වයස 97 දී පශ්චාද් උපාධියක් ගත් දිරිය අම්මා

සැප්තැම්බර් 2, 2024

 

Education is the greatest Wealth of man, on whose strength every whose strength every achivement of success can be achived.

 

"අධ්‍යාපනය යනු මිනිසාගේ ශ්‍රේෂ්ඨතම ධනය වන අතර එම පුද්ගලයාගේ ශක්තියෙන් සෑම ජයග්‍රහණයක්ම සාක්ෂාත් කරගත හැකි වනු ඇත." මෙලෙසින් මහත්මා ගාන්ධිතුමා සඳහන් කළේ අධ්‍යාපනය පරමාර්ථය පිළිබඳ පුද්ගලයකු ඔහුගෙන් විමසූ අවස්ථාවකදීය.

 

මේ කියමනට කදිම සාක්ෂියක් සපයන සිදුවීමක් පසුගිය සතිය පුරාම සමාජ මාධ්‍ය පුරා දකින්නට ලැබුණේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙමිනි. වයස අවුරුදු අනූ හතේදී පශ්චාද් උපාධියක් හිමිකරගත් නොතාරිස් අම්මා . . . . ඇය ගැන කවුරුත් කතා කරන්නට පටන් ගත්තේ පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති කැලණිය විශ්වවිද්‍යාලයේ 143 වැනි උපාධි ප්‍රධානෝත්සවයෙන් පසුවය. ජීවිතයේ සැඳෑ සමයේදී පශ්චාද් උපාධියක් ලැබූ වී. ලීලාවතී ඇස්ලින් ධර්මරත්න අම්මා ලැබූ ශාස්ත්‍රපති පශ්චාද් උපාධිය ගැන දැන් කවුරුත් දනියි. එහෙත් ඇයගේ එම පශ්චාද් උපාධිය හිමිකර ගැනීම පසුපස වූ කඳුළු කතාව ගැන බොහෝ දෙනකු නොදනියි. අැයගෙන් ඒ ගැන විමසුවේ ඒ කතාවේ සැබෑ පසුබිම දැනගැනීමටය.

හිමිදිරි පාන්දර පොළොවට යාන්තමින් හිරු එබිකම් කරයි. ඈතින් ඇසෙන සැවුලෙකුගේ හඬ හැරෙන්නට මුළු පරිසරයම නිසලය. එහෙත් ලීලාවතී අම්මා කාටත් කලින්ම අවදිව සිටියේ අපේ සොඳුරු පිළිසඳරට ඇමතුමක් ලැබෙන තුරුය. ‘අපි හිතුවේ ලීලාවතී නෝනා තවමත් නිදි ඇති කියලා. මේ උදේම අවදිවෙලා මොකද කරන්නේ?. . .‘ මම අපේ කතාවට මුල පිරුවේ එලෙසිනි.

 

අපෝ . . . . මම උදේ හතර වෙනකොට නැඟිටිනවා. නැඟිටලා විශේෂම වැඩක් නැති වුණොත් පොතක් පතක් හරි කියවන එක මගේ පුරුද්දක්. දැන් මගේ වයස අවුරුදු අනූ හතයි මාස නවයක් වෙනවා. මම හිතන්නේ වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා. දැන් මගේ වයස අවුරුදු අනූ අටකට ආසන්න වුණත් කිසිම දවසක ඉගෙනීම කියන එකට මම නැවතීම තියලා නැහැ. දැන් මම කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරිනියක්.

 

මට තව සිහිනයක් තියෙනවා. ඒ තමයි ආචාර්ය උපාධියක් හිමිකර ගැනීම. මම හුඟක්ම කැමති බෞද්ධ මනෝ චිකිත්සාව කියන විෂය පථයට. ඒ ක්ෂේත්‍රයට අදාළ ආචාර්ය උපාධියක් ලබා ගැනීම සඳහා දැන් මම සූදානම් වෙනවා.

