ඔබත් Facebook group එකක ක්‍රියාකරුවෙක්ද?

අගෝස්තු 26, 2024

තාක්ෂණය නැතුව අද කිසිම දෙයක් කරන්න බැහැ. ඔව් නිවෙස ඇතුළෙදි ඉඳලා ගෙයින් එළියට බැහැලා නැවත ගෙදර ඇවිත් නින්දට යනකම්ම අපි දැන් ඉන්නේ තාක්ෂණෙත් එක්ක. තාක්ෂණය ඒ තරමට අපේ ජීවිතවලට සමීප වෙලා තියෙද්දි මේ තාක්ෂණික ලෝකය මඟහැරලා ඉන්න ගියොත් වෙන්නේ සමාජය ඇතුළේ කොන්වීම පමණක් නොවෙයි පුද්ගලයකු වශයෙන් පෞද්ගලිකවත් පසුගාමී තත්ත්වයකට පත්වීමයි. හැබැයි දැන් තාක්ෂණය හරි දියුණුයි වගේම හරි පහසුයි. මොකද අතේ තියෙන ස්මාට් ෆෝන් එකෙන් තාක්ෂණික ලෝකය තුළ ගනුදෙනු කරන්න දැන් සියලු පහසුකම් ලබා තියෙනවා. නමුත් මේ තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරද්දි ලොකු ලොකු දේවල් ගැන විතරක් නෙවෙයි හරිම පුංචි දේ ගැන පවා ලොකුවට හිතන්න ඕනේ.

ඔබත් Facebook group එකක ක්‍රියාකරුවෙක්ද?

පුංචි පුංචි ව්‍යාපාර කරන අයට වගේම අලුත් අදහස් අනෙක් අය එක්ක බෙදාගන්න, ව්‍යාපාර කටයුතු ප්‍රචාරණය කරන්න තියෙන හොඳම මෙවලමක් තමයි facebook group. ඉතින් ෆේස්බුක් ගෘෘප් එකක් කළමනාකරණය කරද්දි සාකච්ඡාවලට මැදිහත් වෙන්න, අදහස්වලට ප්‍රතිචාර දක්වන්න සිද්ධ වෙනවා. ඒ වගේම ක්‍රියාකාරී බව නිරන්තරයෙන් ආරක්ෂා කරගන්න සිදු වෙනවා.  සමූහය ක්‍රියාකාරීව තබා ගැනීමට ප්‍රශ්න ඇසීම, ඡන්ද විමසීම සහ සාකච්ඡා ආරම්භ කිරීම සිදු කරන්න ඇඩ්මින්ට සිදු වෙනවා. සාමාජිකයින්ගේ සහභාගිත්වය දිරිමත් කරන්න කටයුතු කිරීමේ වගකීම පැටවෙන්නෙත් ඇඩ්මින් මතයි. මෙවැනි වැඩ කටයුතු සඳහා යෙදීමට කාලය සහ ශ්‍රමය අවශ්‍ය වෙනවා. ගෘෘප් එක වර්ධනය වන විට වැඩි කාලයක් වැය කරන්න සිදු වෙනවා.

facebook group එක තුළ සාකච්ඡා වන මාතෘකා ගෞරවනිය ඒවා බවත්, නුසුදුසු අන්තර්ගත අඩංගු නොවන බවත් සහතික කරගන්න සිදු වෙනවා. සාමාජිකයන් අතර ගැටුම් ඇතිවීම වළක්වා ගන්න සිදු වෙනවා. එකිනෙකා අතරේ සිදුවන එකඟ නොවීම්, විවාද ආදිය කළමනාකරණය සිදු වෙනවා. මෙය අභියෝගාත්මක කාර්යයන්ය.

facebook group එක තුළ හිතවත්කම් ඇති වීමෙන් පුද්ගලික තොරතුරු බෙදා හදා ගැනීමට බොහෝ දෙනෙක් පෙලඹෙනවා. නමුත් එයින් පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලු ඇති වෙනවා. ඕනෑම අයෙකුට ගෲප් එකකට සම්බන්ධ විය හැකි නිසා රහස්‍යභාවය සහ පෞද්ගලිකත්වය අනතුරේ වැටෙන්න පුළුවන්. යම් සාමාජිකයකුට හානියක් වුවහොත් එය ඇඩ්මින්ට ද බලපානවා. මේ නිසා ගෲප් එකක් කරගෙන යද්දී රහස්‍යභාවය සහ පෞද්ගලිකත්වය සම්බන්ධ පැහැදිලි මාර්ගෝපදේශ ස්ථාපිත කළ යුතුයි.

