නිකම් දෙන පළියට ඩේටා දන්සල්වලින් කන්න එපා

අගෝස්තු 26, 2024

 

පසුගිය පෝය දිනයේ උදේම සචිනිගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ලැබුණා. හිතවත් පාරිභෝගිකය, ඔබට අද දිනයේ නොමිලේ කිලෝ බයිට් පනහක ඩේටා ප්‍රමාණයක් හිමිවී තිබේ. ඔබ මෙය ලබාගැනීම සඳහා ඔබගේ හිතවතුන් පස් දෙනකුට හෝ whatsapp කණ්ඩායම් පහකට මෙම පණිවුඩය බෙදාහරින්න. ඉන් අනතුරුව ඔබට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමට අවස්ථාව හිමි වෙයි.

 

මේ පණිවුඩය දුටු විටම සචිනිට ඇති වූයේ පුදුමාකාර සතුටකි. මේ පෝය දවසේ කොයිතරම් වටිනා පිනක්ද? අද වගේ දවසක තව කාට හරි උදව්වක් කරන්න ලැබීමත් කොයිතරම් දෙයක්ද කියලා හිතපු ඇය තවත් දෙවතාවක් නොසිතා මේ පණිවිඩය යාළුවන් පස්දෙනෙකුට යැව්වා.

 

හැබැයි ඒක යවලා ඒ තරම් වෙලාවක් ගත වුණේ නැහැ. ඇයට වෙබ් අඩවියකට ප්‍රවේශ වෙන්න පුළුවන් වුණා. මේ වෙබ් අඩවියට ප්‍රවේශ වුණු ගමන්ම ඇයගේ ෆේස්බුක් ගිණුමත් gmail ගිණුමත් Hacked කළ බවට නැතිනම් සොරකම් කළ බවට පණිවුඩයක් ලැබුණා. මේ නිසා සචිනි මුහුණ දුන්නේ නොහිතපු ගැටලුවකට. මේ වන විට එම වෙබ් අඩවිය හරහා ඇයගේ බැංකු ගිණුම් තොරතුරු පවා හුවමාරු වී තිබුණේ ඇය නොදැනුවත්වම. ඒ නිසාම සචිනිගේ බැංකු ගිණුමේ තිබෙන ලක්ෂ තුනකටත් වඩා වැඩි මුදලක් මේ හොර වෙබ් අඩවිය හරහා සොරාගෙන තිබුණා. අන්ත අසරණ වුණු ඇය අවසානයේ පිළිසරණක් පතාගෙන පැමිණියේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත.

 

ඇයට සිදුවුණු මේ අනපේක්ෂිත සිදුවීම වැනි සිදුවීම් රැසක් ගැන පැමිණිලි දිනපතාම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලැබෙනවා. කිසිම සොයාබැලීමකින් තොරව සිදු කරන මෙවැනි ක්‍රියා නිසා මහජනතාව මුහුණ දෙන මේ ගැටලු ගැන අප විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුකූලතා පිළිබඳ අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මියගෙන් විමසීමක් කළා. ඇය මෙවැනි ගැටලු ගැන අපට පැහැදිලි කළේ සවිස්තරාත්මක ලෙසිනි.

 

 

සමාජ මාධ්‍ය ජාල හරහා විවිධ තෑගි තරග, ඩේටා දන්සල් ගැන පණිවිඩ හුවමාරු වෙනවා. මේ තරග කොයිතරම් ඇත්තද?