 

ඔබතුමිය සාර්ථක දිගු ගමනක් ඇවිත් තියෙනවා. ඒ ගමන ගැන ආපස්සට හැරිලා බැලුවහම මොකද හිතෙන්නේ?

 

මම ජීවිතේ සෑහෙන අභියෝග රැසකට මුහුණ දුන්න ගැහැනියක්. හැබැයි කිසිම දෙයකින් සැලෙන්නේ නැතුව ජීවිතයට මුහුණ දුන්නා. මම විවාහ වුණේ 1962 වසරේදී. ප්‍රේම සම්බන්ධතාවකින් තමයි අපි විවාහ වුණේ. මම ඒ වෙනකොට නොතාරිස්වරියක් ලෙස කටයුතු කරනවා. චිත්‍රසෝම ජයලත් මගේ සැමියා මුණගැසුණේ ඔහුත් නොතාරිස්වරයෙක් නිසයි. අපි විවාහ වෙලා ගම්පොළ නාවලපිටියට ආවා. අපි නාවලපිටියේ වසර හතක්ම හරි සතුටින් ජීවත් වුණා.

 

දැන් වගේ නෙවෙයි ඒ කාලෙ නොතාරිස්වරුන්ට විතරයි ඔප්පු පිළිබඳ කටයුතු කිරීමේ බලය තිබුණේ ඊට පසුව තමයි ඒ බලය නීතිඥවරුන්ට ලැබුණේ. එහෙම බලය ලැබුණාට පස්සෙ මම නීතිඥවරියක් වීමේ විභාගයට පෙනී සිටියා. මම නීති විද්‍යාලයේ අවසාන විභාගයට පෙනී සිටින අවස්ථාවේදී තමයි හදිසියේම මගේ සැමියා හෘදයාබාධයකින් මිය ගියේ. මේ වෙනකොට අපට දුවලා හතර දෙනෙක් හිටියා. ඒ වගේම මගේ කුසෙන් වැදුවෙ නැති වුණත් අපේම දරුවෝ දෙන්නෙකුත් එක්ක මම තනි වුණා. හැබැයි මම තනි වුණාට ජීවිතේ කඩා වැටුණේ නැහැ. මම ඒ වෙලාවෙ තීරණය කළා නීති උපාධිය පැත්තකින් තියලා දරුවෝ වෙනුවෙන් කැපවෙන්න.

 

ඔබ ඒ ගත්තු තීරණය ගැන අද මොකද හිතෙන්නේ?

 

ඇත්තටම මම ගත්තු තීරණය සීයයට සීයක් හරි කියලා මට දැන් හිතෙනවා. මම නීතිඥවරියක් වුණා නම් අධ්‍යාපනයෙන් මේ තරම් දුරක් ඉහළට යන්න ලැබෙන්නෙත් නැහැ. දරුවන්ට උගන්වන්න අවස්ථාව ලැබෙන්නෙත් නැහැ. නමුත් ඒ දෙකම දැන් මම ජීවිතයේ ලබාගෙන ඉවරයි. මගේ ඒ දරුවෝ හය දෙනාම උසස් රැකියා කරනවා. මගේ ලොකු දුව ධම්මිකා ජයලත් වෛද්‍යවරියක්. ඇය බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරනවා. දෙවැනි දුව සමුද්‍රා ජයලත්.

 

ඒ දුව ඉංජිනේරු උපාධිය අවසන් කරලා ඔස්ට්‍රේලියාවේ පෙඩරේෂන් විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක්. තුන්වැනි දුව ඉන්දුනීලා ජයලත් එයත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරා ගුරුවරියක් ලෙස සේවය කරනවා. හතරවැනි දුව මනෝහාරි ජයලත්. ඒ දුව නීතිඥවරියක්. අනෙක් දුව නයෝමි මනෝ මංජරී ඒ දුව රජයේ හෙදියක්. හයවෙනි දුව තමයි ඉරේෂා දිල්රුක්ෂි ජයලත්. දුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරනවා.

