එයාට ඔයාව විශ්වාස නැද්ද?

අගෝස්තු 26, 2024

විශ්වාසය කියන එක හරි අමුතු දෙයක් සහ හරි අපූරු දෙයක්. ඇත්තටම මනුස්සයෙක්ට තියෙන වටිනාම වස්තුවක් වෙන්නෙත් විශ්වාසය. හැබැයි මේ විශ්වාසය හරියට ගත්තොත්, නිකම් බිඳෙනසුළු වීදුරු වර්ගයක් වගේ එකක් තමයි. ඉතාම වටිනවා වගේම ඉතාම ලේසියෙන් බිඳිලා යන්නත් පුළුවන්. හැබැයි විශ්වාසය බොහොම ලේසියෙන් කැඩුණට, ආයෙමත් හදාගන්නත් සෑහෙන කාලයක් යනවා. ආන්න ඒ නිසාම තමයි, අපි කොහොමද පොදුවේ ගනුදෙනු කරන, සන්නිවේදනය කරන සමාජයේ අනික් මිනිස්සුත් එක්ක විශ්වාසය හදාගන්නේ කියන එක වැදගත් වෙන්නේ.

 

වැඩක් ගත්තොත් වචනේ තියන්න

 

මේක බොහොම සරල දෙයක්. තමන් භාරගන්න වැඩක්, කරනවා කියපු කොලිටියට, කරනවා කියපු දිනේට කරන්න. එහෙම පොරොන්දු වුණු කොලිටියට සහ දිනේට වැඩේ කරලා දෙන්න බැහැයි කියලා හිතෙනවා නම්, නෑ බෑ කියන්න බැරිකමට කිසිම දෙයක් භාරගන්න එපා. බැරි දේ බැහැයි කියන්න පුරුදු වෙන්න. ඇත්තටම සමහර වෙලාවට නැහැ බැහැ කියන්න බැරි නිසා වගේම, වැඩකදී එන ප්‍රායෝගික ගැටලු කලින් අනුමාන කරන්න බැරි නිසා මේ ලියන මමත් ඇතුළුව ගොඩක් දෙනෙක්ට මේ වචනේ ති‍ෙයනවා කියන එක කරන්න බැරි වෙනවා.

 

එතැනදී විශ්වාසය බිඳෙනවා. ආන්න ඒකට කරන්න තව දෙයක් තියෙනවා. වැඩේ වෙලාවට දෙන්න බැරි නම්, අන්තිම මොහොත වෙනකල් ඉන්නේ නැතුව ඒ බව දැනුම් දෙන්න. වැඩේ දෙන්න පුළුවන් හරි වෙලාවකුත් ඒ ගමන්ම කියන්න.

 

හොඳ සන්නිවේදනයත් ඕනෑ

 

මෙන්න මේකත් ඉතාම වැදගත් කාරණාවක්. හොඳ සන්නිවේදනය. ඒ කියන්නේ තමන්ට වුවමනා දේ, තමන්ට කරන්න පුළුවන් දේ, තමන් කරන්න කැමැති දේ වගේ හැම දෙයක්ම තවත් කෙනෙක්ට පැහැදිලිව කියන්න පුළුවන් හැකියාවක් කෙනෙක්ට තියෙන්න ඕ‍ෙන. ඒ වගේම තමයි, තමන්ට බැරි දෙයක් බැහැයි කියලා පැහැදිලිව කියන්න හැකියාවක් තියෙන්න ඕනෑ. ඒ වගේම කියන්න අසීරු දෙයක් නොකියා ඉන්න එකත් හොඳ දෙයක් නෙවෙයි. උදාහරණයක් විදිහට ගත්තොත්, තමන් යටතේ වැඩ කරන කෙනෙක්ගේ වැඩ කිරීම හොඳ නැත්නම්, එයාගේ හිත රිදෙයි කියලා ඒක නොකියා ඉන්න එකෙන් වෙන්නේ දීර්ඝකාලීනව තමන්ටත්, ඒ තමන් යටතේ වැඩ කරන කෙනාටත් ප්‍රශ්න ඇතිවෙන එක. අන්න ඒ නිසා හොඳම දේ තමයි කාරුණිකව, ඒත් පැහැදිලිව ඒ වගේ දෙයක් කියන්න හැකියාව තිබීම. ඒ ඔස්සේ තමන් ගැන තියෙන විශ්වාසයත් වැඩි වෙන එක තමයි වෙන්නේ.

