ඉරටත් අභියෝග කළ අරාලි සූරියකාන්ත මල

අගෝස්තු 26, 2024

 

යාල්පානමේ කරදිය මුසු සුළං රැලි ඒ මේ අත විසිරෙමින් තිබුණි. නාගපූෂානි අම්මාන් කෝවිල දෙසින් හමා එන ප්‍රචණ්ඩකාරී සුළං රැලි ද ක්‍රමානූකූලව පහ වෙමින් තිබිණි. වැහි කඳුළක්වත් නොමැති අහසේ නවහිර උදාවෙමිනි. කඩියන් මෙන් කඩිසර යාපනයේ වැසියන් තම දෛනික කටයුතු අරඹන්නේ බොහෝවිට ඉර උදාවටත් පෙරය. තම තමන්ගේ කටයුතු සඳහා ලහි ලහියේ යෙදෙන යාල්පානමේ උද්‍යෝගකාරී වැසියෝ තම අරමුණ කරා ශීඝ්‍රයෙන් යාමට තරම් විශාල හොඳ සිත් ඇත්තෝ ය. ඒ එදා සිටම යාපනයේ හැටිය.

 

අහස තෙක් දිවෙන කෝවිලෙහි දකුණු බරාදයේ දේව පන්තියට ඉහළින් අලුත් දවසකට නව ඉර උදාවෙමිනි. අරාලි ගමට ඉහළින් දැන් ඉර එබෙන්නේද නව බලාපොරොත්තුවක් සමඟිනි. පිපෙන ඉරට මුකුළු කරන සූරියකාන්ත ලලනාවෝ දහස් ගණනක් දැන් අරාලිය සුවඳ කරවයි. අරාලිය සුවඳ කරවන මේ සූරියකාන්ත මල 26 හැවිරිදි මාණික්කපිල්ලේ විදුෂණී ය. පොළොවට අභියෝග කළ ඇය සැමවිටම නව ලෝකය දෙස නව මානයකින් බැලීමට උත්සාහ කළ තරුණියකි.

 

යාපනයේ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිය නිම කළ විදුෂණී සූරියකාන්ත මලට මෙන්ම ගහ කොළට ද ආදරය කරන මෘදු සිතක් ඇත්තියක් වූවා ය. උපාධිය නිමා වී රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින විට ඇය නව ලෝකයේ නව රැකියා අවස්ථා පිළිබඳ අධ්‍යයනය කරමින් උන්නා ය. යාපනයේ වැසියෝ බොහෝවිට නරඹන්නේ ඉන්දියාවේ විකාශය වන රූපවාහිනී නාළිකා ය. ඉන්දියාවට ඒ තරමටම සමීප නෑදෑකම් පවත්වන යාපාපටුනේ ජනතාව සෑම විටම සුහදශීලී ගනුදෙනුවක් පවත්වන්නේ ඉන්දියාව සමඟ ය. විදුෂණී ද ඉන්දියානු චැනලයක වැඩසටහනක් නරඹමින් සිටියා ය. උසස් පෙළ සමත්ව නිවෙසේ සිටි නැගනිය ද ඒ අසල උන්නා ය. රූපවාහිනි තිරය කහ පැහැ ගන්වමින් විකාශය වූයේ සූරියකාන්ත මල් වගාව පිළිබඳ වැඩසටහනකි.

 

මේ අක්කා නගෝ දෙදෙනා දෑස් දල්වමින් මේ වැඩසටහන දෙස බලා සිටියේ එකදු වචනයක් හෝ කතා නොකරමිනි. වැඩසටහන නිමා වී බොහෝ වෙලාවක් යනතුරු මේ දෙදෙනා එක් තැනකට වී කල්පනා කරන්නට වූයේ රූපවාහිනි වැඩසටහනේ සූරියකාන්ත මල් වැවූ සුන්දර තරුණිය පිළිබඳවයි. සූරියකාන්ත මල් වගාවෙන් ජීවිතය දිනූ ඉන්දියාවේ මේ තරුණියගේ ජීවිතයෙන් ආදර්ශයක් ගත් මේ අක්කා නගෝ ඊට පසුවදා තම ගෙවත්තේ සූරියකාන්ත වගාවක් අරඹන්නට සැලසුම් කළෝ ය.