 

ඇත්තටම මම හරි වාසනාවන්තයි. මට මගේ තුන්වැනි පරම්පරාවත් දකින්න වාසනාව ලැබුණා. මට මුනුපුරෝ, මිනිබිරියෝ අට දෙනකුගේ මූණ බලන්න වාසනාව ලැබුණා. ඒ අටදෙනාම උපාධිධාරීන්. හතර දෙනෙක් නීතිඥයන්. දෙන්නෙක් වෛද්‍යවරු, තව එක දරුවෙක් ඉංජිනේරුවරියක්. තව දරුවෙක් සංගීතඥයෙක්.

 

මගේ ජීවිතයේදී පරම්පරා හයක් දැන් දැකලා තියෙනවා. මුලින්ම මම දැක්කේ මගේ ආච්චි අම්මව, ඊට පස්සේ අපේ අම්මා, තුන්වෙනි පරම්පරාව මම. හතරවෙනි පරපුර තමයි මගේ දුවලා. ඊට පස්සේ දුවලාගේ දරුවෝ, ඒ දරුවන්ගේ දරුවෝ, දැන් මේ මුනුපුරන්ගේ නිවුන් දරුවෝ දකින්නත් මට වාසනාව තිබුණා. මේ දරුවෝ දකිනවට වඩා සතුටක් මට තවත් නැහැ.

 

ඔබ ඇත්තටම සුවිශේෂී චරිතයක්. ඔබට හිතෙන්නෙ නැද්ද ඔබේ ජීවන චරිතය ගැන පොතක් ලියන්න.

 

ඒ වැඩේට මම අත ගැහෙව්වේ සෑහෙන කාලයකට කලින්. මම දැන් නවකතාවක් ලියනවා. ඇත්තටම මේ තරම් දුරක් මම ආවේ සෑහෙන දුක් විඳලා, ඒක හරිම දුෂ්කරයි. ඒ අත්දැකීම් සියල්ල ගොනු කරමින් තමයි මේ කතාව ලියන්නේ. මම හිතන්නේ අලුත් පරම්පරාවේ දරුවන්ට මගේ ජීවිත කතාවේ හුඟක් දේවල් ගන්න තියෙනවා. මම ඉපදුනේ 1927 නොවැම්බර් 30 දා. මට හරි සුන්දර ළමා කාලයක් තිබුණා. මට දෙවැනි ලෝක යුද්ධය ගැන මතකයි. ලංකාවට නිදහස ලැබුණු දවස, 71 කැරැල්ල, බණ්ඩාරනායක මැතිතුමාගේ ඝාතනය, ඩී. එස්. සේනානායක අභාවය, 1955 සූර්ය ග්‍රහණය වෙලාවේ වද කහ ගුළිය කාපු කතාව වැනි රසවත් කතා ගොඩක් තියෙනවා.

 

ඒ වගේම තමයි 1952 වසරේදී තමයි මම නොතාරිස් විභාගයට පෙනී සිටියේ. මම ඔප්පු 40,000ක් විතර ලියලා තියෙනවා. මගේ සමහර ඔප්පු තමයි නීති විද්‍යාලයේ ශිෂ්‍යයෝ පරිශීලනය කරන්නේ.

 

මම විශේෂයෙන්ම ස්තූති කළයුතුයි මගේ උසස් අධ්‍යාපනයට විශාල ශක්තියක් ලබා දුන්න කැළණිය විශ්වවිද්‍යාලයට.

2021 දී තමයි මම ත්‍රිපිටක සහ පාලි භාෂා විභාගයට පෙනී සිටියේ. ඒ විභාගයෙන් මට ගෞරව සාමාර්ථයක් හිමිවුණා. එතකොට මට අවුරුදු 94යි. ඊට පස්සේ තමයි මේ පශ්චාද් උපාධි පාඨමාලාව හැදෑරීම ආරම්භ කළේ.

දැන් මට හිතෙනවා ජීවිතේ හුඟාක් දේවල් ලැබුණා කියලා. ඒත් ඉගෙන ගැනීම නම් තව මදියි කියලා තමයි කොච්චර ඉගෙන ගත්තත් හිතෙන්නේ.