 

අවංක ළැදියාව

 

මෙන්න මේක විශ්වාසය ඇති කිරීමට ඉතාමත්ම අවශ්‍ය දෙයක්. ඒ තමයි අපි ඕ‍ෙනම කෙනෙක්ට අවංක ළැදියාවක් පෙන්වීම. හැබැයි දැන් කාලේ ගොඩක් දකින්න නොලැබෙන්නෙත් ඒකම තමයි. ඒ කියන්නේ දැන් කාලේ ගොඩක් දෙනෙක් කෙනෙක්ගේ දුක සැප අහන්නෙත් එක්කෝ මූනිච්චාවට. එහෙම නැත්නම් මොකක් හරි වැඩක් කර ගන්න. හැබැයි අපි කෙනෙක්ගේ දුක සැප හොයාබැලීමේ ඉඳලා ඒ කෙනාට ළැදියාවක් දැක්වීම දක්වා කරන්න ඕනෙ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, අවංක සිතින්. අන්න එහෙම වෙනකොට, අපි ගැන හොඳ විශ්වාසයක් තියන්න මිනිස්සු පෙලඹෙනවා.

 

රහස් රකින්න පුළුවන්ද?

 

මෙන්න මේකත් විශ්වාසය කියන දේ ඇතිවෙන්න ඉතාම වැදගත් දෙයක්. කෙනෙක් අපිට කියන දෙයක්, ඒ කෙනාගේ පැහැදිලි අවසරයකින් තොරව වෙනත් කෙනෙක්ට නොකියන එක. එහෙම කෙනෙක් අපිව විශ්වාස කරලා කියන රහසක් පිට කරන්න අවසර තියෙන්නේ, ඒක මොකක් හරි නීතිය සම්බන්ධ බලධාරී ආයතනයකට අවශ්‍ය නම්, ඒ රහස රකින එකෙන් මහජන ගැටලුවක්, විනාශයක් ඇතිවෙන්න පුළුවන් නම් විතරයි. ආන්න ඒ නිසා තමන්ට රහසක් කෙනෙක් කියනවා නම්, මුලින්ම හිතලා බලන්න තමන්ට රහස් රකින්න පුළුවන් කෙනෙක්ද කියලා. තමන්ට රහස් රකින්න බෑ කියලා හිතෙනවා නම් කරුණාකරලා අනුන්ගේ රහස් අහගෙන ඉන්න යන්න එපා. 

 

ඕපාදූප නොකියවන්න

 

ඕපාදූප කියවන එක ගොඩක් අය සෑහෙන්න ආස කරන දෙයක්. හැබැයි මෙහෙම හිතන්න. ඔයා කෙනෙක් එක්ක රස කරලා ඕපදූපයක් කියනවා. හැබැයි ඒ කෙනා හිතන එකක් නැද්ද, ඔයා වෙන කෙනෙක් ගැන මෙහෙම රස කරලා කියනවා වගේම, ඔයා දැන් ඔය කතා කර කර ඉන්න කෙනා ගැනත් රස කරලා තව තැනක ඕපදූප නොකියයි කියලා? අන්න ඒ නිසා මතක තියාගන්න, ඕපදූප කියන්න තියෙන ආසාව නිසා ඔයාව අනික් අයට පේන්නේ විශ්වාසය තියන්න බැරි මනුස්සයෙක් කියලා බව.

 

නොදන්න දේ නොදන්න බව පිළිගන්න

 

කෙනෙක් ගැන පහසුවෙන් අවිශ්වාසය ඇතිවෙන්න පුළුවන් තැනක් තමයි, නොදන්න දේවල් දන්නවා වගේ රඟපාන්න යෑම. අපි හැමෝම හැමදෙයක්ම දන්නෙ නෑ. එතකොට මොකක් හරි සමාජයක, මොකක් හරි සෝෂල් මීඩියා පෝස්ට් එකක හෝ වෙනත් ඕනෑම තැනකදී අපි නොදන්න දෙයක් කතා වෙන්න පුළුවන්. එතකොට දන්නවා වගේ ඔළුව වනන්න යන්න එපා. එතකොට මොකක් හරි දෙයක් ගැන දන්න පොඩි කෑල්ලෙන්, ඒ ගැන පරතෙරටම දන්නවා වගේ කියන්න යන්නත් එපා. මොකද, කොහොම කළත් තමන් නොදන්නා බව බොහොම පහසුවෙන් අහුවෙනවා. අන්න එතකොට තමන්ගේ රෙදි ගැලවෙනවා. ඒ විතරක් නෙවෙයි, ඊට පස්සේ තමන් දන්න දෙයක් ගැන කියන්න ගියත්, කෙනෙක් ඇත්ත කියලා පිළිගන්නෙ නෑ.

