වර්ෂ 2024 ක්වූ November 11 වැනිදා Monday
Sex Life එකක් ඕනේ නම් මහගෙදර ඉන්න එපා
විවාහය කියන්නේ ජීවිතය විවිධ පැතිවලට හැරවිය හැකි සංධිස්ථානයක්. මේ හැරවුම් ලක්ෂ්‍යයේදී කෙනෙක්ගේ ජීවිතය හරිම සුන්දර වෙන්නත් තවත් කෙනෙක්ගේ ජීවිතය අසුන්දර වෙන්නත් පුළුවන්.. ඒක විවාහ දිවියට එළැඹෙන ගැහැනියට, පිරිමියාට දෙදෙනාටම පොදුයි. ඒ නිසයි විවාහයට එළැඹෙන දෙෙදනකු අතර මනා අවබෝධයක් තිබිය යුතුයි කියා කියන්නේ.
මේ දෙන්නා එන්නේ පවුල් පරිසර දෙකකින්.. දෙදෙනාගේ සමාජ මට්ටම, පවුල් පරිසරය, සිතුම් පැතුම්, අධ්‍යාපන මට්ටම, ගති ස්වභාවයන් මේ හැමදේම වෙනස්. ඉතින් බැන්දාම දෙන්නෙක් එක්කෙනෙක් වෙනවා කිව්වට ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. මොකද මේ දෙන්නා දෙවිදිහකට ඉපදිලා.. දෙතැනක ජීවත් වෙලා එක නිවෙසක පදිංචියට එන දෙන්නෙක්. ඉතින් මෙතැනදී වෙන්නේ එක එක්කෙනාගේ සිතුම් පැතුම් හඳුනා ගනිමින් දෙදෙනාට දෙදෙනාම ගරු කරමින් කැමැති, අකමැති දේවල් හඳුනා ගනිමින් ජීවිතය අවබෝධයෙන් ගෙනියන එක. හැබැයි ඒ අවබෝධය නැති තැන පවුලක් තියෙන්නේ නැහැ..
ගැහැනියක් වුණාම තමන්ගේ සැමියා ගැන, දරුවන් ගැන, එතකොට සැමියාගෙ මව්පියෝ ඒ ගෙදර ඉන්නවනම් ඒ අය ගැනත් බලන්න ඕනේ. හැබැයි ඒ හැමදේම බලන ගමන් තමන්ටත් ආදරය කරන්න ඕනේ.
අම්මා කෙනෙක් තමන්ගේ දරුවෝ බලාගෙන.. රැකියාවකුත් කරලා.. උදේට උයලා පිහලා හැමදේම කරන්නේ තමන්ව අතහැරලා නම් ඒකත් ඇති පවුලක් කැඩෙන්න. මොකද ඒ හැමදේම ඒ අම්මා කරන්නේ අනුන්ට.. ඒ අම්මා හැම රෑකම අඬනවා මගේ කාලේ දැන් ගෙවිලා ගිහිල්ලා ඉවරයි.. මම හැමදේම කළේ අනිත් අයට. මම කිසි දෙයක් මට කරගත්තේ නෑනේ කියලා. මම ලස්සන ඇඳුමක් ඇඳලා නැහැ. මම පාර්ක් එකකට ගිහින් නැහැ. විනෝද ගමනක් ගිහින් නැහැ. ඉතින් මම මාවම අතහැරලා තියෙන්නේ. ඉතින් මුලින්ම තමන්ට ආදරය කරන්න. අපි අපිට ආදරය කළොත් තමයි අනිත් අයටත් ආදරය කරන්න පුළුවන් වෙන්නේ.
සමහර කාන්තාවෝ ඉන්නවා සැමියයි දරුවයි නැතුව එළියටවත් බැහැපු නැති. එහෙම තනියම කොහේවත් යන්නවත් එයාලට නිදහසක් ලැබිලා නැහැ. ඉතින් අපිව සතුටින් තියාගන්නේ නැතුව ඒ ජීවත්වීමෙන් වැඩක් නැහැ.
පවුලක් ගෙනියන එක එක්කෙනෙක්ගේ වගකීමක් නෙවෙයි. ඒක මුළු පවුලෙම වගකීමක්. මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගය ලියන දරුවෙක් ඉන්නවනම්, එයා වෙනුවෙන් අනිත් අය කැප වෙන්න ඕනේ. නංගී මේ අවුරුද්දේ විභාගය ලියන නිසා මේ අවුරුද්දේ අපි කොහෙවත් ඇවිදින්න යන්නේ නැහැ. එයා පාඩම් කරනවනේ. එයාව දාලා යන්න බෑනේ අපිට. පවුලේ වැඩිමල් දියණිය ඉන්න ඕනේ මෙෙහම. බිරිය ගැහැනියක් නම් සැමියා හිතන්න ඕනේ අනේ එයාට හදිස්සියක් වුණොත් එහෙම, ඒ නිසා මෙදාසැරේ යන්න හිටපු ගමන් ටික එයා වෙනුවෙන් කල්දාන්න ඕනේ. ඒ වගේ ආත්මාර්ථකාමීත්වයෙන් තොර පවුලක් විදිහට අනෙකා වෙනුවෙන් කැප වෙන්න ඕනේ.