 

රක්ත වර්ණ යාපනයේ තද පස පෙරළමින් මේ අක්කා නගෝ තමන්ගේ සාර්ථකත්වයේ ව්‍යාපෘතිය ඇරඹුවෝ ය. " රූපවාහිනියේ කාන්තාවන් සූරියකාන්ත මල් වවනවා දැකපු වෙලාවේ ඉඳලම නංගිටයි, මටයි ඒ වගේ ලස්සන මල් වත්තක් වවන්න ආසාවක් ඇති වුණා. ඒ වෙනකොට පොඩියට අපි සූරියකාන්ත වවන්න පටන් අරගෙනයි තිබුණේ. අපි දෙන්නගෙම විනෝදාංශය වුණේ මල් වවන එක. ඒ තිබුණු ආසාව නිසාම අපි විවිධ මල් වර්ග හොයාගෙන ඇවිත් වවලා බැලුවා. ඒ අතරේ අර රූපවාහිනි වැඩසටහන දැකලා සූරියකාන්ත මල් වත්තක් වවන්න හිතුවා. අන්න එහෙම අපි මේ වැඩේ පටන් ගත්තේ. ඒ වැඩසටහනේ පෙන්නුවා සමාගමකින් සූරියකාන්ත මල් ඇට මිලට ගන්නවා. මේ වගාවෙන් ආර්ථිකය හදාගන්න පුළුවන් කියලත් අපිට හිතුණා. ඒ නිසා තමයි වගාව ආරම්භ කළේ.” විදුෂණී පවසන්නේ අත්මාභිමානයෙනි.

 

ඇය සහ නැගණිය මේ වනවිට අලංකාර සූරියකාන්ත මල් වගාවක හිමිකාරිණියන් ය. දැන් සූරියකාන්ත මලක් තරමටම ඔවුන්ගේ ජීවිතය නිවැරැදි දිශාවකට හැරෙමින් පවතියි. "මෙහෙම කාලයක් ගතවෙද්දී මේ මල් වගාව ගැන අපි ගොඩක් දේවල් හොයන්න පටන් ගත්තා. මගේ යෙහෙළියක් හඳුන්වලා දීපූ තවත් වගාවක් ගැන දැනගන්න ලැබුණා. එයින් බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන් වුණා. සූරියකාන්ත මල් ඇට කිලෝවක් ඉන්දියාවේදී රුපියල් 3000 - 4000 ත් අතර මිලට දෙන්න පුළුවන් කියලා දැන ගත්තා. දැන් අපේ වගාවෙන් කිලෝ 40,000ක් විතර ගන්න පුළුවන් වේවි. ඒ ටාගට් එකට තමයි අපි යන්නේ. ඒක නිසා අපි වගාවට හොඳට සාත්තු කළා. ඉන්දියාව සහ ලංකාව අතර නැව් සේවාවක් තියෙන නිසා මේ ඇට ඉන්දියාවට යවන්න දැන් අපිට ලේසියි. ඒකත් ලොකු වාසියක්. කොහොම වුණත් ලස්සන මල් වත්තක් වවන්න පුළුවන් වෙච්ච එක ගැන අපිට තියෙන්නේ ලොකු සතුටක්. ඒ වගේම ආර්ථික වාසි ගැන හිතනකොටත් සතුටුයි."

 

නෙක විධ කුරුල්ලන්ගෙන් සූරියකාන්ත මල් වත්ත පිරී ඇත. කහ පැහැති සූරියකාන්ත යාය මැද ශ්වේත වර්ණයෙන් තැන තැන දිදුළන තාරුකා කීපයකි. " මේ මල් වගාවෙන් දැනටත් මම ගොඩක් සල්ලි හොයලා තියෙනවා. දවසකට වෙඩිං ෂූට්වලට කපල් 6 -7ක් මෙතැනට එනවා. එයාලගෙන් අය කරන මුදලෙන් තමයි වගාවට සාත්තු කරන්නේ. මේ වගාව ලංකාවේ සෑම කාන්තාවකටම කරන්න පුළුවන් වටිනා රැකියාවක්. කැපවීම තියෙනවා නම් ජීවිතය ජය ගන්න පුළුවන්."

 

රතු පැහැති බෝලයක්වන් ඉර යාපනයේ සිඳු රළ අතර සැඟවෙන්නට ළඟ ය. සූරියකාන්ත යුවතියෝ මඳ විවේකයකට සූදානම් ය. ඒත් විදුෂණී තවමත් වැඩ ය.