අභියෝග උඩින් ජාත්‍යන්තර පිම්මක් පැන්න

සචිත්‍රා හර්ෂනි
අගෝස්තු 26, 2024

 

පසුගියදා ආරම්භ වූ ලෝක ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවලිය ස්වීඩනයේ ගැටම්බක්හිදී පවත්වන ලදී. 25 වැනි වරට පවත්වනු ලබන මේ තරගය අගෝස්තු මස 25දා දක්වා පවත්වන ලදී. රටවල් 28ක තරගකරුවන් විශාල සංඛ්‍යාවක් සහභාගී වූ මේ තරගාවලියේදී තරග ඉසව් ගණනාවක් විවිධ වයස් සීමාවන් යටතේ පවත්වන ලදී.

 

මේ තරගාවලියේ දුර පැනිමේ කාන්තා ඉසව්ව සඳහා සහභාගී වූ ඩි.ජී. සචිත්‍රා හර්ෂනි ජයකාන්ත ක්‍රීඩකාව රිදී පදක්කම දිනා ගත්තේ වයස අවුරුදු 40-44 කාන්තා නියෝජනය කරමිනි. මේ ජයග්‍රහණ ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ දුර පැනීමේ ඉසව්ව සඳහා ජාත්‍යන්තර තරගාවලියකදී ලැබූ පළමු ජයග්‍රහණය ලෙස මෙය සටහන් වන බැවිනි. ශ්‍රී ලංකා පොලිස් මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කළ හර්ෂනි ජාතික මට්ටමෙන් ජයග්‍රහණ රැසක් ලබා ගත් ක්‍රීඩකාවක් ලෙසින්ද පොලිස් ක්‍රීඩා උලෙළේදී ජයග්‍රහණ රැසක් හිමිකරගත් ක්‍රීඩිකාවක් වන අතර ඇය ලැබූ මෙම ජයග්‍රහණ ඇයට පමණක් නොව ශ්‍රී ලංකාවට ද විශේෂිත වූ ජයග්‍රහණය. ඇය මෙම තරගයේදී මීටර් 5.24ක් වාර්තා කළ බව ස්වීඩනයේ ලෝක මලල ක්‍රීඩා වාර්තා පොතේ සටහන් විය.

 

ඇයගේ මේ සුවිශේෂී ජයග්‍රහණයෙන් පසු මුලින්ම තරුණී පුවත්පතට කතා කරමින් එම ජයග්‍රහණයේ සතුට අප සමඟ බෙදා ගත්තේ මහත් සතුටිනි.

 

“මේ ජයග්‍රහණය මම ලබා ගත්තේ ඉතාම අසීරුවෙන්. මම පොලිස් මලල ක්‍රීඩා කණ්ඩායමේ සිටින ක්‍රීඩිකාවක් ලෙස ලැබුණු සහයෝගය හැර කිසිම අනුග්‍රහයක් නැතුව තමයි මේ තරගය සඳහා සහභාගී වුණේ. මාත් සමඟ ප්‍රියංගිකා කුමාරි ක්‍රීඩිකාවක් මේ තරගාවලියට සහභාගී වුණා.

 

නමුත් ලෝකයේ වෙන රටවල ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට දක්වන සැලකිල්ලම දක්වනවා. අපේ රටේ මම ලබා ගත් මෙම ජයග්‍රහණය ගැන කවුරුවත් දන්නේවත් නැහැ. මම ක්‍රීඩාව කරන්න පටන් ගත්තේ අවුරුදු 08ක් තරම් වසයේදී. මිනුවන්ගොඩ පින්වත්ත කනිෂ්ඨ විද්‍යාලයෙන් ආරම්භ කරලා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලිය දක්වා එන්න මට ශක්තියක් වුණේ අම්මයි, තාත්තායි, අක්කලා දෙන්නයි.

මම 2008 තමයි ශ්‍රී ලංකා පොලිස් සේවයට එක් වු‍ෙණ්. මුලින්ම මගේ පුහුණුකරු ලෙස ඔගස්ටින් අප්පුහාමි සර් කටුයතු කළා. ඉන් පසුව රෝහිත ප්‍රනාන්දු සර් තමයි මේ දක්වාම මගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ.

 

මම ජාතික මට්ටමේ ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් ලබාගෙන ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒ වගේම මට සාක් තරගාවලියට සහභාගීවීමට තිබු අවස්ථා කිහිපයක් ආසාධාරණ ලෙස අහිමි වුණා. ඒ අසාධාරණකම් නිසා කාලයක් මම ක්‍රීඩාවෙන් ඉවත් වෙලා හිටියා. නමුත් මගේ රට ගැන හිතලා නැවතත් පුහුණුවීම් කටයුතු කරලා තමයි මම මේ තරගයට එක් වුණේ. මගේ හොඳම දුර ප්‍රමාණය මීටර් 5.33ක්. නමුත් ස්වීඩනයේ තිබුණු ශීතල කාලගුණය නිසා ඒ දුර ප්‍රමාණයට ළඟා වෙන්න බැරි වුණා. තරගයේ ජය ලැබූ පළමු ජයග්‍රාහිකාව වාර්තා කළේ 5.33 කාලයක්. නමුත් මම සතුටු වෙනවා. මේ තරම් අභියෝග මැද කෙසේ හෝ ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවීම ගැන.”