ගැහැනු කවි ලියන එක මැජික් එකක්ද ?

කාල රේඛාව තරණය කළ කාංචනා අමිලානි
අගෝස්තු 19, 2024

 

ඇය අමුතු කවි එක්ක බැඳුණු අමුතුම ශෛලියක් ඇති කවිකාරිනියකි. ඒ වගේම දක්ෂ කෙටිකතාකාරිනියකි. නවකතාකාරිනියකි. ඒ වගේම සයිබර් කිවිඳියකි. එමෙන්ම ඇය ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතේ විශේෂාංග අංශයේ මාධ්‍යවේදිනියක ලෙස සුවහසක් පාඨකයන් වෙනුවෙන් හරවත් ගුණවත් ලිපි සැපයූ ලේඛිකාවකි. ඇය කාංචනා අමිලානි.

කාංචනා අමිලානි මේ වන විට ලියා ඇත්තේ ‘ගුහා සටන’ නවකතාව පමණක් වුවද අද්විතීය පරිකල්පනයක පලයක් වූ එම කෘතිය ඔස්සේ පාඨක විචාරක අවධානය තමන් වෙත යොමු කර ගැනීමට ඇය සමත් වූවාය.

ඇගේ ‘ගම්මිරිස් කුරුල්ලා’ කෙටිකතා සංග්‍රහයත් ‘ප්‍රේමයේ කාර්තු’ සහ ‘බූමරංගය ඔබේ ඇස් දෙක’ කාව්‍ය සංග්‍රහත් ඇය විවිධ තේමාත්මක, භාෂාත්මක හා භාවාත්මක කලාපයන්හි සැරිසරමින් සංකීර්ණ අත්දැකීම් පාඨකයා වෙත නැවුම් විලාසයන්ගෙන් රැගෙන ඒමේ ශක්‍යතාව ප්‍රකට කර ඇත. 'කාල රේඛාව' ඇය කාලයකට පසුව එළිදැක්වූ කාව්‍ය සංග්‍රහයයි. මේ අමිලා ඇගේ නවතම කෘතිය ගැන අදහස් බෙදා ගැනීමට එක් වූ අවස්ථාවයි.

කාල රේඛාව කාලෙකට පස්සේ ඔබ සමාජයට තිළිණ කරන කවි පොත. ඇත්තටම දැන් සමාජය කවිය කියන එක පිළිගන්නව ද?

‘කාල රේඛාව’ එන්නෙ මගේ දෙවැනි කවි පොත ‘බූමරංගය, ඔබේ ඇස් දෙක’ ඇවිත් අවුරුදු හතකට පස්සෙ. ඒක තරමක් දීර්ඝ කාලයක් කියලා මට හිතෙනවා.

වර්තමාන සමාජය පෙර පැවති සමාජයට වඩා කවිය පිළිගන්නවා කියලා මම හිතනවා. ඇත්තම කිව්වොත් දැන් කවිය සහ කවියා කියන දෙවර්ගයම සමාජය පිළිගන්න බවක් පේන්න තියෙනවා. මේකෙන් සමහර වෙලාවට කවියට කලින් කවියා ඉස්සරහට එනවා. කවියා වටේට වටිනාකම් ගොඩකුත් එකතු වෙලා තියෙන බවක් පේන්න තියෙනවා. ඒ වගේම මේකෙ හොඳ-නරක දෙකම තියෙනවා.

කවිය සමාජය පිළිගන්න බවට මට උදාහරණ කීපයක් දෙන්නත් පුළුවන්. දැනට අවුරුදු 10 - 20ට කලින් කවි පොතක් මුද්‍රණය කරගන්නෙක සෑහෙන අමාරු වැඩක්. ප්‍රකාශන සමාගම් කවි පොත් කියපු ගමන් මූණ ඇඹුල් කර ගන්නවා. හේතුව, කවි පොත් විකිණෙන්නෙ නැති එකයි. හැබැයි දැන් වෙනකොට කවි පොත් ගණනාවකම හය-හත් වැනි මුද්‍රණ පවා වෙළෙඳපොළට ඇවිත් තියෙනවා. කවියේ වෙළෙඳපොළ ඉක්මනින්ම විතැන් වෙලා තියෙනවා. කවිය සමාජය ඇතුළේ මොකක් හෝ ක්‍රියාදාමයක් සිද්ධ කරමින් ඉන්නවා කියන එකට ඒක උදාහරණයක්. මේකට සමාජ මාධ්‍යවල මැදිහත් වීම සෑහෙන ලොකුවට බලපෑවා. අන්තර්ජාලය බිම් මට්ටමට ආපු එකත් ඒ වගේම බලපෑවා. දැනුම බෙදාහැරීමේ ඒකාධිකාරිය මොඩර්න් වීමත් මේකට බලපෑවා. මේ අලුත් බලපෑම්සහගත කවිය වේගයෙන් මහා සමාජයටත් දැන් ඇතුළු වෙලා කියලා මම හිතනවා.