 

දැන් විවිධ වර්ගයේ තෑගි තරග, දන්සල්, නොමිලේ හිමි වන බෝනස් විවිධ ආයතන ප්‍රවර්ධනය සඳහා ලබාදෙන දීමනා ලෙසින් පණිවිඩ ලැබෙනවා. මේ පණිවිඩ අපට කෙටි පණිවුඩ whatsapp, facebook, telegram, instgram හරහා ලැබෙන්න පුළුවන්. මේ ආකාරයෙන් ලැබෙන කෙටි පණිවිඩ අපි click කළොත් ඔබගේ facebook ගිණුම, email ගිණුම සොරකම් කරන්න පුළුවන්. අපි කරන ලොකුම වැරැද්දක් තමයි මේ පණිවිඩය දැකපු ගමන් අනෙක් මිතුරන් අතර බෙදාගැනීම. ඩේටා දන්සල හෝ තෑගි තරගයක් ලෙස දැකපු ගමන් අපි කරන්නේ මේක හැම කෙනෙකුටම බෙදා හරිනවා. කවදාවත් මේ වරද ඔබ කරන්න එපා. ඔබ කරන්නේ ඔබ පමණක් අමාරුවේ වැටීම විතරක් නෙවෙයි. ඔබගේ මිතුරු සමාගමත් අසීරුතාවයට පත් කිරීමයි. ඔබ පොඩ්ඩක් මෙවැනි පණිවිඩ බෙදාගැනීමට පෙර හොඳින් පරීක්ෂා කර බලන්න.

 

මේ ගැන ඔබ කොයිතරම් දැනුවත් කළත් බොහෝ දෙනෙක් ඇබ්බැහියක් ලෙස අනාරක්ෂිත වෙබ් අඩවි වෙත ප්‍රවේශ වෙනවා. අපට මෙවැනි අනාරක්ෂිත වෙබ් අඩවි හඳුනාගන්න ක්‍රමයක් නැද්ද?

 

අපි මෙවැනි වෙබ් අඩවි වෙත ප්‍රවේශ වෙන අවස්ථාවේදීම අපට ක්ෂණිකව ඉබේම පණිවිඩයක් ලැබෙනවා. මේ වෙබ් අඩවිය අනාරක්ෂිතයි. මෙයට ප්‍රවේශ වීමෙන් වළකින්න. කියන පණිවිඩය ලැබෙනවා. අපි මේවා ගැන නොසිතාම මේ වෙබ් අඩවියට ප්‍රවේශ වෙනවා. මෙසේ ප්‍රවේශ වන විට අපට විවිධ බැනර් එනවා. මේ බැනර් ගැන නොසිතාම අපි මේ බැනර් click කරගෙන click කරගෙන යනවා. සමහර අවස්ථාවලදී මේ බැනර් හරහා අපගේ පෞද්ගලික තොරතුරු ඉල්ලනවා. අපි මේ ගැන නොසිතාම මේ තොරතුරු ලබා දෙනවා. අපේ සිම් අංකය, දුරකතන අංකය, email සඳහා ප්‍රවේශ වන රහස් අංකය ඉල්ලනකොට අප නොදැනුවත්වම වෙබ් පිටුවට ප්‍රවේශ වීමේ අවශ්‍යතාවය මත අපේ සියලු රහස් තොරතුරු ලබාදී හමාර වෙනවා. ඉන්පසු ඔබේ දුරකතනයේ තොරතුරු hack වෙන්න අවස්ථාව තිබෙනවා.

 

අපි මේ ආකාරයෙන් hack වුණා කියලා දන්නේ නැහැ. අපි නොදැනුවත්වම අපේ ජංගම දුරකතනයේ වයිරස් එකක් තැන්පත් වෙනවා. මේ අයට අපේ ජංගම දුරකතනය හරහා සිදුවන ක්‍රියාකාරකම් දෙස බලාගෙන ඉඳලා මේ සොරුන්ට අපි වගේ පෙනී සිටිමින් පණිවිඩ යවන්න පුළුවන්. අපේ බැංකු ගිණුමේ මුදල් ලබාගන්න අවස්ථාව තියෙනවා.

