජනය කිරීමට අවස්ථාව මට ලැබුණා. මේ තරග තිස් අටේදීම අපේ රටේ ධජය ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව ලැබුණා.

 

මේ තරගාවලිය සඳහා විනිසුරුවරියක් ලෙස තෝරා ගැනීම සඳහා වට කිහිපයක තෝරා ගැනීමේ පරීක්ෂණ පැවැත්වුණා. ඒ තරගවට කිිහිපයෙන්ම පසු මාව තෝරාගත් බව දැන ගත්තහම මට ඒක හිතා ගන්නත් බැරි ලොකු හීනයක් වගේ. මේ තරගවලියේදී අවසාන තරග 13ක් පැවැත්වුණා. ඒ තරග 13න් 12කටම ආසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වුණා. ආසියානු ක්‍රීඩකයන් සහභාගී වන තරග විනිශ්චය කිරීමට ආසියානු විනිසුරුවරුන්ට නොහැකි ලෙස ඔලිම්පික් කමිටුව නීති පනවා තිබෙනවා. ඒ නිසා මට තරග 13න් 12ක්ම විනිශ්චය කිරීමට අවස්ථාව හිමි වුණේ නැහැ. නමුත් මට අවසාන පුර්ව තරගය විනිශ්චය කිරීමට ලැබුණා. අවසාන පුර්ව වටයේදී ක්‍රීඩා කළ තරගකරුම අවසාන තරගයට තරග කළ නිසා අවසාන තරගය විනිශ්චය කිරීමට අවස්ථාව හිමි වුණේ නැහැ. ඒ නිසා තමයි මට පළමු ස්ථානය අහිමි වුණේ. මේ තරගවලියේ පළමු තරගය සඳහා කිලෝ ග්‍රෑම් 50 බර පන්තියේ තරගය විනිශ්චයට මට අවස්ථාව ලැබුණා. අමෙරිකාව හා ප්‍රංශය අතර තියුණු තරගයකින් අමෙරිකානු ක්‍රීඩකයා ජයග්‍රහණය ලැබුවා. තරග ප්‍රේක්ෂකයෝ පහළොස් දහසක් විතර බලාගෙන හිටියා. මම එක අවස්ථාවක ප්‍රංශ ක්‍රීඩකයාට අවවාද කිරීමක් කළා. නමුත් ඒ ප්‍රංශ ප්‍රේක්ෂයන් කිසිම කලබලයක් නැතුව නිහඬව බලාගෙන හිටියා. ඇත්තටම ඒ තරගය ප්‍රංශයේ පළමු බලාපොරොත්තුව. මේ වගේ අත්දැකීමක් ලැබීමත් මට ලැබුණු විශාල භාග්‍යයක්.”

 

‘රජරට බොක්සිං‘ වීරයා‘ ලෙසින් විරුදාවලිය ලැබූ ටී. සම්පත් නම් දක්ෂ බොක්සිං ශුරයාගේ දියණිය වන නෙල්කා බොක්සිං ක්‍රීඩාවට එක් වන්නේ තම පියාගේ අඩිපාරේ යමිනි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් බොක්සිං හෙවිවෙට් බර පන්තියේ ජාතික ශුරතාවය පිට පිට හත් වතාවක් දිනාගත් ටී. සම්පත් දක්ෂ බොක්සිං ක්‍රීඩකයකු පමණක් නොව රගර්, පාපන්දු ක්‍රීඩාවෙන් ද ජාතික තලය දක්වා ගමන් කළ ක්‍රීඩකයෙකි. ක්‍රීඩාවේ මුල අකුරු කියවමින් ගාල්ලේ රිපන් බාලිකා විද්‍යාලයෙන් ක්‍රීඩාවට එක් වූ නෙල්කා පාසලේ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන දස්කම් රැසක් දක්වා ඇත්තේ අනාගතයේදී දක්ෂ ක්‍රීඩිකාවක් බවට පත්වීමේ සලකුණු පෙන්වමිනි. නෙල්කාගේ ආදරණීය මව කුසුමා පද්මිණී ද සිල්වා මහත්මිය වසර දෙකකට පෙර දස සිල් මාතාවක් ලෙසින් පැවිදි දිවියට පත් වී ඇත්තේ කඩවත විශාඛා සරනි මෑණියන් ලෙසිනි. මේ වන විට දොළොස් හැවිරිදි දියණියකගේ ආදරණීය මවක් වන නෙල්කාගේ ආදර කැදැල්ලේ ඇයගේ ආදරණීය සැමියා චන්දන වික්‍රමනායක මහතා ද කටුකුරුන්ද පුහුණු පාසලේ විශේෂ කාර්ය බළකායේ සේවය කරමින් ඇයගේ සාර්ථක ක්‍රීඩා දිවියට අත්වැලක් සපයයි.

