එකවුන්ට් එක FAKE ද?

සැප්තැම්බර් 2, 2024

ෆේස්බුක් භාවිත කරන පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. කොහොම වුණත් ජනගහනය සහ ෆේස්බුක් භාවිත කරන පුද්ගලයන් ප්‍රමාණය සලකා බැලූ විට එහි අසමතුලිත බවක් දැකගත හැකියි. ෆේස්බුක්හි සත්‍ය නොවූ ගිණුම් රැසක් තිබෙන බව සනාථ වී තිබෙනවා. මෙවැනි අසත්‍ය ගිණුම් මගින් ඔබට මිතුරු ඇරයුම් ලැබෙන්න පුළුවන්.

 
 එය ඔබ හිතනවාට වඩා බැරෑරුම්. අසත්‍යය ගිණුම හරහා ඔබ වෙත පැමිණෙන පුද්ගලයා ඔබගේ අනන්‍යතාව සොරකම් කර ගැනීම, ඔබගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම හෝ ඔබගේ කීර්ති නාමයට කැළලක් ඇති වන සේ කටයුතු කිරීම සිදු කළ හැකියි. මේ නිසා එවැනි අසත්‍ය ගිණුම් කල් තියාම හඳුනා ගත හැකි ලක්ෂණ දැන සිටීම වැදගත්. 
මිතුරු ඇරයුම පිළිගැනීමට පෙර ගිණුම හොඳින් පරීක්ෂා කරන්න. සමහර ගිණුම්වල ඔවුන්ගේ රැකියාව ලෙස විධායක නිලධාරි තනතුරක් හෝ මහාචාර්ය තනතුරක් පෙන්වනවා විය හැකිය. නමුත් එහි ප්‍රොෆයිල් පින්තූරය ළාබාල එකක් විය හැකිය. ගිණුම අයත් පුද්ගලයාගේ වයසට ඔහු දරන තනතුර ගැළපෙනවාදැයි පරීක්ෂා කර බලන්න. මහාචාර්ය තනතුරක් හෝ ප්‍රධාන විධායක නිලධාරි තනතුරක් දරන පුද්ගලයකු සාමාන්‍යයෙන් මැදි වියෙහි පසු වන්නකු විය යුතුය. එවැනි ගිණුම් පිළිගැනීමට පෙර මඳක් විමසිලිමත් වන්න. ඔබ තුළ ඔවුන් පිළිබඳව යහපත් හැඟීමක් ඇති කිරීමට අසත්‍ය වූ රැකියා තනතුරක් සහ ළාබාල පෙනුමැති ඡායාරූපයක් ඔබ වෙත ඉදිරිපත් කරනවා විය හැකිය.
 ගිණුමේ ඇති ජායාරූප පිරික්සා බලන්න. බොහෝ අසත්‍ය ගිණුම්වල ඇත්තේ එක ඡායාරූපයක් පමණයි. බොහෝ විට ඔවුන් එය ලබා ගන්නේ ගූගල් හරහා සෙවීම් කිරීමෙන් අනතුරුවයි. ඔබ ඔබගේ ගිණුමට ඡායාරූප රැසක් එකතු කර තිබෙනවා ඇති. නමුත් ගූගල් හරහා එක ඡායාරූපයක් ලබා ගත් අයකුට එසේ ඡායාරූප රැසක් තම ගිණුමට එකතු කළ නොහැකියි.
 
 එම ඡායාරූපය ඔබගේ පරිගණකයට බාගත කර ගන්න. ඉන්පසුව ගූගල්හි  එය සොයා බලන්න. මුල් පිටපතට සමාන ඡායාරූප තිබේ නම් ඔබ වෙත ඉදිරිපත් කරනු ඇත. එමගින් එම ඡායාරූපය සත්‍ය ඡායාරූපයක්ද, ගූගල් වෙතින් ලබා ගත් අසත්‍ය ඡායාරූපයක්ද යන්න ඔබට සොයා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
 ගිණුම අලුතින් සෑදූ ගිණුමක් ද වසර කීපයකට පෙර සෑදූ ගිණුමක් ද යන්න පරීක්ෂා කර බලන්න. දින කීපයකට හෝ සති කීපයකට පෙර සෑදූ ගිණුමක් නම් බොහෝ විට එය අසත්‍ය ගිණුමක් වීමට ඇති ඉඩකඩ වැඩියි. ගිණුම පරණ වන තරමට ඔවුන්ගේ ජීවිතයේ විවිධ අවස්ථාවන්, ඡායාරූප, සටහන් ගිණුමට එකතු වන ප්‍රමාණය වැඩියි. එවැනි තොරතුරු වැඩි වශයෙන් ගිණුමෙහි සඳහන් වී තිබෙනවා නම් එය විශ්වාස කළ හැකි ගිණුමක් විය හැකියි. ගිණුමෙහි ඇති මිතුරන් ප්‍රමාණය පරීක්ෂාකර බලන්න. මිතුරන් ප්‍රමාණය ඉතා අඩුයි නම් බොහෝ විට එය අසත්‍ය ගිණුමක් වීමේ ඉඩකඩ වැඩියි. සැලකිය යුතු මට්ටමක මිතුරන් ප්‍රමාණයක් සිටිනවා නම් එය බොහෝ විට සත්‍ය ගිණුමක් විය හැකිය.