බිස්නස් එකට online මඩ ප්‍රහාරයක් ආවොත්

සැප්තැම්බර් 2, 2024

අද කාලේ ව්‍යාපාරයක් කරන කෙනෙක්ට සමාජ මාධ්‍යය කියන්නේ ඉතා වටිනා වේදිකාවක්. තමන්ගේ ව්‍යාපාරය පිරිස අතරට ගෙන යන්න මෙය හොඳ සහයෝගයක් ලබා දෙනවා. හැබැයි මේ සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ව්‍යාපාරයේ හොඳ නමට කැළලක් වන අවස්ථාත් තියෙනවා. අන්තර්ජාලය හරහා සෘණාත්මක අදහස් ඉතා වේගයෙන් පැතිරෙනවා. ව්‍යාජ චෝදනාවක් හෝ සත්‍ය චෝදනාවක් අන්තර්ජාලය හරහා යමෙකු පළ කළහොත් එය ඔබගේ ව්‍යාපාරයේ සන්නාමයට සහ කීර්තිනාමයට හානි කරනවා. 

 

තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ තක්සේරු කිරීම

 

නැගී එන සෘණාත්මක අදහස්වල තත්ත්වය, තක්සේරු කළ යුතුය. එය අර්බුදයක් බවට පත් විය හැකිද යන්න ඉක්මනින් වටහා ගත යුතුය. ගැටලුවේ බරපතළකම සහ විෂය පථය තක්සේරු නොකර ප්‍රතිචාර දැක්වීමට යාම අවාසියක් විය හැකිය. 

 

ක්ෂණිකව සහ සංවේදීව ප්‍රතිචාර දක්වන්න

 

ගැටලුව ඉක්මනින් තක්සේරු කර ලබා දිය යුතු ප්‍රතිචාරය ඉක්මනින් තීරණය කළ යුතුය. තමන්ගේ අතින් වරදක් සිදු වී තිබේ නම් තමන්ව ආරක්ෂා කර ගැනීමට උත්සාහ කිරීම, තර්ක විතර්කවල නියැළීම අවාසිදායක විය හැකිය. අනෙකා ඉදිරිපත් කරන චෝදනාව වෙනුවෙන් ඔබට කළ හැකි ධනාත්මක විසඳුම් ඉදිරිපත් කරන්න. 

 

ගැටලුව විසඳීමට ඉදිරිපත් වීම 

අදාළ චෝදනාව කරන පුද්ගලයාට පණිවිඩයක් ලිවීම, සංවේදී සාකච්ඡාවක් ගොඩනැගීම, පාරිභෝගික සහාය නියෝජිතයෙකු වෙත යොමු කිරීම, ඔහුට අවශ්‍ය වැඩිදුර තොරතුරු සැපයීම වැනි පියවර අනුගමනය කරන්න. එයින් ඔබ මෙම ගැටලුව පුද්ගලිකව විසඳීමට කැමති බවත්, ඒ වෙනුවෙන් කැප වෙන බවත් පෙන්නුම් කෙරේ. 

 

බොරු කීමෙන් වළකින්න 

 

කීර්තිනාමය සම්බන්ධ අර්බුදයකදී විනිවිදභාවය පවත්වා ගැනීම ඉතා වැදගත්. ගැටලුව විසඳීමට ඔබ ගැනීමට බලාපොරොත්තු වන පියවර පැහැදිලිව සමාජ මාධ්‍යය හරහා සන්නිවේදනය කරන්න. ගැටලුව සැඟවීමෙන් හෝ අවතක්සේරු කිරීමෙන් වළකින්න. එය ඔබ පිළිබඳව අන් අයට ඇති වූ අවිශ්වාසය තවත් වර්ධනය කරවනවා. ඒ වගේම  ඔබේ වෙ‍ෙළඳ නාමයට තවත් හානි වෙනවා. 

 

සවන් දෙන්න 

 

ඔබට චෝදනා කරන අයට පවසන්නට ඇති දේ පිළිබඳව අවධානයෙන් සිටින්න. ඔවුන්ගෙන් ප්‍රශ්න අසමින්, සංවාදය දිරිමත් කරමින් ඔබට ඔවුන්ගේ ප්‍රශ්නය තේරුම් ගැනීමට අවශ්‍ය බව හඟවන්න. එය ඔබගේ සන්නාමයට වටිනාකමක් එකතු කරනු ඇත. ඔබ දෙපාර්ශ්වයගේ සංවාදය නරඹන්නන් තුළ ඔබගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් ධනාත්මක සිතුවිලි ඇති වනු ඇත. 

 

ව්‍යාපාරය තුළ තිබූ ගැටලු නිවැරදි කර ගන්න

විවේචනයෙන් ඉගෙන ගැනීමට යමක් තිබෙනවා එය ඉගෙන ගන්න. කළ යුතු වෙනස්කම් සිදු කරන්න. වැරදීම් නිවැරදි කර ගන්න. ඔබේ නිෂ්පාදන, සේවා හෝ අභ්‍යන්තර ක්‍රියාවලි වැඩිදියුණු කිරීමට මෙය අවස්ථාවක් කර ගන්න. අනාගතයේදී එවැනි තත්වයක් නැවත ඇති වීමට ඇති ඉඩකඩ සීමා කර ගන්න. 

 

ව්‍යාපාරය පිළිබඳව අලුතින් පළ වෙන අදහස් අධීක්ෂණය කරන්න 

 

සෘණාත්මක මනෝභාවයක් කල්තියා හඳුනාගැනීම ඔබට වාසිදායක වනු ඇත. නිතර නිතර සෙසු පුද්ගලයන් ඔබගේ ව්‍යාපාරය ගැන සමාජ මාධ්‍යය හරහා දරන අදහස් සමීපව නිරීක්ෂණය කරන්න.

 

විශ්වාසය නැවත ගොඩනඟන්න

 

විශ්වාසය නැවත ගොඩනඟා ගැනීමට යම් කාලයක් ගත වනු ඇත. එමෙන්ම ඒ වෙනුවෙන් උත්සාහයක් දැරීමටද සිදු වනු ඇත. සුවිශේෂී නිෂ්පාදන හෝ සේවා සැපයීම දිගටම කරගෙන යන්න. පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ධනාත්මක ප්‍රතිචාර සමාජ මාධ්‍යයේ පළ කරන්න.