ගෲප් එක ඇතුළත සිටින පුද්ගලයන්ගේ හැසිරීම සමස්ත සමාජයකට බලපාන්න පුළුවන්. එමෙන්ම එය සමූහයේ ක්‍රියාකාරීත්වයට ද බලපෑම් ඇති කරන්න පුළුවන්. ගෲප් එක ඇතුළත ගැටුම්කාරී පුද්ගලයන්, ස්පෑම් කරන්නන්, නොගැළපෙන අන්තර්ගතයන් පළ කරන්නන්, අක්‍රිය සාමාජිකයන් සිටියහොත් ගෲප් එකේ සඵලතාව අඩු වෙනවා. ගෲප් එකේ එකමුතුකම අඩු වෙනවා. මේ නිසා ගෲප් එකේ සාමාජිකයන් ප්‍රමාණය වැඩි කර ගන්නවාට වඩා ගුණාත්වයෙන් යුතු සාමාජිකයන් පමණක් බඳවා ගැනීම සුදුසුයි. 

Facebook හි කාලයෙන් කාලයට සිදු වන ඇල්ගොරිතම වෙනස්කම් ගෘෘප් එකට බලපානවා. සමහර කාලවලදී පළ වෙන පෝස්ට් සාමාජිකයන්ට නොපෙනී යනවා. නිතර ගෘෘප් එකට පිවිසෙන පුද්ගලයන්ට පමණක් පෙන්වීම සිදු කරනවා. එවැනි අවස්ථාවලදී ඔබ බලාපොරොත්තු වන ප්‍රේක්ෂක පිරිස ඔබට නොලැබී යනවා.

මේ වන විට ෆේස්බුක් ගෘෘප් බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙනවා. මේවා අතර විශාල තරගයක් තිබෙනවා. මේ නිසා ප්‍රේක්ෂක අවධානය දිනා ගන්න විශාල කැපවීමක් සිදු කරන්න වෙනවා. සාමාජිකයින්ගේ අවධානය දිනා ගන්න, ඔවුන්ගේ මතකයේ රැඳෙන්න විවිධ උපක්‍රම අනුගමනය කරන්න සිදු වෙනවා.

 ෆේස්බුක් ගෘෘප් ගැළපෙන්නේ සමාජීය කටයුතු සඳහායි. සමහරු ෆේස්බුක් ගෘෘප් හරහා ව්‍යාපාර කටයුතු කරන්න උත්සාහ කළත් එය සාර්ථක වෙන ප්‍රතිශතය තරමක් අඩුයි.

 

--------------------

මොකක්ද මේ ChatGPT

ඉගෙන ගන්න, නව දැනුම සොයා යන කෙනෙක්ට ChatGPT උදව් කරනවා. හැබැයි එයින් උපරිම ප්‍රයෝජන ගන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ඔබ සතුව තිබිය යුතුයි. 

ඔබට අවශ්‍ය දැනුම, ඔබගේ අරමුණ කලින්ම තීරණය කරන්න. ඒ ගැන පැහැදිලි නිර්වචනයක් සකසා ගන්න. ඔබට අවශ්‍ය සංකල්පයක් අවබෝධ කර ගැනීමටද, ගැටලුවක් විසඳීමටද, නව මාතෘකාවක් ගවේෂණය කිරීමටද යන්න හොඳින් සිතා බලන්න. නිශ්චිත ඉලක්කයක් මනසේ තබා  ගන්න.  ප්‍රශ්න ඇසීමේදී පැහැදිලි සහ විශේෂිත ප්‍රශ්න අසන්න. ChatGPT වෙතින් නිවැරදිම සහ අදාළම පිළිතුර ලබා ගැනීමට අවශ්‍ය නම් පැහැදිලි, නිශ්චිත සහ හොඳින් ව්‍යුහගත කළ ප්‍රශ්න අසන්න. 

සංකීර්ණ මාතෘකා  කුඩා කොටස්වලට බෙදා ගන්න. අනුමාතෘකා වෙන් කර වෙන වෙනම ඒවා ගැන විමසන්න. පැහැදිලි කිරීම්, උදාහරණ ආදිය නැවත නැවත විමසන්න.