එතකොට පවුලේ එක එක්කෙනා කැමැති අකැමැති දේවලුත් තේරුම් ගන්න ඕනේ. මෙයා කැමැති මොන කෑමවලට ද මෙයා අාස මොන සිංදුවලට ද, මෙයා ඇවිදින්න ආස කොහෙද කියන දේවල් ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ දේවල්වලින් පවුලේ සහයෝගය ගොඩනැඟෙනවා. දෙන්නෙක් විවාහ වෙන්නේ එක හා සමාන පවුල් පරිසරවලින් නොවෙයි. විවාහ වුණාම දෙන්නෙක් එක්කෙනෙක් වෙනවා කියලා කිව්වට ඒක කවදාවත් වෙන්නේ නැහැ. එතැනදී වෙන්නේ දෙන්නා දෙන්නාගේ නොගැළපීම් අඩුපාඩු ගළපාගෙන ජීවිතය ඉදිරියට පවත්වාගෙන යෑමයි. “ඔයාගේ අම්මලා මෙහෙමයි.. මගේ දෙමව්පියෝ කොයිතරම් හොඳ ද” ඔහොම කිය කියා දෙන්නට දෙන්නව පහත් කරලා කතා කරන්න ගියොත් ඒක දරුවන්ටත් බලපානවා. ඉතින් හතර වරිගෙම නෑයන්ට අපි ආදරය කරන්න ඕනේ. දෙන්නෙක් විවාහ වෙන්න කලින් හිතන්න ඕනෙම දේ තමයි මෙයා මගේ දරුවන්ගේ අම්මා වෙන්න සුදුසු ද? මෙයා මගෙ දරුවන්ගේ තාත්තා වෙන්න සුදුසු ද? නිතරම මත්පැන් බොන, සිගරට් බොන, කෙනෙක් කොහොමද මගේ දරුවන්ගේ තාත්තා වෙන්නේ. උදේට නැඟිටින්න කම්මැලි.. මුළු පඩියෙන්ම ඇඳුම් ගන්න කෙනෙක් කොහොමද මගේ දරුවන්ගේ අම්මා වෙන්නෙ කියලා. ඒවා බඳින්න කලින් හිතන්න ඕනෙ දේවල්.
ගෙදර පවුල ශක්තිමත් වෙන්න පවුල ඇතුළෙත් දේශපාලනයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ වටේ පිටේ මොනවද වෙන්නේ කියලා අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ ඔස්සේ ගෙදර ආර්ථිකය ගැන කතා කරන්න ඕනේ. වටේ පිටේ වෙන දේවල් ගැන කතා කරන්න ඕනේ. ඒ කතාබහ තුළින් පවුලේ අසමගිකම් ගොඩක් අඩු වෙනවා. ඒ නිසා සාර්ථක පවුල් දිවියක් සතුටින් ගත කිරීමට අනෙකාගේ සිතුම් පැතුම් හඳුනාගනිමින් අනෙකා වෙනුවෙන් කැපවෙමින් අවබෝධයෙන් කටයුතු කරන්න.
එතකොට මේ විවාහපත් වන ජෝඩුව ඉන්නේ සැමියගේ ගෙදර නම් ඒ කියන්නේ සැමියාගෙ අම්මා ඉන්න තැන නම් මේ පවුල ඇතුළේ තියෙන ගැටුම තව වැඩි වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට කුස්සියට ගියාම නැන්දම්මාගේ ක්‍රමය පිළිවෙළක් නැති වෙන්න පුළුවන්. සමහරවිට ලේලි පිළිවෙළ වෙන්න පුළුවන්. හැබැයි මේකේ අනෙක් පැත්තත් වෙන්න පුළුවන්. මැල්ලුම් කපන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒ ගෙදර වැටකොළු කපන විදිහෙත් වෙනසක් තියෙන්න පුළුවන්. එතකොට නැන්දම්මා කිව්වොත් “අපි වැටකොළු කෑවේ මෙහෙමයි උඹත් මේ විදිහට කාපන්” කියලා. ඒක හරි වැරදි. නමුත් අපිට පුළුවන් අලුත් අලුත් ක්‍රමවලට මාරු වෙන්න. සමහරවිට ලේලිට පුරුදු සතියක ඇඳුම් එකට හෝදලා නමලා තියෙන එක නම් නැන්දම්මා දකින දකින තැන්වල රෙදි දානවා වෙන්න පුළුවන්. ලේලි ලස්සනට අස් කරන ගෙදරට මාමණ්ඩි මඩ පිටින් එනවා වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් අලුත විවාහ වූ කෙනෙක්ට හරි පීඩාකාරියි. ඒ වගේ තැනකදි ගැහැනු ළමයෙක් හරි අසරණයි. ඔයා සතුටින් ඉන්නවද දුව කියලා තමන්ගේ අම්මා ඇහුවාම සතුටින්මත් නෙවෙයි අම්මා පොඩ්ඩක් මහන්සියි කිව්ව ගමන් ඒ අම්මලත් දුවගෙන ඇවිත් අපි ළමයි හැදුවේ මේ විදිහට වෙන්න නෙවෙයි කිව්වොත් මේ අලුත් යුවළ මේ මව්පියෝ දෙපිරිස මැද අතරමං වෙනවා.