ඔබේ ප්‍රධාන ආත්ම ප්‍රකාශන මාධ්‍යය කවිය යැයි මා සිතනවා?

ඒක හරියටම හරි. ලිවීමේදී ‘ඇත්ත මම’ ඉන්නෙ කවිය එක්කයි කියලා මමත් හිතනවා. නවකතාවෙදි හරි කෙටිකතාවෙදි හරි මට වෙනස් කෙනෙක් මවලා පෙන්නන්න ශානරීය ඉඩක් තියෙනවා. ඒක හරිම විනෝදකාමීයි. ඒත් කවියට එනකොටම මම සන්සුන් වෙනවා. හරියට වතාවතක් වාගේ කවියට පේ වෙනවා.

කවිය මගේ ප්‍රධානම ආත්ම ප්‍රකාශන මාධ්‍ය විදිහට මගෙත් එක්ක විශාල කාලයක් ඇවිදගෙන ඇවිත් තියෙනවා. ඒ නිසාම වර්තමාන සමහර කවිවලින් කියවන්නාට මාව කියවාගන්නත් පුළුවන් වෙනවා. ඒකට ඉස්සර මම කැමති නෑ. ඒත් දැන් ක්‍රම ක්‍රමයෙන් ඒ ගැන තිබ්බ අකමැත්ත දියවෙලා ගිහිල්ලා තියෙනවා.

ඒ වගේම මගේ ප්‍රධාන ප්‍රකාශන මාධ්‍ය කවිය වුණ නිසා සෙසු මාධ්‍යවලට ඒකෙන් යම් වාසියක්, ආලෝකයකුත් ලැබිලා තියෙනවා. වඩාත් පැහැදිලිව කිව්වොත් හැම මාධ්‍යයකට මම පිවිසෙන්නෙ කවියෙනුයි. ඉතිං ඒ වාසිය මම දිගින් දිගටම අරගන්නවා.

 

බොහෝ දෙනෙක් කියනවා සමාජ මාධ්‍යයේ නැඟීම කවියේ බැසීමට හේතු වුණා කියලා. ඔබ සමාජ මාධ්‍යයත්, කවියත් දෙකම ඇසුරු කරන කෙනෙක් විදිහට මොකද ඒ ගැන හිතන්නේ?

මම හිතන්නෙ ‘කවිය’ හැමදාම එකයි. කවිය හැම තිස්සෙම එක්තරා ස්ථානයක හිටියා. ලියන්න පාවිච්චි කරන මාධ්‍ය නොයෙක් යුගවල වෙනස් වුණ එක තමයි සිද්ධ වුණේ. කලින් කවියක් පළ කර ගන්න තිබ්බ එකම මාධ්‍ය වුණේ පත්තර. මෙතැනදී විශාල තෝරාගැනීමකට වගේම නිර්ණායක ගණනාවකට යටත් වෙන්න සිද්ධ වුණා. ඒ වගේම කවියක් පත්තරේක පළ වෙන්නත් ලොකු කාලයක් ගත වුණා. කවි පොතක් මුද්‍රණය කර ගැනීම ඊටත් අසීරු දෙයක් වුණා. එහෙම බැලුවම අතීතයේදී කවියෙක් වෙන එක ලේසි වැඩක් නෙවෙයි.

නමුත් වර්තමානෙට එනකොට අන්තර්ජාලයේ ප්‍රචලිත වීමත් එක්ක සමාජ මාධ්‍ය හරහා බොහොම පහසු මාර්ග විවෘත වුණා. යුනිකෝඩ්වලින් ලියන්න පටන් ගැනීම ඊළඟ පිම්ම. මේ ඔක්කොම එක්ක මාධ්‍යවේදීන්ට, ලේඛකයන්ට විතරක් විවෘත වෙලා තිබ්බ ලිවීම පොදු ජනතාවට, සිවිල් වැසියන්ට විවෘත වුණා. ඕනෑම කෙනෙකුට ෆේස්බුක් එකේ, ට්විටර් එකේ, මීඩියා එකේ කවියක් ලියන්නත්, ඒ හරහා ක්ෂණික රසික සමාජයක් හදාගන්නත් පුළුවන් වුණා. මේ ක්ෂණිකව යමක් පබ්ලිෂ් කිරීමේ ගතිගුණය නිසා මේ වැඩේ සෑහෙන ජනප්‍රිය වුණා. ඒ වගේම ඒ හරහා නොයෙක් අගතීන් එකතු වුණා. හැබැයි ඒකට කවියේ බැසීම හරි පරිහානිය කියන්න බැහැ.

නව කවි ප්‍රවණතා වගේම අලුත් කවියෝ පොකුරු විදිහට සමාජෙට විවෘත වුණා. මේ පොකුරු අතරින් ‘හොඳ කවි’ තෝරාගැනීම අයිති කියවන්නාටයි. කොයිකාලෙත් ඒ වැඩේ කළේ කියවන්නෝයි. මම හිතන්නෙ ලියන්න මොන මාධ්‍ය පාවිච්චි කළත් මොන විදිහේ කවි ලිව්වත් ඒවා හොඳද, නැතිද කියලා තෝරන එක කියවන්නාගේ වැඩක්. ඒ තෝරාගැනීම හරහාමයි අපිට තීරණේකට එන්න වෙන්නෙත්.

සමාජ මාධ්‍ය නිසා කවියට අලුත් දොර, ජනෙල් විවෘත වුණා කියනෙකයි මගේ අදහස. මං ආයෙත් කියනවා, මේ හරහා එන හොඳ හෝ නරක ‍තෝරාගන්නෙක කියවන්නාට අයිති රාජකාරියක්.

 

කාන්තාවක් කවියෙක් වුණාට පස්සේ බැරියර්ස් තියෙනව ද?

 

කාන්තාවක් කවි ලිවීම මැජික් එකක් වුණ කාලයක් තිබුණා. හැබැයි දැන් අපි ඒ පුදුම කාලය පහුකරලා ඇවිල්ලා තියෙන්නෙ. කාන්තාවක් වීම නිසාම කවි ලිවීමට යම් කෙනෙකුට මානසික බාධා තියෙන්නෙ පුළුවන්. ඒත් දැන්-දැන් දකින්න තියෙන අලුත් පරම්පරාවල කවියෝ මේ ස්ත්‍රී/පුරුෂ බව ඒ තරම් සලකන්නෙ නෑ. ඒක මේ යුගයේ හැටියක්.

මට අනුව නම් එහෙම විශේෂ බැරියර් එකක් නෑ, හැබැයි කාන්තාවක් කවියෙක් වුණාට පස්සෙ බැරියර්ස් තියෙනවා කියලා කාටහරි හිතෙනවා නම් හොඳම දේ ඒක කඩාගෙන, බිඳගෙන යන එක තමයි.

 

කවියකුට පුළුවන්ද සමාජය වෙනස් කරන්න?

 

කවියෙකුට සමාජය වෙනස් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නෑ. කොහොමත් කවියෙක් සමාජය වෙනස් කරන්න හිතාගෙන කවි ලියනවා නම් එයාට කවියෙක් කියලා කියන්නත් බෑ. සමාජය වෙනස් කිරීම කවියකුගේ කාර්යභාරය නෙවෙයි. කවියෙක් කරන්නෙ නොපෙනෙන දෙයක් පෙන්නන එක, සාමාන්‍ය දෙයක් අතිශය අසාමාන්‍ය දෙයක් කරලා කියවන්නාට ඉදිරිපත් කරන එක, කියවන්නාගේ මනස සිතීමේ කලාපයකට එක්කගෙන යන එකයි. කොටින්ම කවියෙක් කරන්නෙම හිතන්න පොලඹවන එක මිසක් අහවල් දේ කරන්න කියලා අණ කරන එක නෙවෙයි. ඉතිං මේ අර්ථයෙන් ගත්තම කවියෙක් සමාජය වෙනස් කරන්න ඕ‍ෙන නෑ. පණිවුඩ දෙන්නෙක් වෙන්න ඕ‍ෙනත් නෑ. මොකද ඒක එයාගෙ රාජකාරියක් නෙවෙයි. කවිය පරිහානියට පත්වෙන්නෙ ඔන්න ඔය වගේ පණිවිඩ දෙන වැඩ, බණ කියන්න යන එකෙන් කියලයි මම හිතන්නෙ.

 

 

ඡායාරූප - දුෂාන්ත විජේසූරිය