 

මෙලෙසින් දිගු ගමනක් ආ නෙල්කා ලැබූ ජයග්‍රහණ ද බොහෝය. ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා බොක්සිං කණ්ඩායමේ සාමාජිකාවකි. එසේම ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම බොක්සිං ක්‍රීඩිකාව සහ කාන්තා බොක්සිං කණ්ඩායමේ නායිකාවද වෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා විනිසුරුවරියන් හතර දෙනාගෙන් එක් අයකු වන නෙල්කා අප රට නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගයකට සහභාගී වූ ප්‍රථම ශ්‍රී ලාංකීය බොක්සිං විනිසුරුවරිය ද වෙයි. විනිසුුරුවරියක ලෙසින් ආරම්භ වූ ඇයගේ ගමන ඉතා දිගුය. මේ වන විට ලෝක බොක්සිං ශූරතා තරග 1500කට වැඩි ප්‍රමාණයක් විනිශ්චය කර තිබේ. එසේම දේශීය වශයෙන් තරගාවලි පන්දාහකට අධික ප්‍රමාණයක තරග තීරක සහ විනිසුරුවරියක ලෙසින් අති විශාල කාර්යයක් ඉටු කර තිබේ.

 

එයින් ඇයගේ ගමන නොනවතී. 1998 වසරේදි අැය ශ්‍රී ලංකා පොලිසියේ දක්ෂතම වෙඩි තබන්නියට හිමි සම්මානය ද ගැනීමට සමත් වන්නේ පොලිස් ක්‍රීඩා පොතේද තවත් පිටුවක් පෙරළමිනි. එසේම එය පොලිස් ක්‍රීඩා පිටිය වර්ණවත් කළ දක්ෂ ක්‍රීඩිකාවක ලෙසින් දැල්පන්දු බැඩ්මින්ටන් ක්‍රීඩාවන්ගේ වර්ණලාභිනියක බවට පත්වූයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් බවට පත්වෙමිනි. ඇය දකුණු සහ අග්නිදිග ආසියාවෙන් බිහිවූ ප්‍රථම කාන්තා වෘත්තීමය විනිසුරුවරිය බවට පත්වන්නේ ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම සහ තුන්වැනි පෙළ විනිසුරුවරියක ලෙසිනි. නෙල්කා ප්‍රථම වරට ඔලිම්පික් බොක්සිං තරගාවලියකට සහභාගී වන්නේ 2020 වසරේදීය. ටෝකියෝ හි පැවති අවසන් වූ තරග දෙකක විනිසුරු කාර්යය ඉටු කළ ලොව ප්‍රථම කාන්තාව බවට පත් වූ ඇය එම තරගාවලියේදී පිරිමි සහ කාන්තා තරග 13ක් විනිශ්චය කිරීම බොහෝ ක්‍රීඩා විචාරකයන්ගේ ද අවධානය දිනාගත් සිදුවීමකි. දක්ෂ විනිසුරුවරියක ලෙසත්, තරග තීරකවරියක් ලෙසත්, අගනා සේවයක් ඉටු කළ නෙල්කා මෙවර ලෝකයේ හොඳම දෙවැනි විනිසුරුවරිය බවට පත්වීමට කළ කැප කිරීම සුළු පටු නොවේ. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් ලෙසින් පොලිස් සේවයට විශාල සේවයක් ඉටු කරමින් ඇය සිදු කරන මෙහෙවර අතිමහත්ය. ක්‍රීඩාව වෙනුවෙන් තම ජීවිතයේ බොහෝ දෑ කැප කරමින් කාන්තාවක් ලෙසින් අභියෝගාත්මක ගමනක නිරත නෙල්කා, සමස්ත කාන්තා පරපුරටම ආදර්ශයකි. ඇයට ඒ වෙනුවෙන් ද බොහෝ සම්මාන හිමි වී තිබෙන අතර ඇය මේ ලැබූ සම්මානය ඇයට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම හිමිවූ ඉමහත් ගෞරවයකි.