ගින්දර වගේ මහ බස් පදින ඒකල පුංචි පූර්ණිමා

මුලින්ම ඩ්‍රයිවින් සීට් එකේ ඉඳගනිද්දී මට වයස අවුරුදු 5යි.
අනුරාධපුරය, කතරගම වගේ දුර පළාත්වලටත් යනවා
අගෝස්තු 19, 2024

 

සුක්කානම මත රැඳුණු සියුමැලි දෑතක්... ගින්දර වගේ බස් එකක්.. සුක්කානමෙන් වැඩ දාලා ඇය මේ පදින්නේ ජා-ඇළ කාවන් බස් එක. කාවන් කිව්වම නොදන්න බස් පිස්සෙක් නම් නැහැ. බස් පිස්සන්ගේ ලෝකයේ ඉහළින්ම තියෙන කාවන් පදින්නේ පුංචි කෙල්ලෙක්. වයසෙන් පුංචි වුණත් ඒ දෑත්වල තිබුණේ බස් වැඩේට හරි හුරුපුරුදු බවක්. ඇය ඒකල පදිංචි පූර්ණිමා අවිශ්කා. ගොඩක් බර වාහන පදින්න ලයිසන් ගත්තේ කොල්ලෝ වුණාට දැන් ඉන්න කෙල්ලෝ බර වාහන පදින්නේ හරි සැහැල්ලුවෙන්. ඇය ඊට හොඳම උදාහරණයයි. වැඩ දාලා බස් පදින පූර්ණිමාගේ කතාව ඔබ අහන්නම ඕනේ කතාවක්. ඇය කතාව පටන් ගත්තේ මේ විදිහට.

 

මේ බස් එක අපේ අයියලා දෙන්නගෙ නිර්මාණයක්. චූටි අයියා හදපු මේ බස් එක මම හරි ආසාවෙන් පදිනවා. මම බස්වලට ආදරය කරන කෙනෙක්. අනිත් එක මම පදින බස් එක හරි විශේෂයි. බයිසිකල්, ත්‍රීවීල්, කාර්, වෑන්, ලොරි සහ බස් මේ හැම වාහනයක්ම මට පදින්න පුළුවන්.

 

මොකක්ද මේ බස් එකේ විශේෂත්්වය?

 

බස් එකේ නම කාවන්. මේ බස් එක නොදන්න කෙනෙක් නැහැ. ඒ තරමටම හරි ප්‍රසිද්ධයි. ඒ ප්‍රසිද්ධිය ලැබිලා තියෙන්නේ බස් එකේ පෙනුම සහ සැප පහසුව නිසයි.

බස් එකට ෆුල් පේන්ට් එකක් කරලා තියෙන්නේ. ස්ටිකර්ස් මුකුත් අලවලා නැහැ. මේ බස් ගොඩක්ම යොදා ගන්නේ විනෝදයක් ලබන්න. ආයතනයක් වෙන්න පුළුවන්.. ගමක කට්ටියක් වෙන්න පුළුවන්... සමිතියක කට්ටියක් වෙන්න පුළුවන්. එයාලා යන ගමන්වලට විනෝදය සපයන්න. කට්ටියක් ට්‍රිප් එකක් යන්නේ කලාතුරකින්නේ. ඒ යන අයට උපරිම වින්දනයක් දෙන්න පුළුවන් විදිහටයි මේ බස් එක නිර්මාණය වෙලා තියෙන්නේ. සීට් හදලා තියෙන්නෙත් මඟින්ගේ සැප පහසුව ගැන හිතලා. කූල් බොක්ස්, ෆෝන් චාර්ජ් කරගන්න පුළුවන්. JBL සවුන්ඩ් සිස්ටම් එකකුත් තියෙනවා. බස් එක ඇතුළත වගේ බස් එක පිටතින්ද හොඳ ලයිට් සිස්ටම් එකක් තියෙනවා. ළඟදීම බස් එක ෆුල් ඒසි කරන්නයි අයියා හිතාගෙන ඉන්නේ.

 

කවුද එතකොට බස් පදින්න පුරුදු කළේ?