 

ඒ නිසා අපි මේ වගේ තරග සඳහා වෙබ් බැනර් හරහා අපේ පෞද්ගලික තොරතුරු ලබාදීමේදී ඉතාම සැලකිලිමත් විය යුතුයි. ඇත්තටම මේ සයිබර් අවකාශය හරිම අනාරක්ෂිතයි. සයිබර් අවකාශයේ සිදුවන ක්‍රියාකාරකම් සඳහා වග කිව යුතු පුද්ගලයෙක් නැහැ. ඒ නිසා අපි ඉතාම ප්‍රවේශමෙන් මේවා පරිහරණය කළ යුතුයි.

 

මේ දිනවල ෆේස්බුක් හරහා මෙවැනි වංචා රාශියක් ගැන අපට අසන්නට ලැබෙනවා. ඒ ගැන පොඩ්ඩක් අපව දැනුවත් කරන්න බැරිද?

 

වංචනිකව මුදල් උපයන පුද්ගලයින් පුරුද්දක් ලෙස මේ ආකාරයට ෆේස්බුක් ගිණුම් හරහා මුදල් සෙවීමේ ජාවාරම් රැසක්ම ක්‍රියාත්මක කරනවා. මෙය පුංචි අතපසු වීමකින් තමයි වෙන්නේ. තමුන්ගේ මිතුරු කවයේ යහළුවෙක්ගෙන් ඔබට පණිවිඩයක් එනවා. 'මම තානාපති ලෙස කටයුතු කරනවා. ඒ සඳහා තරග කරනවා. මට මනාපය ලබා දෙන්න.' කියලා. ඔබ like එකක් දාපු ගමන් ඔබට තව පණිවුඩයක් එනවා. එවිට ඔබට අංක හතරක OTP එකක් එනවා. අපි සෑම විටම කියනවා OTP එක හුවමාරු කරන්න එපා කියලා. නමුත් අපට OTP ගැන අමතකයි. අපි එය අනෙක් පුද්ගලයාට දෙනවා. ඊට පසුව ඔබගේ ගිණුම hacked වෙනවා. ඔහු ඊට පසුව ඔබගේ ගිණුම හරහා මිතුරන්ට පණිවිඩ යවනවා. ඔයත් මේ තරගයට එක්වන්න කියලා. ඇත්ත කියලා හිතන ඔබේ මිතුරෝ ඔබ ගැන විශ්වාස කරලා මේ තරගය සඳහා මුදල් යොදවනවා.

 

ඇත්තටම මෙවැනි තරග සඳහා මනාප ලබාදෙන විට අප කළ යුත්තේ මොකක්ද?

 

ඔබ කිසිම ආකාරයකට දුරකතන අංකය නැති අය සමඟ තොරතුරු හුවමාරු කරගන්න එපා. ඔබ මෙවැනි දෙයකට මනාප ලබාදෙන විට ඔබගේ මිතුරාට දුරකතන ඇමතුමක් ලබා දෙන්න බැරි නම්, කිසිම අවස්ථාවක තොරතුරු ලබාදීම ඉතා භයානකයි.

 

ඔබගේ රහස් සංකේත කිසිම අවස්ථාවක කිසිම කෙනෙකු හරහා හුවමාරු කරගන්න එපා. ඒ වගේම ශක්තිමත් රහස් අංකයක් ඇතුළත් කරගන්න. ඔබේ එකම රහස් අංකය මඟින් සියලුම කටයුතු සඳහා යොදා ගැනීමත් අනතුරුදායකයි. ඒ නිසා ඔබේ රහස් අංක කිසිවෙකුටත් අනුමාන කළ නොහැකි අංකයක් යොදාගන්න. එය ඔබගේ සියලු ගිණුම් සඳහා යොදා නොගන්න. මෙවැනි දේ අනුගමනය කිරීමෙන් ඔබට පුළුවන් මෙවැනි වංචනික ක්‍රියා හා පුද්ගලයින්ගෙන් ආරක්ෂා වෙන්න.

 

 

උපදෙස් -

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුකූලතා අධ්‍යක්ෂ

මේනකා පතිරණ