සැමියාගේ ගෙදර ඇතුළේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා. දික්කසාද වුණ අක්කා ඉන්නවා. බැඳපු නැති නංගි ඉන්නවා. තව නැන්දා කෙනෙකුත් ඉන්නවා.. එතකොට සීයලා ආච්ව්ලා. ඉතින් ඒ ගෙදර ඇතුළේ පොඩි සද්දයක් ඇහුණත් ටක් ගාලා කවුරු හරි අහනවා මොකක්ද ඒ සද්දේ.. ඉතින් තරුණ විවාහක දෙන්නෙක් ඉන්නේ කොහොමද? තව සමහර අය කියනවා මම කායික සම්බන්ධතා පැවැත්වුවාට පස්සේ මට ඇඟ හෝදගන්න වෙනවා. එතකොට මම රෑ ඇඟ හෝදන්න හරි නාන්න හරි ගියාම ගෙදර ඔක්කොටම උත්තර දෙන්න ඕනේ රෑ නාපු එකට. ඉතින් ඒකට උත්තර දෙන එක වෙහෙසක් සහ ලැජ්ජාවක් කියලා කායික සම්බන්ධතාවලින් ඈත් වෙනවා. කායික සම්බන්ධතා පවත්වාගෙන යන එක විවාහක යුවළකගේ අයිතියක්.
ඒ වුණාට දැන් ඒ අයිතියටත් වැට බැඳිලා තියෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් ගැන අපි වඩාත් පුළුල්ව හිතනවනම් හොඳයි. එහෙම බලද්දි මහගෙදර කියන්නෙ ලිංගික ජීවිතයට කොඩිවිනයක් වගේ. කිසිම අවස්ථාවක අනිත් කෙනාගේ සීමාව අතික්‍රමණය නොකළ යුතුයි. සමහර නැන්දම්මලා ඉන්නවා ලේලි නිතරම කෝල්වල ඉන්නවා කියලා තමන්ගේ පුතාට පැමිණිලි කරනවා. ලේලි සතුටින් ඉන්නවට තරහ නිසා තමයි ඒ දේවල් සිදු වෙන්නේ. අම්මට ඕනේ ඒ සතුට බිඳින්න. ඒ සතුට කඩන්න.
අම්මලට සලකන්න ඕනේ කියලා අපි නිතරම කිව්වට සමහර සිද්ධීන්වලදී නැන්දම්මලා මාමණ්ඩිලා වැරදි විදිහට හැසිරෙනවා. සමහර මාමණ්ඩිලා ලේලි ඇඳුම් මාරු කරනවා බලන්න ආසයි.. හොරෙන් එබිලා බලනවා. යට ඇඳුම් හොරකම් කරනවා. ඒවා ලිංගික අක්‍රමිකතා. ඉතාම මෑතකදි පෙන්ෂන් ගිය කොළඹ හොඳ රැකියාවක් කළ තාත්තෙක් ඒ වගේ දෙයක් කරලා තිබුණා. ලේලි නාන කාමරයේ නාන වීඩියෝ වගයක් ලීක් වෙලා තිබුණා. ඒක වුණේ කොහොමද කියලා බැලුවම මේ මාමණ්ඩි ෆෝන් එකේ වීඩියෝ ඔන් කරලා ලේලි නාන වෙලාවට බාත් රූම් එකේ තියලා.
ඒ තාත්තට එහෙම වුණේ කොහොමද කියලා බැලුවම ඒ නැන්දම්මා ඉතාම තරුණ වයසෙදි ආගමට දහමට නැඹුරු වෙලා කායික සම්බන්ධතාවලින් ඈත් වුණු කෙනෙක්. ඉතින් මාමණ්ඩි ඒ හිස්තැන පුරවගන්නේ ලේලිගෙන්. හැබැයි මේ වගේ ප්‍රශ්නයක් වුණා කියලා රණ්ඩු වෙලා විවාහය කඩාගන්න එක නෙවෙයි කරන්න ඕනේ. මේවගේ පුද්ගලයන්ව අදාළ වෛද්‍යවරු වෙත යොමු කරලා ප්‍රශ්න විසඳගන්න ඕනේ. දෙන්නෙක් විවාහ වෙන්නේ පවුල් සංස්කෘතීන් දෙකක එකතුවෙන්. ඉතින් දෙපිරිසේ සිතුම් පැතුම්, හැසිරීම් මේ හැමදේම වෙනස්. ඒ දේවල් ගැන අවබෝධයෙන් කටයුතු කළොත් සාර්ථක පවුල් ජීවිතයක් ගෙනියන්න පුළුවන්.
ප්‍රවීණ මනෝ උපදේශිකා
අමා දිසානායක
කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව