මුහුණුපොතෙන් 'මට පනහයි' ගලා හැලෙන මතක නදිය ගෙන එන නදීකා කුමාරගේ

සැප්තැම්බර් 2, 2024

"ඔයා මට කැමතියි නේද?"

මල් බකට්, සුබ පැතුම්, සංග්‍රහ ආදී එකී මෙකී නො කී සියලුම නරි නාටක අවසන් වී කැන්ටිමෙන් එළියේ ඒ ළඟම ඇති බංකුවක වාඩිවූ පසු ඔහු ඇසුවේය.

" ඔව්"

අපේ කතාව එතැනින් ආරම්භ විය.

මුහුණ‍ෙපොතේ රචිකාවියන් අද වන විට පාඨක සිත් ඇද බැඳගත් චරිත බවට පත්වී හමාරය. ඇයද මීට තෙවසරකට පමණ පෙර තම ලේඛන කුසලතාවන් අත්හදා බලන්නට මාධ්‍යයක් කර ගත්තේ මුහුණුපොතයි.එය අතිසාර්ථක එකක් බවට පත් වූයේ යහළු, යෙහෙළියන්, හිතමිත්‍රාදීන් මෙන්ම අවසානයේ තමන් මෙතෙක් හඳුනා නොගෙන සිටි විශාල පාඨක පිරිසක්ද ඈ වටා රොක්වීමෙනි.

ඇය මූලික ප්‍රස්තුතය කර ගත්තේ ඇගේ කතාව වුව පසුව එය කියවන සැමගේම කතාව බවට පත්විය. නදීගේ මතක සටහන් ලෙසින් මුහුණුපොතේ සැරිසැරූ ඇගේ ලියවිල්ල අවසන කෘතියක් ලෙසින් දොරට වැඩීය. ඒ ඇගේ ජීවන ගමනට වසරක් පනහක් සපිරෙන දා 'මට පනහයි ගලා හැලෙන මතක නදිය' ලෙසිනි. ඇය නදීකා කුමාරගේ නම් වන්නීය.

ඇය කීවේ

"මෙය මගේ කතාව පමණක් නොව...

ඔබේ ද කතාවයි.

අප සැමගේ කතාවයි....

ඔබේ ළමා කාලයට,

යළි නොයන පාසල් සමයට,

සොඳුරු සරසවියට යළිත් පිය නඟන්න... සුන්දර මතකයන් අලුත් කරගන්න....

මා හා එක්වන්න.

ලෙසිනි.

නිසඟ කුසලතාවක් එළිදක්වන්නට මුහුණුපොත භාවිත කළ අයුරු පිළිබඳ අපි කතා කරමු.

මා තුළ තිබූ නිර්මාණශීලි කුසලතාවන් එළිදක්වන්නට මුහුණුපොත හොඳ තෝතැන්නක් වුණා. ලේඛන කලාව කෙරෙහි

යම් කුසලතාවක් තිබූ බව මම හඳුනා ගත්තෙත් ඒ හරහායි.

මුලින්ම මම ලීවේ නිසඳස්. ඒවායින් කිහිපයක් පුවත්පත්වල කවි පිටුවල පළ වුණා. මුහුණුපොතෙත් පළ කළා. සොබාදහමේ චමත්කාරජනක බව මම කවි සිතුවිලිවලට නැඟුවා. ඡායාරූපවලට කවි ලිවීම නිසඳස් ලිවීම මම හරිම ආසාවෙන් කළේ.

ඒ අතරතුරයි මම 'නදීගේ මතක සටහන' මුහුණු පොතට එක් කළේ. ඊට ලැබුණු ඉහළ ප්‍රතිචාරය නිසා තවදුරටත් නිසදැස් ලිවීම නවතා දිනපතාම මතක සටහන් ලිවීම ඇරඹුවා. ආරම්භයේ සිටම සුවඳ මල් වරුසාවන් දසතින් ගලා හැලෙන්නට වූ නිසා මතක සටහන් දිගින් දිගටම ලියන්නට මා පෙළඹුවූයේ නිමක් නොමැති ඒ ආදරයයි.

'නදීගේ මතක සටහන්' කෘතියක් ලෙසින් පාඨකයන් අතට පත් වූ රසබර ගමන පිළිබඳත් කතා කරමු

මුහුණුපොතේ ලියවිල්ලට ලැබුණු අසීමිත ප්‍රතිචාර, ආදරය, සෙනෙහස නිසා එය කෘතියක් බවට පත් කළ යුතු බව මටත් හැඟුණා.