ප්‍රශ්න ඇසීම පමණක් සිදු නොකර ChatGPT සමඟ සංවාදවල නිරත වන්න. වාද විවාදවල නිරත වන්න. විවේචනය කිරීමට අවස්ථාවක් ඇත්නම් එයද සිදු කරන්න.  විවිධ දෘෂ්ටිකෝණ හරහා තර්ක විතර්කවල යෙදීමෙන් ඔබට අවශ්‍ය මාතෘකාවේ විවිධ පැති ගවේෂණය කිරීමට සහ වඩාත් පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත. ChatGPT වෙතින් ලැබුණු දැනුම කෙළින්ම භාවිත කිරීමට පෙර බාහිර වෙබ් අඩවිවල, පොත්වල ඇති තොරතුරු සමඟ ඔබට ලැබුණු පිළිතුරු සංසන්දනය කරන්න. වැඩිදුර පර්යේෂණ සිදු කරන්න. ප්‍රශ්න අසන විට හෝ තොරතුරු සොයන විට, ඔබේ අවශ්‍යතා වඩා හොඳින් පැහැදිලි වන පරිදි වඩාත් අදාළ ප්‍රශ්න අසන්න. අසන ප්‍රශ්න සැලසුම් කරන්න. පිළිතුර ප්‍රශ්නයට නොගැළපේ යැයි දැනුණොත් ප්‍රශ්නය වෙනත් අයුරකින් ඉදිරිපත් කරන්න.  පසු විපරම් ප්‍රශ්න ඇසීමට හෝ පැහැදිලි කිරීමක් ලබා ගැනීමට පසුබට වෙන්න එපා. ඔබට අවශ්‍ය අවබෝධය ලැබෙන තුරු විවිධ ආකාරවලින් විමසීම් කරන්න.

වචනවල සුළු වෙනස්කම් කරමින් විමසන්න. ඇතැම්විට ඔබ භාවිත කරන වචනවල වරදක් නිසා ඔබ අසන ප්‍රශ්නය ChatGPT හට පැහැදිලි නොවෙන්න ඉඩ තියෙනවා. එවැනි අවස්ථාවක වචනය මාරු කර ප්‍රශ්නය අසන්න.  දීර්ඝ විස්තර කිරීම්, පැහැදිලි කිරීම් ලබා දුන් පසුව සාරාංශයක් ඉල්ලන්න සංකීර්ණ ලිපි, පර්යේෂණ පත්‍රිකා හෝ සාකච්ඡා ආදිය සාරාංශ කර දෙන මෙන් ඉල්ලා සිටීමෙන් ඔබට හොඳ සාරාංශයක් ලැබෙනු ඇත. මෙය ඔබට ප්‍රධාන කරුණු ඉක්මනින් ග්‍රහණය කර ගැනීමට උපකාරී වනු ඇත. ChatGPT වෙතින් ඔබ ලබා ගත් තොරතුරු පිළිවෙළට ලේඛනගත කරන්න. පොතක හෝ පරිගණකයේ පිටපත් කර සුරක්ෂිත කරන්න. 

ඔබට තවකෙකු වෙත යැවීමට අවශ්‍ය ඊමේල්, පණිවිඩ ඇතුළු වෘත්තීය සන්නිවේදන සැකසීමට ද ChatGPT යොදා ගත හැකියි. පැහැදිලි සහ සංක්ෂිප්ත අන්තර්ගතයක් සැකසීමට, අවස්ථාවට ගැළපෙන සුදුසුම වචන තෝරා දීමට ChatGPT සමත්වනු ඇත. ඔබ ලියූ ලිපියක ව්‍යාකරණ දෝෂ, නොගැළපෙන තැන හඳුනා ගැනීමට ChatGPT සමත් වනු ඇත. සෝදුපත් කියවීමට සහාය වනු ඇත.

 පෙර සකසන ලද වාර්තා, ඉදිරිපත් කිරීම් සහ ලේඛන ආදිය සාරාංශගත කරන්න,  දළ සටහන් සකසන්න, වැදගත්ම කරුණු ඔබ වෙනුවෙන් සොයා දෙන්න ChatGPT  උදව් වෙනවා. 

 පර්යේෂණ අරමුණු සඳහා අන්තර්ජාලයේ අදාළ තොරතුරු සොයා ගැනීම තරමක් අපහසුයි. ඔබට ලිපි රැසක් කියවන්න සිදු වෙනවා. නමුත් ChatGPT අදාළ නිශ්චිත තොරතුරු ලබා දෙනවා. ඔබට ChatGpt වෙත මාතෘකාවක් හෝ ප්‍රශ්නයක් සැපයිය හැකි අතර, එය ක්ෂණිකව එයට අදාළ වන සාරාංශ, කරුණු සහ මූලාශ්‍ර සපයනු ලබනවා. 

ChatGPT දැනුම ගබඩාවකි. අධ්‍යාපනය ලබන කෙනෙකුට නොතේරෙන  සංකල්ප පැහැදිලි කිරීමට, නිබන්ධන සැපයීමට සහ විවිධ මාතෘකාවලට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු දීමට එය සමත් වෙනවා. විස්තර කළ නමුත් නොතේරෙන ස්ථාන නැවත සරලව තේරුම් කර දෙන මෙන් ඉල්ලු විට එය ද සිදු කර දෙනවා. ඔබට ඉගෙන ගැනීමට සහ ඔබේ කුසලතා පුළුල් කිරීමට උපකාරී  වන අපූරු මෙවලමකි.