 

ඉස්සර ඉඳන්ම අප්පච්චි වාහන පදින්න පුරුදු කළා. බස් නෙවෙයි අනිත් වාහන ඕ‍ෙන එකක් අප්පච්චි පුරුදු කරලා තියෙනවා. අප්පච්චි මාව ඩ්‍රයිවින් සීට් එකේ ඉන්දවද්දි මට වයස අවුරුදු 5 - 6ක් වගේ ඇති. මම අවුරුදු 18 වෙනකම් බලාගෙන හිටියේ ලයිසන් එක ගන්න. ඉතින් 18 වුණ ගමන් මම සැහැල්ලු වාහන ලයිසන් එක ගත්තා. අයියලා බස් හදන්න ගත්තට පස්සේ තමයි මම බස් පදින්න පුරුදු වුණේ. ඒ කියන්නේ සාමාන්‍ය බස් අරගෙන ඒවා මොඩිෆයි කරලා හදන එක තමයි අයියලා කළේ. ඉතින් එහෙම බස් කීපයක් තිබුණා අපිට. දවසක් අයියා කිව්වා අපි බස් එකක් පැදලා බලමු කියලා අයියා තමයි මාව සීට් එක උඩින් තිබ්බේ.

 

කාවන් පදින්න අරගෙන දැන් කොච්චර කල් ද?

 

විසේකුරුට්ටා, කින්වොෂ් කියන බස් දෙකත් ඉස්සර අපේ ගෙදර තිබුණා. ඒවත් මම පැදලා බලලා තියෙනවා. කාවන් බස් එක පදින්න අරන් මම දැන් මාස අටක් වගේ ඇති. ඉස්සර උදේ හවස මේ බස් එක පාරේ දිව්වා. දැන් බස් එකට තියෙන ප්‍රසිද්ධිය නිසා ස්පෙෂල් හයර් විතරයි දුවන්නේ. ස්කූල් හයර්, කාර්යාල ප්‍රවාහන තමයි දැන් මම කරන්නේ. ගොඩක්ම ජා - ඇළ, කඳාන පැති අවට. එතකොට කතරගම, අනුරාධපුරය, යාපනය වගේ පැතිවලට ස්පෙෂල් හයර් වදිනවා. එතකොටත් ඉතින් මං යනවා. ඒ වගේ දුර යද්දි අයියා කෙනෙකුත් එනවා ඉතින්. මට අයියලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් බිමල් පද්මනන්ද. අනිත් අයියා ගිම්හාන් දේවින්ද.

 

බස් පදිනවට අම්මාගෙ විරුද්ධත්වයක් නැද්ද?

අපේ ගෙදර හැමෝම බස්වලට හරි ආදරෙයි. ඒක නිසා මම බස් පදිනවට එයාලගේ කිසිම විරුද්ධත්වයක් තිබුණේ නැහැ. මොකද අපේ ගෙදර හැමෝම හිටියේ ඒ වගේ පසුබිමකනේ. අම්මා ධම්මිකා කුසුම් චන්ද්‍රිකා. අප්පච්චි නන්දිම ජනවිජය. මම දිගටම බස් පදින්න කැමැතියි කිව්වම අම්මා කිව්වේ ඔයා ආසනම් එක කරලා බලමු පුතේ කියලා.

 

ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

 

තරුණ ගැහැනු ළමයෙක් බස් එකක් පදින්නේ හරි කලාතුරකින්නේ. ඉතින් සමහර අය මං දිහා පුදුම වෙලා බලනවා. ගැහැනු ළමයෙක් කියද්දී ගොඩක් අය හිතන්නේ ගේ ඇතුළටම කොටු වෙලා කෑම උය උයා මැහුමක් ගෙතුමක් කරගෙන ඉන්න ඕනේ කියලා. හැබැයි ඉතින් දැන් ඒක ගොඩක් වෙනස් වෙලා තියෙනවා. දැන් වැඩක් කරද්දි ඒකට ගැහැනු පිරිමි භේදයක් බලන්නේ නැහැ. හැමෝම එකා වගේ වැඩ කරනවා. ඉතින් ගොඩක් අය මං ගැන ලොකු ආඩම්බරයකින් කතා කරනවා. බස් පිස්සෝ කියලා බස්වලට ආදරය කරන වෙනමම පිරිසක් හිටියා. මම පදින කාවන් බස් එකත් එහෙම බස් පිස්සන්ගේ ආදරය ලැබුණ... ආදරය ලැබෙන බස් එකක්. ඉතින් මේ බස් එකත් එක්ක ෆොටෝ ගහන්න ගොඩක් අය කැමැතියි.