 

ආයෙමත් ආයෙමත් අවංකව උත්සාහ කරන්න

 

ඇත්තටම විශ්වාසයක් බිඳ වැටෙන්න බොහොම ලේසියි. හැබැයි විශ්වාසයක් බිඳ වැටුණට පස්සේ ඇතිකරගන්න හරිම අමාරුයි. හරි, මොකක් හරි නිසා අපි ගැන කෙනෙක් හරි භාණ්ඩයක් හරි ආයතනයක් හරි තියෙන විශ්වාසය බිඳ වැටුණා කියලා හිතමු. එතකොට මොකද්ද කරන්න ඕ‍ෙන? ඒ ගැන තැවි තැවී ඉඳලා වැඩක් නෑ. කොහොමත් මාව විශ්වාස නැත්නම්, මම ආයෙමත් විශ්වාසය ඇතිවෙන විදහට වැඩ කරන්නෙ නෑ කියලා හිතාගෙන ඉඳලත් වැඩක් නෑ. කරන්න ඕ‍ෙන හරිම දේ තමයි මුල ඉඳලා අවංකව ආයෙමත් කටයුතු කරන එක. තමන්ගේ වචනය අකුරටම ඉෂ්ට කරන්න, දෙයක් නියම වෙලාවට, නියම කොලිටියට ලබා දෙන්න, පරක්කු වුණත් කොලිටිය රකින්න සහ පරක්කු වෙන බව කලින් කියන්න කටයුතු කරන එක. එහෙම කාලයක් කරලත් අපි ගැන හරිහමන් විශ්වාසයක් ගොඩනැඟෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට කමක් නෑ. අවංක හිතින්, විශ්වාසය රකින්න. 

 

ආදරයේදී වැඩි විශ්වාසයක්

 

ආදරයක්, විවාහයක් ඇතුළේ විශ්වාසය ගොඩ නංවා ගන්න එක හිතන තරම් යුද්ධයක් නෙවෙයි. සම්බන්ධතාවක්, විවාහයක් ඇතුළේ විශ්වාසය නැතිකර ගන්න ලේසිම ක්‍රමය තමයි දේවල් හංගන එක. එහෙම නැත්නම් බාගෙට හෙළිදරව් කරන එක. අපි උදාහරණයක් ගමු. ඔන්න අපිට පරණ ගෑනු ළමයා මුණගැහෙනවා. කතාබහ කරලා පරණ යාළු ෆිට් එකට දෙන්නත් එක්ක කෝපි එකක් බොන්න යනවා. දැන් ගෙදර ඇවිල්ලා වයිෆ්ට කියනවා පරණ යාළු කෙල්ලෙක් හම්බුණා, එයත් එක්ක සෙට් වුණා කියලා. අන්න හැංගිල්ල. එහෙම නැත්නම් ගෙදර ඇවිල්ලා වයිෆ්ට කියනවා පරණ ගෑනු ළමයව පාරේදි දැක්කනෙ කියලා. හැබැයි කතා කරපු වගක්, කෝපි බීපු වගක් කියන්නෙ නෑ. ආන්න බාගේ ඇත්ත. ඔය දෙකම හොඳ නෑ. හරිම දේ තමයි කෝපි බොන්න යන්න කලින් වයිෆ් එක්ක ඒ ගැන කතා කරන එක. බැරිවෙලාවත් යන්නම වෙන සිටුවේශන් එකක් උද්ගත වුණානම් ඒක වයිෆ්ට අවංකව කියන එක. ඒ වගේම ඔහුට හෝ ඇයට කවදාවත් ඉටුකරන්න බැරි පොරොන්දු නම් දෙන්න එපා. විශ්වාසය කැඩෙන්න තවත් හේතුවක් ඒක. ඒ වගේම විවෘත මනසක් තියාගන්න.හොඳ සවන් දෙන්නෙක් වෙන්න.

එහෙම කාලයක් තමන්ගේ විශ්වාසවන්තකම තහවුරු කරල, කෙනෙක්ට තාමත් අපි ගැන විශ්වාස කරන්න බැරි නම්, ඒත් කමක් නෑ. ඒක ඒ කෙනාගේ ප්‍රශ්නයක් මිසක් අපේ ප්‍රශ්නයක් නෙවෙයි. එතකොටත් දිගින් දිගටම විශ්වාසය රකින්න.