කෙනකුගේ ජීවිතයේ වසර පනහක් කියන්නේ සුවිශේෂී කඩඉමක්. මට වසර පනහක් සපිරෙන දා ජීවිතයේ දෙස අතීතා වර්ජනයක යෙදෙද්දී ගුණවත් මවුපිය දෙපළකගේ දියණියක වන්නට, වැඩිමහල් සොහොයුරු දෙපළකගේ නැඟණිය වන්නට, සෙනෙහෙබර සැමියකු හා ආදරබර දියණියක, හොඳ මිතුරු කැලක්ද යහපත් මිනිසුන්ද ඇසුරු කරන්නට ලැබීම, මාපියන් බලාපොරොත්තු වූ ලෙස උසස් අධ්‍යාපනයක් ලබා සමාජයට වැඩදායී පුද්ගලයකු වීමට ලැබීම භාග්‍යයක් කොට සලකනවා. මගේ කුලුඳුල් කෘතිය දොරට වැඩීමට මා තෝරා ගත්තේ මට වසර පනහක් සපිරෙන දවස.

මේ පොතේ චරිත බොහොමයක් සමඟින් මට මගේ පනස්වැනි උපන්දිනය සැමරීමට ලැබීමත් ජීවිතයේ අමතක නොවන සිදුවීමක් වූවා.

ඔබේ ළමා විය, පාසල් සමය, විශ්ව විද්‍යාල දිවිය පිළිබඳත් කෙටියෙන් කීවොත්

ඩඩ්ලි සේනානායක විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ මම උසස් අධ්‍යාපනය ලැබුවේ කොළඹ විශාකා විද්‍යාලයෙන්. පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ වාණිජවේදී උපාධිය දෙවන පන්තියේ උසස් සාමාර්ථයක් සහිතව සාර්ථකව නිම කරනවා. මෙරට මෙන්ම විදෙස් රටවලද ගණකාධිකරණ ක්ෂේත්‍රයේ රැකියාවල නිරතව පසුව පාසල් දරුවන්ගේ නැණ පාදන්නට ගුරු වෘත්තිය තෝරා ගන්නවා. විදෙස් රටවල් කිහිපයකම ජීවත්වීමෙන් සහ සංචාරය කිරීමෙන් ලද අත්දැකීම් ද බොහොමයි. සැමියාගේ රැකියාවත් සමඟින් මේ දිනවල මම ජීවත් වන්නේ බංග්ලාදේශයේ.

'මට පනහයි ගලා හැලෙන මතක නදිය' මුහුණු පොතේ ලියන්නට පටන් ගත් දා පටන් පාඨකයින් අතට පත්කරන්නට උදව් උපකාර කළ අය පිළිබඳ සිහිපත් කරමු.

මතක සටහන්වල සාර්ථකත්වය පසුපස සිටියේ මගේ සැමියා කල්‍යාණ කොත්තිගොඩ. අම්මාගේ නිර්මාණය වර්ණවත් කිරීමට පොතේ පිට කවරය සිතුවමින් හැඩ කළේ මගේ චූටි දුව සෙෂාරා නෙතුමිණී. ඒ වගේම අද අප අතර නැති වුණත් අම්මා හා තාත්තා මා දෙස කොහේ හෝ සිට බලාගෙන ඇති. මගේ වැඩිමල් සොයුරන් දෙදෙනාට, මෙහි සෑම වචනයක්ම කියවා අඩුපාඩු සකස්කර දෙමින්, අදහස් සහ යෝජනා ඉදිරිපත් කරමින්, අක්‍ෂර වින්‍යාස හා ව්‍යාකරණ නිවැරැදි කරමින් නොමඳ සහායක් ලබා දුන් මා මිතුරිය චම්පිකා දයාරත්නට, ඉන්දිකා වීරකෝන්ට, දේනුකා සංජීවනීට, දර්ශන බණ්ඩාරට, මධු බණ්ඩාරට, වෙනුර රුහුණගේට, පොත මුද්‍රණයට හා ප්‍රකාශයට පත් කළ සරසවි ප්‍රකාශකයින්ට, පොතට අරුත්බර අගයක් එක් කළ මහාචාර්ය එච්, ඩී. කරුණාරත්න ඇදුරුතුමන්ට, මේ පොතේ සඳහන් සියලුම චරිතවලට, පොත ලිවීමට මට දිරිය ලබා දුන් 'මුහුණුපොතෙහි නදීගේ මතක සටහන්' සමඟ ඒකාත්මික වූ පාඨකයින්ට මගේ හද පිරි ආදරය.