 

මේ ගමනේදි කඩා වැටුණු තැනුත් තියෙන්න ඇති...

මේ ගමනේදී කඩා වැටුණු තැන් බොහොමයි. ගොඩක් අය මට නරක වචනවලින් පවා බැණලා තියෙනවා. ගැහැනු ළමයි ගැහැනු ළමයි විදිහට ඉන්න ඕනේ. පිරිමි වෙන්න හදන්න එපා කියලා. ඉතින් හිත රිදුණු අවස්ථා එමටයි. බස් පදින්නේ නැහැ කියලත් හිතපු අවස්ථා තියෙනවා.

 

පාසල් කාලය ගැන කතා කළොත්...

 

මම පාසල් තුනකින් අධ්‍යාපනය ලබලා තියෙනවා. මොකද අපි පැති කිහිපයකම ජීවත් වුණා. කඩවත පාසලකට ගියා.. නුවර පාසලකට ගියා... 6 ශ්‍රේණියෙන් පස්සේ දිගටම ඒකල ඩි.ඩී. සේනානායක විද්‍යාලයට ඇතුළු වුණා. පාසල් කාලේ මම වැඩි අවධානයක් යොමු කළේ විෂයය බාහිර ක්‍රියාකාරකම්වලට. ක්‍රීඩාව පැත්තෙන් ගත්තොත් හැම ක්‍රීඩාවකටම වගේ සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ශිෂ්‍ය නායිකාවක් වෙලාත් හිටියා.

 

බස් පැද්දට පූර්ණිමා කේක් සැකසුම් ශිල්පිනියක්....

 

කවුරුත් නොදන්නවා වුණාට මම මගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යනවා. මම කේක් ව්‍යාපාරයක් කරන්නේ. ඉතින් ව්‍යාපාරයෙන් ලොකු දුරක් යන්නත් හිතාගෙන ඉන්නවා. ඕඩර්ස්වලට කේක් හදනවා. සෑහෙන ඇණවුම් ප්‍රමාණයක් මට ලැබෙනවා. කේක්වලට මම වෙනම fb page එකකුත් කරගෙන යනවා. Sweet paradise නමෙන් තමයි මම ඒ කේක් පේජ් එක කරගෙන යන්නේ. බස් පදින එකයි කේක් හදන එකයි කියන්නේ එකිනෙකට වෙනස් විෂයයන් දෙකක්. හැබැයි මම ඒ දෙකම කරන්නේ හරිම ආසාවෙන් නිසා මට ඒ දේවල්වලට වෙලාව හොයාගන්න එක අපහසු දෙයක් නෙවෙයි.

 

බස් පදින්න ආස කෙල්ලෝ තව ඕ‍ෙන තරම් ඇති.. මොනවද එයාලට කියන්න තියෙන්නෙ?

අම්මලා, තාත්තලගේ බල කිරීම නිසා, යාළුවෝ අසල්වැසියෝ මොනවහරි හිතයි කියලා තමන් ආස කරන දේවල් හංගගෙන අකමැති ක්ෂේත්‍රවල නියැළිලා ඉන්න අය ඕ‍ෙන තරම් මාත් එක්ක කතා කරලා තියෙනවා. එයාලා මට කියන්නේ අනේ අපිටත් ඔයා වගේ ඉන්න පුළුවන්නම් කොච්චර දෙයක් ද කියලා. ඉතින් තමන්ට තියෙන දක්ෂතාවයෙන් සහ තමන්ගේ ආශාවෙන් මොකක් හරි ක්ෂේත්‍රයකින් ඉදිරියට යන්න පුළුවන්නම් ලොකු අනාගතයක් තියෙනවා. මම කියන්නේ දෙයක් කරන්න ආස නම්, කරන්නේ හොඳ දෙයක්නම් ඒකට පළමු පියවර තබන්න කියලා.

 

 

ඡායාරූප - ශාන් රූපස්සර