 

ඔබට වර්තමාන දරු පරපුරට දෙන්න පුළුවන් පණිවිඩය කුමක්ද?

 

 

අන්න ඒක තමයි ඔබ අහපු හොඳම ප්‍රශ්නය. එදා මගේ සැමියා හදිසියේම මියගිය අවස්ථාවේ ලොකු බරක් මට පැටවුණා කියලා මම ඉගෙනීම අතහැරියේ නැහැ. මම දරුවන්ට උගන්වන ගමන් දවසින් දවස මගේ දැනුමත් දියුණු කරගත්තා. ඉගෙනීමට වයස හෝ ගැහැනු පිරිමි භේදයක් නැහැ. හිතේ තියෙන අධිෂ්ඨානය තමයි හැම දෙයකටම වැදගත් වෙන්නේ. දරුවන්ට දෙන්න තියෙන ලොකුම පණිවුඩය තමයි ඒක. ඒ විතරක් නෙවෙයි දරුවනේ . . . . නිකරුණේ කාලය ගත කරන්න එපා. අපිට ලැබුණු සෑම විනාඩියකින්ම වැඩක් ගන්න.

 

යමක් ඉගෙන ගන්න. තමුන් කැමැති විෂයක් තෝරාගෙන විභාගයට පෙනී සිටියත් නැතත් එයින් තමුන්ගේ ජීවිතයට යමක් එකතු කරගන්න. ඒ දැනුම කවදාවත් නැති වෙන්නේ නැහැ. එයින් ලැබෙන සතුට ජීවිතයට කිසිම දෙයකින් ළඟා කරගන්න බැහැ. ඒ වගේම තමයි අපි කලාවට ආදරය කළ යුතුයි. අපි කුමන හෝ කලාවකට ආදරය කළොත් තමයි, සම්පූර්ණ මනුෂ්‍යයෙක් වෙන්නේ. මම මගේ දරුවෝ හය දෙනාටම සංගීතය ඉගැන්නුවා. මම චිත්‍ර, නැටුම්, සංගීතය විෂයන් තුනම ඉගෙන ගත්තා. අපි පොතපතින් ලබන්න දැනුමට අමතර සෞන්දර්ය විෂය තුළින් ලබන පෝෂණය අපේ ජීවිතයට විශාල ශක්තියක්. මේ වෙලාවේ මට තව වැදගත්ම දෙයක් අපේ දුවා දරුවන්ට කියන්න තියෙනවා. මට මගේ මව් භාෂාව සිංහල වගේම ඉංග්‍රීසි භාෂාවත් හොඳට පුළුවන්. ඒ වගේම අපි පදිංචි වෙලා ඉන්න ප්‍රදේශය අනුව දෙමළ භාෂාවත් කතා කරන්න හැකියාව තියෙනවා. මට ලොකු ආසාවක් තිබුණා පාලි භාෂාව ඉගෙන ගන්න. ඒ නිසා මම ඒ භාෂාව ඉගෙන ගන්න ලොකු කැපවීමක් කළා. ඇත්තටම මේ භාෂා හැකියාව නිසා මට ලොකු දැනුමක් ලබාගන්න හැකියාව ලැබුණා. අපට අලුත් දැනුම ලබන්නට ගන්න මේ භාෂා ඥානය තිබිය යුතුමයි ඒකට ඉංග්‍රීසි භාෂාව වගේ ජාත්‍යන්තර භාෂාවක් ඉගෙන ගන්න. වදන් කවි පොතේ තියෙන මේ කවිය මතක් කරගෙන වැඩ කළොත් අපට ජීවිතයේ කවදාවත් වරදින්නේ නැහැ.

 

තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා

එසැඩ මනාවත් වතුරෙන් වල නොහෙනා

කෝප වුවත් රජ මැතිදුන් ගත නොහෙනා

උගත මනා ශිල්පයමයි මතු රැකෙනා